×

උණුසුම් කාලගුණය දකුණු යුරෝපය පුරා පැතිරෙයි; රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ.

පසුගිය වසරේ ද අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ 60,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර මෙම ග්‍රීෂ්ම ඍතුවද බොහෝ මරණ සංඛ්‍යාවකට හේතු විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු ඇඟවීම් කර තිබේ.


දකුණු යුරෝපයේ සහ වයඹ-බටහිර අප්‍රිකාවේ ප්‍රදේශ හරහා තාප තරංගයක් හමා යමින් පවතින බැවින් ඉදිරි දිනවල වාර්තාගත උෂ්ණත්වයක් ඇතිවනු ඇතැයි විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

ඉතාලි කාලගුණ විද්‍යා සංගමය විසින් මෙම ගිම්හාන තාප තරංගය Cerberus නමින් හඳුන්වා ඇති අතර (Dante’s inferno හි ඇති තුන්-හිස් රකුසා) හෙට(14)දිනයේ සිට උෂ්ණත්වය ඉහළ යන බවට අපේක්ෂා කෙරේ.

ඒ අනුව ස්පාඤ්ඤය, ප්‍රංශය, ග්‍රීසිය, ක්‍රොඒෂියාව සහ තුර්කිය යන රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 (104F) ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉතාලියේ උෂ්ණත්වය 48.8C (119.8F) දක්වා ඉහළ යා හැකි අතර මේ වන විටත් ෆ්ලෝරන්ස් සහ රෝමය ඇතුළු නගර 10කට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයන්ද නිකුත් කර තිබේ.

පසුගිය අඟහරුවාදා(11)දින උතුරු ඉතාලියේ මිලාන් අසල ලෝඩි නගරයේ සීබ්‍රා හරස් රේඛා පින්තාරු කරමින් සිටි කම්කරුවකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. මීට අමතරව රෝමයේ කොලෝසියම්හිද උෂ්ණත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් කිහිපදෙනෙකු මියගොස් ඇත. පසුගිය වසරේ ද අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ 60,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර මෙම ග්‍රීෂ්ම ඍතුවද බොහෝ මරණ සංඛ්‍යාවකට හේතු විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු ඇඟවීම් කර තිබේ.

තාප තරංගයක් යනු වසරක කාලය සඳහා අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා උෂ්ණත්වය ඉහළ යන උණුසුම් කාලගුණ කාල පරිච්ඡේදයක් වන අතර මෙවැනි තත්වයන් නිතර නිතර ඇති වීම මානව ජීවිත වල පැවැත්ම පවා අභියෝගයට ලක් කරන්නක් බවයි කාලගුණ විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි