×

‘‘ඒකාධිපතියාට මරණය!‘‘ – උග්‍ර ජල හිඟය සහ පරිසර ප්‍රශ්න ආණ්ඩු පෙරළීමක් දක්වා ගෙන යන ඉරානය

නිරිත දිග ඉරානය උග්‍ර ජල හිඟයකට මුහුණ දී තිබෙන්නේ ප්‍ර දේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා යාමත් සමග ය. රටේ උණුසුම් ම පළාත වන කුසෙස්තාන් දැන් එකම ගිනි ගොඩකි.


ජල ප්‍රශ්නයට සමගාමීව මෙම විරෝධතා මාලාව මේ වන විට රාජ්‍ය විරෝධී රැල්ලක් දක්වා ව්‍යාප්ත වෙමින් පවතියි. ඉරානයේ උත්තරීතර නායක කමේනිට මරණය අත් විය යුතු යැයි ජල හිඟයෙන් පීඩා විඳින ජනතාව කෑ ගසන අතර, ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විට මර්දනය කෙරෙන්නේ හමුදාවේ රබර් උණ්ඩ හා ජීව උණ්ඩ හරහා ය.

විශාල වශයෙන් වාර්ගික අරාබි ජනතාවක් ජීවත් වන මෙම කලාපය තුළ මාසයකට අධික කාලයක් ජල හිඟය පිළිබඳ ප්‍රශ්නය කැකෑරෙමින් පැවතිණි. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අවධානය පවා ඒ වෙතට යොමු ව තිබිණි.

මේ වන විට උග්‍ර ජලය හිඟය, ඉරානයේ පොදු ප්‍රශ්න බවට පත් ව ඇති විරැකියාව, අඩු වැටුප්, අහස උසට නගින බඩු මිල සහ විදුලිය බිඳ වැටීම් යන සියල්ලේම මිශ්‍රණයක් බවට පත් ව තිබේ.

වර්තමානය වන විට ඉරාන ජනතාවගෙන් 50%කට අධික පිරිසක් දුගී බවට පත් ව ඇත. කෝවිඩ් වසංගතයත් සමග තත්වය තවත් ඔඩු දුවා ඇත. පළමු මාත්‍රාව ගෙන තිබෙන්නේ ජනගහනයෙන් 70%ක් පමණි. කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව රට තුළ 336,000 ඉක්මවා ගොස් ඇත.

2021 වසරේ පැවති ජනාධිපතිවරණය වර්ජනය කිරීමට බොහෝ දෙනා පෙළඹුණේ මේ කාරණාවලට විරෝධය දැක්වීමක් ද ලෙස ය. ඉතිහාසයේ පළමු වරට, මෙම ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබුණේ ජනතාවගෙන් 10%ක් පමණි. ටෙහෙරාන් අගනුවර පවා එම ප්‍රතිශතය 26% ඉක්මවා නොගියේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, ජනාධිපතිවරණය අවසන් වී දින දෙකක් ඉක්ම යාමට මත්තෙන් ඉරානයේ තෙල්, ගෑස් සහ පෙට්‍රොකෙමිකල් පිරිපහදු වැඩකිරීම අත් හරිමින් සිය ජීවන තත්වය උසස් කරන ලෙස ඉල්ලා විවිධ වර්ජන ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පටන් ගත්හ.

ඉස්ෆාහන් නගරයේ ගොවියෝ සිය ගොවිතැන්වලට ලැබුණු ජලය නතර කරමින් සයාන්දේ රූඩ් ගංගාව රජය විසින් අවහිර කළ බව කියමින් පාරට බැස්සහ.

ගංගා හරස් කරන ආණ්ඩුව

කුසෙස්තාන් පළාතේ දුර්වල ජල කළමනාකරණය වසර ගණනාවක සිට ගැටළුවක් බවට පත් වෙමින් තිබිණි. ඉරාන පරිසර විශේෂඥයෝ දශක කිහිපයක් මුළුල්ලේ ඉවක් බවක් නැතිව සිදු කෙරන සංවර්ධන ව්‍යාපෘති ගැන ආණ්ඩුවට අනතුරු ඇඟවූහ. තෙල් සම්පත බහුල මෙම පළාතේ ගංගා හරස් කර ජල විදුලි බලය උත්පාදනය කර ගැනීම සඳහා ආණ්ඩු දක්වන්නේ අසීමිත කෑදර කමකි. අසල්වැසි පළාත්වලට මෙහි සිට ජලය ගෙන යාමට ද ඔවුහු ආශා කරති.

මෙම දුර්වල ජල කළමනාකරණය ඇති වී තිබෙන්නේ මිලිටරි ස්වභාවයේ ආණ්ඩුකරණය ද සමග ය. බොහෝ විට ගංගා හරස් කර වේලි බඳින්නේ ඉරානයේ ‘විප්ලවීය හමුදාව ‘ලෙස හඳුන්වන සන්නද්ධ හමුදාව සමග සම්බන්ධකම් පවත්වන පුද්ගලික සමාගම් විසිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙසට ඉහත කී ගංගාවේ සිද්ධිය මෙන්, සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය ජලය සුළු ප්‍රමාණය පවා ලබාදීමට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැත. විප්ලවීය හමුදාව විසින් ඇතැම් නගරවලට පානීය ජල කප්පාදුවක් ද කර තිබේ.

මේ අනුව පළාතේ නගර ගණනාවක තරුණයන් වීදි බැස ඇති අතර, දැනටමත් ජීවිත ගණනාවක් ජීව උණ්ඩවලට බිලි වී තිබේ. වේලි අරින ලෙසටත්, ජලාශ බැඳ ගංගාවල ගමන නතර නොකර ගංගාවලට ගලන්නට ඉඩ හරින ලෙසටත් ඔවුහු ඉල්ලා සිටිති.

ක්‍රමානුකූලව ජලය ඉල්ලා සිටි මිනිසුන්ගේ සටන් පාඨ දේශපාලන විරෝධයක් දක්වා වර්ධනය වී ඇත.

දැන් ඒවායේ දැකගත හැක්කේ ‘‘ඒකාධිපතියාට මරණය‘‘ හෝ ‘කමේනිට මරණය‘ වැනි සටන් පාඨ ය.

”ඒ අයට අයිතිවාසිකම් දුන්නොත් තව අයට දෙන්න සිද්ධ වෙයි” – පාලකයන්ගේ නරුම න්‍යාය

නමුත් මෙම ජනතාවගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් ලබා දුන්නහොත්, සෙසු පළාත්වල ජනතාව ද අයිතිවාසිකම් ඉල්ලා සිටිනු ඇත. ලංකාවේ පවා දේශපාලකයන් විසින් භාවිතා කරන මෙම නරුම න්‍යාය, ඉරාන ජනපති නොහොත් උත්තරීතර නායක කමේනි ද දනියි. එනිසා එවැනි ඉල්ලීම් ඉටු නොකර සිටීමට ඔහු පරිස්සම් වෙයි. එනිසා ඔහු ද කරන්නේ මර්දනය මගින් විරෝධතා මැඬ පැවැත්වීමයි. 2019 නොවැම්බරයේ මේ ආකාරයටම ඔහු රට තුළ ඇති වූ විරෝධතා රැල්ල තුළ උද්ඝෝෂකයන් 1500 දෙනෙක් මරා දමන්නට අණ දුන්නේය. රෙජීමයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 12,000 ක් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය මිෂෙල් බැක්ලෙට්, ඉරාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ වහාම කුසෙස්තාන් පළාතේ ජල ප්‍රශ්නය විසඳන ලෙස ය. ප්‍රශ්න විසඳීම වෙනුවට විරෝධතා මර්දනය කිරීම අත්හරින ලෙසට ය.

නමුත් වීදියට බසින විරෝධතාකරුවන්, ලෝකයේ නොදියුණු බොහෝ රටවල මෙන්ම ඉරානයේදී ද සැලකෙන්නේ ‘බෙදුම්වාදීන්‘ හෝ ‘විදේශීය කුමන්ත්‍රණකරුවන්‘ හෝ එන්ජීඕ කාරයන්‘ ලෙසට ය.

මෙම ගැටළුව තුළ ඉරාන රාජ්‍ය තන්ත්‍රය තවත් අලුත් රැල්ලක් ද බිහි කරමින් සිටියි. ඒ, ව්‍යාජ පුවත් මැවීමයි. මෙය ද, නූතන ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස මුහුණ දෙන පුළුල් ගැටළුවකි.

ලෝකයේ මීළඟ ආණ්ඩු පෙරළන රැල්ල පැමිණෙන්නේ දේශගුණික විපර්යාසවලින් වැඩිවශයෙන්ම බැට කන ජාතීන් අතරින් විය හැක. දේශගුණික විපර්යාසය, ජාතික ආරක්ෂාව තරමටම වැදගත් බව අපේ පාලකයන් වටහා ගන්නේ කවදාද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි