×

මනුස්ස කමෙන් ලෝකය සොළවන සෙනගාලයේ පාපන්දු පුත්‍රයා – සජියෝ මනේ

සෙනගාලයෙන් බිහි වූ, ලිවර්පූල් පාපන්දු සමාජයේ අධි බලැති ප්‍රහාරකයා සජියෝ මනේ (Sadio Mane) කැඩුණු ජංගම දුරකථනයක් පාවිච්චි කිරීම ගැන ඇසූ විට වරක් මෙසේ කීවේය.


‘‘මට අලුත් එකක් ගන්න පුළුවන්. මට ෆෙරාරි කාර් 10 ක්, ජෙට් යානා 2 ක්, දියමන්ති අත්ඔරලෝසු ගන්න පුළුවන්. ඒත් මම ඇයි එහෙම කරන්නෙ? මගෙ රටේ මිනිස්සු බඩගින්නේ.. මට දුප්පත් නිසා ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න බැරි වුණා. මම ෆුට්බෝල් සෙල්ලම් කළේ සපත්තු දෙකක් නැතිව…මට මගෙ මිනිස්සු එක්ක බෙදාගන්න ඇති තරම් අද සල්ලි තියෙනවා. ලෝකෙට පේන්න සෝබනේට ජීවත් වෙනවට වඩා…‘‘

2020 වසරේදී මේ සිද්ධිය වන විට සජියෝ මනේගේ සතියක ආදායම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් දෙකෝටියකට ආසන්න ය.

සජියෝ මනේ තවමත් ශීර්ෂපාඨ මවමින් සිටියි. ඒ, තමන්ට වැඩිපුර ඇති දේ, ලෝකයේ දුප්පත්කම දුරලීම සඳහා බෙදා දෙන්නෙක් ලෙස ය. සජියෝ මනේ අදටත්, ලෝකයේ බලවත්ම පාපන්දු ක්‍රීඩකයන් දස දෙනා අතර මුල් පෙළේ සිටියි. ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 10.2 කට ආසන්න ය. ඇතැම් වාර්තාවකට අනුව එය මේ වන විට ඩොලර් මිලියන 20 ඉක්මවා ගොස් ඇත.

2019 ඔක්තෝබරයේදී සජියෝ මනේ පවසන්නේ, ලෝකයේ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙකු බවට පත් වීමට තමන්ට අවශ්‍ය වුණේ දුප්පතුන්ට උදව් කිරීමට බවයි. 29 හැවිරිදි මනේ, අප්‍රිකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙමින් සිටයිි. 2002 වසරෙන් පසුව එම ගෞරවය දිනාගත් පළමු සෙනගාල ක්‍රීඩකයා ද ඔහු ය. ක්‍රමයෙන් ඔහු, ‘ප්‍රතික්ෂේප කළ නොහැකි ලිවර්පූල් තරුව‘ බවට පත් විය. Premier League Golden Boot, African Player of the Year, CAF Africa’s finest XI යනාදී වශයෙන් ඔහු විසින් දිනා ඇති ගරු නාම හා සම්මාන ගණන විශාල ය.

සජියෝ මේ දක්වා කොපමණ දුරකට සිය ජීවන අරමුණ වෙනුවෙන් කැප වී සිටියිද?

සජියෝගේ උපන් ගම සෙනගාලයේ බම්බේලි ය. ඔහුගේ සහෝදර සහෝදරියන් රොත්තක්ම විය. ඔවුන්ගේ ජීවන අරගලය තුළ සජියෝව මාමා කෙනෙක් සමග ජීවත් වන්නට ගෙදරින් පිටමං කර තිබිණි. නමුත් දිළිඳු මාමාට, සජියෝගේ මූලික අවශ්‍යතා පවා සපුරා දෙන්නට හැකි වූයේ නැත.

‘‘මගෙ දෙමාපියන්ට මාව ඉස්කෝලෙ යවන්නවත් සල්ලි තිබුණෙ නෑ..‘‘ ඔහු වරක් කීය. ‘‘උදේටයි හවසටයි ෆුට්බෝල් සෙල්ලම් කරන එක තමයි මගෙ එකම සතුට වුණේ…‘‘

කුඩා කලදී සජියෝ ටෙලිවිෂනයෙන් ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයක් දුටුවේ අහම්බෙනි. ‘‘ඒක තමයි මගෙ ජීවිතේ ලොකුම හීනෙ වුණේ..‘‘

‘‘සෙනගාලයෙ හුඟක් දරුවො වගේ මම පටන්ගත්තෙ පාරෙ පාපන්දු සෙල්ලම් කරලා.. මම ජාතික කණ්ඩායම සෙල්ලම් කරද්දි මැච් බලන්න යනවා. මට පාපන්දු සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් මම ක්‍රීඩාව ගැන වැඩි දේවල් දැනගෙන හිටියෙ නෑ..‘‘ 2002 වසරේදී සෙනගාලය ලෝක පාපන්දු කුසලානයේ අර්ධ අවසන් පූර්ව තරගාවලිය දක්වා ඉදිරියට ආ විට සජියෝ මනේගේ හීනය අලුත් විය.

‘‘ලෝක කුසලානයෙන් පස්සෙ මමයි මගෙ යාළුවොයි එකතු වෙලා ගමේ ටෘෘනමන්ට් එකක් පටන් ගත්තා. මගෙ එකම අරමුණ වුණේ හැම තරගයකින්ම උපරිම දස්කම් දැක්වීම. මම දක්ෂම ක්‍රීඩකයා බව ගමේ හැම කෙනෙක්ම කිව්වා..‘‘ සාජියෝ සිහිපත් කරයි.

අවසානයේ ඔහුගේ මාමා සහ දෙමාපියෝ එකතු වී, සිය කෙත්වතුවල තිබූ අස්වැන්න කොටසක් විකුණා සාජියෝ වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට පටන් ගත්හ.

‘‘මගෙ මාමා තමයි ලොකුම හයිය වුණේ. ගමේ නොදන්න මිනිස්සුත් මාව පාපන්දු ක්‍රීඩකයෙක් කරන්න සල්ලි දුන්නා.‘‘

අවසානයේ ඔහු ඒ මුදලින් ඩකාර් උප නාගරිකය බලා ඒමට සමත් විය. පසුදිනම ඔහු ඩකාර් හි ජනප්‍රියම පාපන්දු සමාජයක සම්මුඛ පරීක්ෂණයකට ගියේය.

‘‘මේ බූට් දාගෙනද ටෙස්ට් එකට ආවෙ..‘‘ යැයි ඩකාර් හි පාපන්දු ප්‍රවීණයේ ඇසූහ. ඔවුන්ගේ මුහුණුවල තරහක් විය. සාජියෝගේ සපත්තු පරණ වී ඉරී ගොස් තිබිණි. තමන් පැමිණියේ තමන්ට හැකි හොඳම ආකාරයට බවත්, තමන්ගේ දස්කම් දැක්වීමට අවශ්‍ය බවත් සජියෝ ඔවුන්ට කීවේය. නමුත් පිටියට පිවිසි විට ඔවුන්ගේ මුහුණු පුදුමයෙන් බර විය. ඔහුව කෙළින්ම ඇකඩමියට යැවිණි. සීසන් දෙකකදී සජියෝ ගෝල 131 ක් ලබාගත්තේය. ජාත්‍යන්තර පිටිය දක්වා ඔහුගේ ගමන ඇරඹුණේ එසේ ය.

An emotional Sadio Mané celebrates Liverpool’s Champions League final win last season. Photograph: Soccrates Images/Getty Images

 

‘‘සජියෝ.. තාත්තා මැරුණා..‘‘

සජියෝ මනේ, සුපිරි පාපන්දු ක්‍රීඩකයන්ගේ සුපිරි ජීවිතය පැහැදිලිවම ප්‍රතික්ෂේප කළ කෙනෙකි. සිය කීර්තිය සහ ධනය තුළ ඔහු කිසිදු විටෙක මුල අමතක නොකරයි. පාපන්දුවක් ගන්නට මුදල් නොමැතිව, පාපන්දු පාවහන් ගන්නට මුදල් නැතිව නිරුවත් දෙපයින් සෙනගාල වෙරළේ පාපන්දු සෙල්ලම් කළ ආකාරය ඔහු කිසිවිටෙක අමතක නොකරයි.

ඔහු සිය පුද්ගලික මුදල් පරිත්‍යාගවලින් ගමට රෝහලක් ඉදි කර දුන්නේය. මෙයට පසුබිම් වූ කතාව ගාඩියන් පුවත් සේවය විසින් නිර්මාණය කළ Made In Senegal වාර්තා චිත්‍රපටයේ අන්තර්ගත වේ. ‘‘ඒ වෙනකොට මට අවුරුදු 7 යි. මම හීන දකින්න පටන් ගත්තා විතරයි. මගෙ තාත්තා අකාලයේ මිය ගියා..‘‘ ඒ පුවත ඔහු දැන ගන්නේ ඔහු වෙත ආ ඥාතියෙකු මෙසේ කීමත් සමග ය. ‘‘සජියෝ.. තාත්තා මැරුණා..‘‘

‘‘හැබෑට…‘‘ සජියෝ එය මුලින් විහිළුවකට බාර ගත්තේය. ඔහු සිතුවේ ඥාතියා විහිළුවක් කරන බව ය. දුප්පත්කම නිසා නිවසේ දෙමාපියන් සමග ජීවත් වීමට වාසනාවන නොලද සජියෝ පසුව දැනගත්තේ සිය පියා මිය යාමට පෙර සති ගණනාවක්ම ඔත්පළ ව සිට ඇති බවයි. ‘‘මාස 3- 4ක් ඔහුට ගොඩ වෙදකම් කරල තිබුණා.. ඒත් හදිසියේම ඔහුගෙ තත්වය නරක අතට හැරිලා. බම්බලි ගමේ රෝහලක් නැහැ. ඒ නිසා අල්ලපු ගමේ ඉස්පිරිතාලෙට මගෙ තාත්වය අරගෙන ගිහින්. නමුත් ඔහු මිය ගියා…‘‘

සිය ගම ද ඇතුළත් සේධූහි පළාත සජියෝගේ මානව හිතවාදී අරමුදල්වල අනුග්‍රහය නිතර ලබයි. ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව එම පළාතේ පවුල්වලින් 70%ක්ම අන්ත දුප්පත්කමේ ගිලී සිටිති. අවසානයේ පියා මිය ගොස් දශක 2 ක් ගත වූ තැන සජියෝ ගමට රෝහලක් ඉදි කර දුන්නේය.

තවද පවුම් 250,000 ක් වැය කර අලුත් ද්විතියික පාසලක් නවීන පහසුකම් ද සහිතව ඉදි කළා පමණක් නොව, මුදල් නිසි පරිදි යෙදවෙන්නේදැයි බැලීම සඳහා නිතර නිතර නිරීක්ෂණවල ද යෙදුණේය. 2018 චැම්පියන් ලීග තරගාවලියට ලිවර්පූල් පිල සූදානම් වෙමින් සිටින අවධියේදී ඔහු ලිවර්පූල් ටී ෂර්ට 300 ක් මිලදී ගෙන ඒවා බෙදා දුන්නේය.

සජියෝ 2020 ඔක්තෝබරයේදී කෝවිඩ්-19 වසංගතයට ගොදුරු වී පොසිටිව් තත්වයට පත් විය. එවිට ඔහු කළේ සෙනගාලයේ සෞඛ්‍ය බලධාරීන්ට පවුම් 41,000 ක් ලබා දී සෙනගාලයේ සෞඛ්‍ය සේවා කෝවිඩ් වසංගතයට සූදානම් කරන ලෙස ඉල්ලීමක් කිරීමයි. සජියෝ ‘තමන්ගේ ගමට‘ සහ ‘තමන්ගේ අයට‘ පමණක් වැඩ කරන, තමන්ගේ ආසනයට පමණක් වග කියන හුදු දේශපාලනඥයෙකුගෙන් ඔබ්බට ගොස් උපන් රටට යුතුකම් ඉටු කරන සෙනගාල් පුත්‍රයෙකි.

සජියෝ අද සෙනගාලයට පමණක් නොව මුළු ලෝකයටම රෝල් මොඩ්ල් කෙනෙකි. ඔහුගේ ගමන අවසන් නැත. එය ඔහු පටන් ගත්තා පමණි. සැබවින්ම සජියෝ මනේ වැනි ‘මිනිස්සු‘ වඩා යහපත් ලොවක් තැනීමේ බලාපොරොත්තුවෙන් සිත්පිත් නැති ආත්මාර්ථකාමී ලෝකයක, හදවත් උණුසුම් කරමින් සිටිති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි