×

නවසීලන්තයේ ප්‍රථම ආදිවාසී විදේශ කටයුතු ඇමතිනිය – නානයියා මහුටා

නවසීලන්ත පාර්ලිමේන්තුව ලොව වැඩි ම විවිධත්වයකින් යුතු පාර්ලිමේන්තුවලින් එකක් බවට පත් කරමින්, එහි විදේශ ඇමති ධූරයට ප්‍රථම වරට ආදිවාසී කාන්තාවක පත් කර තිබේ.


නවසීලන්තයේ ස්වදේශික ජනයා වන, මාඕරී ජනවර්ගයට අයත් වන නානයියා මහුටා වසර හතරකට පෙර, සම්ප්‍රදායික පච්චා වර්ගයක් වන මොකෝ කවුඒ පච්චය තම නිකටේ කොටාගෙන සිටි පළමු පාර්ලිමේන්තු සාමාජිකාව ද වූවා ය. මේ අනුව ජසින්ඩා ආර්ඩෙන්ට මේ නිර්භය තීරණය ගන්නට පූර්වාදර්ශයක් ද තිබිණි. ඇගේ ආණ්ඩුවේ මීට පෙර සිටි විදේශ ඇමති වන වින්ස්ටන් පීටර්ස් ද මාඕරි ජනවර්ගයට අයත් විය.

අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ගේ කම්කරු පක්ෂය මූලික වටයේ ප්‍රතිඵලවලින් 49.1%ක් ලබා ගනිමින් පසුගිය මාසයේ නැවත පත්කර ගනු ලැබූ අතර, එය නවසීලන්තයේ පවත්නා ඡන්ද ක්‍රමය 1996 වසරේ හදුන්වා දීමත් සමග පක්ෂයක් බහුතරය දිනා ගන්නට සමත් වූ ප්‍රථම වතාව යි. දැන් මේ පාර්ලිමේන්තුව, එහි අභිනව අමාත්‍ය මණ්ඩලය ද සමග පෙරේදා දිවුරුම් දෙනු ලැබිණි. 20 දෙනෙකුට සීමා වී ඇති එම අමාත්‍ය මණ්ඩලයේ කාන්තාවෝ 8 දෙනෙක් සිටිති. ඒ අට දෙනා අතරින් ද මේ ආදිවාසී කාන්තාව සුවිශේෂ ය.

කවුද මේ නානයියා මහුටා (Nanaia Mahuta)?

නානයියා මහුටා මුලින්ම නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ 1996 වසරේදී ය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ද මාඕරි දෙපාර්තමේන්තුවේ ද ඇය විවිධ නිලයන් උසුළා තිබේ.

ඇය, හිටපු මාඕරි රැජින වන තෙ අරින්කිනුයි තෙ අයාරිාන්ගිකාහු සහ වත්මන් මාඕරි රජු වන තුහෙයිටියා ගේ ද ඥාතියෙකු බව කියැවේ. ඔවුන්ගේ නියෝජනයෙන් යුක්ත මෙම මාඕරි පරපුර, වසර 160ක් පැරණි මාඕරි දේශපාලන ධාරාව නියෝජනය කරයි. නවසීලන්ත ස්වදේශිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීම, හකා නැටුම වැනි සංස්කෘතිකාංග ඇතුළුව සංස්කෘතිය පවත්වාගෙන යාම මෙන්ම නවසීලන්තයට පැමිණෙන විදේශ සම්භාවනීයයන් පිළිගැනීම ද ඔවුන්ගේ වගකීම්වලට ඇතුළත් ය. මේ අනුව නානයියා මහුටා, තමන්ගේ කාර්යභාරය ගැන මනා දැනුමක් සහ අවබෝධයක් ඇති තැනැත්තියකි.

තෙ අරින්කිනුයි හිටපු මාඕරි රැජින

තුහෙයිටියා මාඕරි රජු හකා නැටුමක

මාඕරි පච්චයක් සමග පාර්ලිමේන්තු ආ පළමු කාන්තාව

2016 වසරේදී මහුටා සම්ප්‍රදායික මාඕරි මෝකෝ පච්චයක් මුහුණේ ඇඳ ගත්තාය. මෝකෝ යනු මාඕරි ටැටූ විලාසිතාවන් ය. මේ අනුව මාඕරි ටැටූ එකක් සමග පාර්ලිමේන්තු ආ පළමු කාන්තාව බවට ද ඇය පත්වූවාය.

මෙම මෝකෝ ටැටූ, අතිශයින්ම සංකේතාත්මක ය. ඒවායේ එම ටැටූව පළඳින්නාගේ පෙළපත, ඉතිහාසය සහ සමාජ තත්වය යනාදී දේ ගැන විස්තර රැසක් අන්තර්ගත ය. තවද මෙම ටැටූ අතිශයින් දේශපාලනික ය. උදාහරණයක් වශයෙන් මාඕරි රූපවාහිනියක සේවය කරන දේශපාලන මාධ්‍ය වේදියෙකු වන රුකුවායි ටිපනේ-ඇලන් ද මෙවැනි ටැටූවකින් වත සරසාගෙන සිටියි.

‘‘අපේ සංස්කෘතිය දේශීය මායිම් බිඳ දමනවා.‘‘ යැයි මහුටාගේ මුහුණු ටැටුව ගැන ඔහු අදහස් දක්වමින් කියයි.

‘‘මේ පච්චය මගේ පෞරුයේ පිළිබිඹුවයි..‘‘ මේ අතර නානයියා මහුටා පවසන්නීය.

නවසීලන්තයේ ආදිවාසී උරුමය විදේශයන් සමග මුසු කිරීමේ ගෞරවය දැන් ඇය සතු ය. ඇය ඒ වගකීම සහ උරුමය වත්පොත් කරගෙන සිටින්නීය.

පෙර ලිපිය –

විවිධත්වය සපිරි 20 දෙනෙකුගේ අමාත්‍ය මණ්ඩලයක් සමග ජසින්ඩා ආර්ඩෙන් දෙවන වර දිවුරුම් දෙයි

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි