×

‘‘මාධ්‍යවේදීන් සිරගත කිරීම, ප්‍රකාශනයේ නිදහසට බාධාවක් නොවේ!“- අවුන්සාන් සුකී නැවත ගම කයි!

මියැන්මාර නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුකී, රොහින්ගියා සංහාරයට අදාළ වාර්තාකරණයේ නිරත වී සිටි මියැන්මාර ජාතික රොයිටර්ස් මාධ්‍යවේදීන් දෙදෙනකුට වසර 7 ක සිරදඬුවම් නියම කිරීම අනුමත කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.


ලොව පුරාම මෙම සිරගත කිරීම සහ එමගින් ප්‍රකාශනයේ නිදහසට අකුල් හෙළීම දැඩි සේ හෙළා දැකීමට ලක් වන විට මියැන්මාර නායිකාව පැවසුවේ, එම දඬුවම් නියම කිරීම සහ ‘ප්‍රකාශනයේ නිදහස‘ අතර කිසිම සම්බන්ධයක් නැති බව යි. (“nothing to do with freedom of expression at all”)

වා ලෝන් Wa Lone සහ ක්යාව් සෝ ඌ Kyaw Soe Oo මාධ්‍යවේදීන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් වාර්තා කිහිපයක් ද ඔවුන් සන්තකයේ තිබිණි.

මියැන්මාරයේ වාර්ගික මුස්ලිම් සුළුතරය සේ සැලකෙන රොහින්ගියානුවන් ට එරෙහිව 2017 වසරේදී මියැන්මාර හමුදාවේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයක් සහිතව සංහාරය ආරම්භ වීමෙන් පසු මේ දක්වා හත් ලක්ෂයකට (700,000) ආසන්න රොහින්ගියානුවන් පිරිසක් රට හැර ගොස් තිබේ. මෙහිදී වර්ග සංහාරය ඇතුළු යුධ අපරාධ සිදුවී ඇති බවට ජගත් සංවිධානය විසින් ද චෝදනා කර තිබේ. ඒ පිළිබඳ ජගත් සංවිධානය විසින් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් විමර්ශනයක් සඳහා ද කැඳවා ඇත.

සුකී නිහඬතාවය බින්ද හැටි

මියැන්මාරයේ නිල නොලත් හෙවත් ඩී ෆැක්ටෝ නායිකාව වන අවුන් සාන් සුකී, ජනමාධ්‍ය වේදීන්ට දඬුවම් නියම කළ සැප්තැම්බර් 3 වැනිදා පටන්ම ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියාය. මේ සතියේ ජගත් සංවිධානය මියැන්මාරයට චෝදනා කළේ ‘‘මාධ්‍යවේදීන්ට එරෙහිව රට තුළ වෙනම මර්දනකාරී ව්‍යාපාරයක්‘ ගෙන යන බවට ය. ඇමරිකානු ජනපති මයික් පෙන්ස් ද මේ සම්බන්ධයෙන් මියැන්මාරය වෙත දෝෂාරෝපණය කර තිබිණි.

මේ අනුව නඩු තීන්දුවෙන් දින 10කට පසු අද (සැප්. 13) දිනයේ සිය නිහැඬියාව බිඳිමින් අවුන් සාන් සුකී වියට්නාමයේ පැවති අන්තර්ජාතික ආර්ථික සම්මේලනයකට සහභාගි වීමේදී ඒ පිළිබඳ කතා කළාය. අන්තර්ජාතික ප්‍රවෘත්ති ඒජන්සියක මාධ්‍යවේදීන් රටේ නීතියේ ආධිපත්‍යයට යටත් කිරීම හෙළාදැකීමට එරෙහිව ඇය අදහස් පළ කළාය.

එහිදී ඇය තවදුරටත් පැවසුවේ මියැන්මාරය විවේචනය කරන බොහෝ අය නඩු තීන්දුව හරි හැටි කියවා නැති බවයි. ‘‘ඔවුන්ව සිරගත කළේ ඔවුන් මාධ්‍යවේදීන් වූ නිසා නෙවෙයි… අධිකරණය විසින් ඔවුන් නිල රහස් පනත උල්ලංඝනය කර ඇති බව තීරණය කළ නිසයි‘ යනුවෙන් ඇය පැවසුවාය. ඒ දෙදෙනාට අභියාචනය කිරීමේ සෑම අයිතියක්ම ඇති බවත්, ඒ හරහා නඩු තීන්දුව වැරදි බව කියාපෑමට අවස්ථාව ඇති බවත් ඇය තවදුරටත් පැවසුවාය.

මාධ්‍යවේදීන් සිරගත වූ හැටි

EPA

EPA

සැප්තැම්බර් 3 වැනිදා මෙම මාධ්‍යවේදීන් දෙදෙනා ට සත් අවුරුදු සිර දඬුවම් නියම කරනු ලැබුවේ රොහින්ග්‍යා සංහාරය පිළිබඳ විමර්ශනාත්මක වාර්තාකරණයේ යෙදී සිටියදී නිල රහස් පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි. රොහින්ග්‍යා සංහාරය සිදුවූ රඛීන් ප්‍රාන්තයේ ඉන් ඩින් (Inn Din) නමැති ගම්මානයේදී ඔවුන් පොලිස් අත්අඩංගුවට පත් වූයේ තානායමකදී පොලිස් නිලධාරීන් විසින් ලබාදී තිබූ නිල පොලිස් වාර්තා කිහිපයක් ඔවුන් සන්තකයේ තිබියදී ය.

මාධ්‍යවේදීන් පසුව කියා සිටියේ, මෙය පොලිසිය විසින්ම ඇටවූ උගුලක් විය හැකි බව ය. නඩුවේදී සාක්ෂිකරුවෙකු ද මේ බව තහවුරු කර තිබිණි.

බුරුම බලධාරීන් පසුව මේ පිළිබද තවත් විමර්ශනයක් ආරම්භ කළේ, සැබවින්ම ඉන් ඩින් ගම්මානයේදී සිදුවූ දේ සොයාබැලීම සඳහා ය. පසුව රොහින්ග්‍යා පිරිමින් 10 දෙනෙකු හමුදාව විසින් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බවට සැක කරමින් සොල්දාදුවන් 7 දෙනෙකු ද සිරගත කිරීම සිදුවිය.

මේ වන විටද කිසිදු මාධ්‍යවේදියෙකු හට රඛීන් පළාතට ඇතුල් වීමට අවසර නැත.

සුකීට මොකද වුණේ?

73 හැවිරිදි අවුන් සාන් සුකී, දශක ගණනාවක් හමුදා පාලනය යටතේ පැවති මියැන්මාරයෙන් බිහි වූ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවයි. ඇය, ‘නූතන මියැන්මාරයේ පියා‘ වශයෙන් හැඳින්වෙන, සමාජ ප්‍රජාතාන්ත්‍රිකයෙකු බවට පසුව පත්වූ කොමියුනිස්ට්වාදියෙකුගේ (අවුන් සාන්) බාල දියණියයි. දශකයකට ද අධික කාලයක් මියැන්මාර හමුදා ජුන්ටාව විසින් ඇයව නිවාස අඩස්සියේ ද තබා තිබිණි. එහිදී මියැන්මාරයේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් හොඳම නිදසුන ලෙස ජාත්‍යන්තරය විසින් හඳුනාගැනුණේ ඇයයි. ඒ අනුව ඇය, ගෝලීය මානව හිමිකම් ව්‍යාපාරයේ සංකේතයක් ලෙස අවිවාදයෙන් හැඳින්විණි.

නමුත් මියැන්මාරයේ නිල නොලත් නායිකාව බවට පත්වීමෙන් අනතුරුව ඇය මියැන්මාරය තුළ ඇති වූ රොහින්ගියා සංහාරය වළක්වා ගැනීමට අසමත් වුණා පමණක් නොව, ඒ වෙනුවෙන් කතා කරන සහ හමුදාව වරදකාරී බවෙන් නිදහස් කරන නායිකාවක බවට පත්ව සිටියාය. ඇයට ලබාදුන් ජාත්‍යන්තර ගෞරවයන් ගණනාවක් ද පසුකාලීනව ඇයට අහිමි කෙරිණි.

කෙසේ නමුත්, රොහින්ග්‍යාවරුන් බංග්ලාදේශයෙන් පැමිණි ‘පිටදේසක්කාරයන්‘ ලෙස සැලකුම් ලබන මියැන්මාර ජනතාව අතර තවමත් ඇය ඉතාම ජනප්‍රිය නායිකාවකි.

මියැන්මාරයේ නීතියේ ආධිපත්‍යය

අන්තර්ජාතික ප්‍රවෘත්ති ඒජන්සියක මාධ්‍යවේදීන් රටේ නීතියේ ආධිපත්‍යයට යටත් කිරීම ප්‍රශ්න කරමින් අවුන් සාන් සුකී විසින් සිදුකර ඇති නවතම ප්‍රකාශය සාහසික වැඩි බව විචාරකයන්ගේ මතයයි. හියුමන් රයිට්ස් වොච් ආයතනය සුකී ගේ අදහස් දැඩි සේ විවේචනය කරමින්, ‘ඇය සියලුම දේවල් වරද්දාගෙන ඇති බව‘ කියයි.

‘‘සැබෑ නීතියේ ආධිපත්‍යය (නීතිය මත පාලනය) යනු කුමක්දැයි අවබෝධ කරගැනීමට ඇය අසමත්. සැබෑ නීතියේ ආධිපත්‍යෙයන්, අධිකරණයට ඉදිරිපත් කරන සාක්ෂි අනුව, පැහැදිලිවම අර්ථ නිරූපණය කරන ලද අදාළ නීති මගින් වුවද ආණ්ඩුව හෝ ආරක්ෂක බලධාරීන්ගේ බලපෑම මත අධිකරණයේ නිදහසට බාධා කිරීම අදහස් නොවන බව ඔවුහු පෙන්වා දෙති.

‘‘රොයිටර්ස් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පැවති නඩු විභාගය විසින්ම නීතියේ ආධිපත්‍යය පරාජය කරනවා‘ යැයි ද හියුමන් රයිට්ස් වොච් ආයතනය පවසයි.

‘‘මීට වඩා හොඳින් හසුරුවාගන්නට තිබුණා!“

‍මියැන්මාරය තුළ ජීවත් වන රොහින්ගියාවරුන් දශක ගණනක් තිස්සේ අවසැලකීම්වලට ලක් කිරීම පිටුපස තිබෙන්නේ ඔවුන්ට පුරවැසි භාවය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ කථාන්දරයයි.

මෑත කාලීන අර්බුදය හටගත්තේ, 2017 අගෝස්තු මාසයේ ඈත බටහිර මියැන්මාරයේ රඛීන් ප්‍රාන්තයට කෘෘර හමුදා ආක්‍රමණයක් එල්ල වීමත් සමග ය. රොහින්ග්‍යා නමින් මෙම ජන කණ්ඩායම අතර පිහිටුවාගෙන තිබෙන සන්නද්ධ කල්ලිය මර්දනය කිරීමේ අරමුණින් ප්‍රහාරය දියත් කළ බව පැවසිණි. මෙම රොහින්ග්‍යා සන්නද්ධ කල්ලි විසින් පොලිස් මුරපොළ 30කට වඩා වැඩි සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර තිබීම, මෙම ආක්‍රමණය සාධාරණීකරණය කිරීම සඳහා පැවති හේතුවයි.

පසුගිය මාසයේ ඉහළ පෙළේ ජගත් සංවිධාන වාර්තාවක් මගින් කියා සිටියේ මියැන්මාරයේ ඉහළම හමුදා නිලධාරීන්, රඛීන් ප්‍රාන්තයේ සිදුවූ වර්ග සංහාරයට සහ මනුෂ්‍යත්වයට එරෙහිව සිදු වූ අපරාධවලට වගකිව යුතු බවයි. රඛීන් ප්‍රාන්තය පමණක් නොව මියැන්මාරයේ වෙනත් පළාත්වල සිදුවන අපරාධ ද එහිදී ඔවුන් විසින් සැලකිල්ලට ගෙන තිබිණි.

එම වාර්තාවේ මේ පිළිබඳ හමුදාව විසින් ලබාදුන් ප්‍රතිචාරය පිළිබඳව ද විග්‍රහ කෙරේ. එහි පැහැදිලිවම සඳහන් වන්නේ හමුදාව රඛීන් ගරිල්ලන්ගේ ප්‍රශ්නය මැඬ පැවැත්වීම සඳහා යොදාගත් ඝාතන, ස්ත්‍රී දූෂණ, ලිංගික වහල්භාවය, වධහිංසා කිරීම සහ වෙනත් කෘෘර හෝ අවමන් සහගත සැලකිිලි, ඒ අවස්ථාවේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති සැබෑ තර්ජනයට කොහෙත්ම සමානුපාතික නොවන බව‘ ය.

මියැන්මාරය තුළ හමුදාව සැලකෙන්නේ රාජ්‍යයට ද වඩා ප්‍රබල ස්ථාපිතයක් ලෙස ය. සුකී කිසිදු විටෙක හමුදාව විවේචනය නොකරයි. නමුත් අද ඇය කියා සිටියේ ඇගේ ආණ්ඩුවට එය තත්වය ‘මීට වඩා හොඳින් හසුරුවාගන්නට තිබුණා‘ කියා ය.

‘‘නමුත් දීර්ඝ කාලීන ස්ථාවරත්වයක් සහ ආරක්ෂාවක් සඳහා අප සෑම පාර්ශවයක් සම්බන්ධයෙන්ම සාධාරණ විය යුතුයි.“ යැයි ද ඇය කියා තිබේ.

‘‘නීතියේ ආධිපත්‍යය මගින් ආරක්ෂා කළ යුත්තේ කවුද කියා තෝරා බේරාගන්නට බැහැ“ යැයි ද ඇය කියා තිබේ.

මේ ප්‍රකාශයම, සුකී සතුව තිබෙන නීතියේ ආධිපත්‍යය ගැන අවබෝධය ශෝචනීය ලෙස කියා පායි. නීතියේ ආධිපත්‍යයට රටක සියල්ලන්ම සමාන ලෙස යටත් වන නිසා, ඒ යටතේ කිසිවෙකු තෝර තෝරා බේරගන්නට උවමනා නැති හෙයිනි.

පෙර ලිපි-

රහස්‍යතා නීතිය යටතේ රොයිටර්ස් මාධ්‍යවේදීන් දෙදෙනාට වසර 7 බැගින් සිර දඬුවම්

රොහින්ගියානුවන් නැසූ යුධ අපරාධකරුවා මියැන්මාරයේ මීළඟ නායකයාද?

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි