×

රොහින්ගියානුවන් නැසූ යුධ අපරාධකරුවා මියැන්මාරයේ මීළඟ ජනපති ද?

ඔහුගේ ෆේස්බුක් පිටුවට ලයික්ස් මිලියන 1.2 ක් තිබේ.


ජ්‍යේෂ්ඨ ජනරාල් මින් අයුන්ග් හ්නැයින්ග් (Min Aung Hlaing) ට අනාගතයේදී විය හැකි ප්‍රධාන දේවල් දෙකක් තිබේ. එකක් නම්, ඔහු ව නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබෙන අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය (International Criminal Court (ICC)) වෙත ගෙන යා හැකි ය. නැතිනම් මියැන්මාරයේ ජනතාවට ඔහුව විශාල ජනමතයකින් මීළඟ ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත හැකි ය.

විය හැකියාවේ සම්භාවිතාවය වැඩිපුර තිබෙන්නේ දෙවැනි කාරණය සම්බන්ධයෙනි.

මියැන්මාරය පුරා මේ වන විට ඔඩු දුවමින් තිබෙන්නේ ජාතිකත්වවාදී රැල්ලකි. මීළඟ මියැන්මාර ජනාධිපතිවරණයේ ‘වීරයා‘ මේ ජනරාල් ය.

රටේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ඔහු ය. පළමු සොල්දාදුවා ද ඔහු ය. සන්නද්ධ හමුදාව තුළ ඔහු අති ප්‍රබල චරිතයකි.

ක්‍රමිකව මානව හිමිකම් කඩ කිරීම

මියැන්මාරයේ සිවිල් සංවිධාන, ඔහු ‘ක්‍රමයකට‘ මානව හිමිකම් උල්ලංඝනය කළ අයෙක් බව පෙන්වා දෙති. බටහිර රඛීන් ජනපදයේ රොහින්ගියා ජාතිකයන් 800,000 ක් දෙනා ‘සුද්ද කිරීමේ මෙහෙයුම්වලදී‘ පසුගිය වසරේ අගෝස්තු මාසයේ අසල්වැසි බංග්ලාදේශයට පන්නා දැමුණේ ඔහුගේ අණෙනි.

‍එම ‘සුද්ද කිරීමේ මෙහෙයුමේදී හෙවත් වාර්ගික ශෝධනයේදී යන්තම් දිවි බේරාගත්, දූෂණය කෙරුණු, කොල්ල කෑමට ලක් වූ රොහින්ගියානුවෝ දහස් ගණනක් සිය ජීවිතයේ ලද ගොරතර අත්දැකීම් ලෝකය සමග බෙදා ගැනීමට සූදානම් ය. රට තුළ සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම ජාත්‍යන්තර හිමිකම් ක්‍රියාකාරීන් ද සතුව ජනරාල් මින් අයුන්ග් හ්නැයින්ග් ට විරුද්ධ ව ගොනු කිරීමට චෝදනා දහස් ගණනක් තිබේ. කිසියම් හේතුවක් නිසා මේ ජනරාල්, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත. නමුත් රැල්ල ගසන්නේ ඔහුගේ පැත්තට ය.

මියැන්මාරය රොහින්ගියා ලෙයින් පෙඟී ගියේ, ‍කලෙක ලෝකයේම පැසසුම් ලැබූ මානව හිමිකම් නායිකාවක වූ අවුන්සාන් සුකී මියැන්මාරයේ ඩී ෆැක්ටෝ හෙවත් නිල නොලත් (තත්වාකාර) නාකියාව වශයෙන් කටයුතු කරන අතරවාරයේ ය. ඇගේ පාලක NLD හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට රොහින්ගියා ප්‍රශ්නය විසඳන්නට සාධනීය මැදිහත්වීමක් කළ නොහැකි විය. රට තුළින් නැගෙන අධික පීඩනය, ජාතිවාදය සහ දක්ෂිණාංශිකවාදය ඔඩු දුවන මියැන්මාර සමාජය තුළ ‘රොහින්ගියා‘ යන්න තවමත් තහනම් වචනයකි.

දෘෂ්‍යමාන ඉහළ නායකත්වයක් නොමැති තැන ජනතාව නිතැතින්ම අන්තවාදී බලවේග වෙත නැඹුරු වෙති. මියැන්මාර ජනතාවට අවුන් සාන් සුකී තවදුරටත් ජනකාන්ත නායිකාවක නොවේ. 1962 වසරේ පිටන් පැවති දශක ගණනක අපචාරී හමුදා පාලනය අවසන් කරමින් 2016 මාර්තු මස විධිමත් ලෙස තේරී පත් වූ අවුන් සාන් සු කී ගේ ආණ්ඩුව මේ වන විට කල් ඉකුත් වෙමින් සිටියි. දැන් ජනතාවට අවශ්‍ය අලුත් විකල්පයක් වෙත යාමට ය. ඔවුහු ‘වෙනසක්‘ සොයති! ඒ වෙනස කොතරම් ‘භයානක වෙනසක්‘ වනු ඇත්දැයි ඔවුන්ට වගක් නැත.

රොහින්ගියානුවන්, බංග්ලාදේශයෙන්ම පැමිණි නීති විරෝධී සංක්‍රමණික සුළුතරයක් ලෙස සැලකූ රටක් තුළ රොහින්ගියානුවන්ට ‘තොපි ආව රටටම පළයල්ලා‘ යනුවෙන් පැවසීම මියැන්මාරයේ බහුතර ජන සමාජය තුළ ලෙහෙසියෙන්ම සාධාරණීකරණය කළ හැකි තත්වයකි. ජගත් මානව හිමිකම් සංවිධානයට අනුව රොහින්ගියා මර්දනයේදී සිදුවූයේ ‘වාර්ගික ශෝධනයක්‘ සහ ‘සංහාරය‘කි. මේ දෙකම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ ‘මනුෂ්‍යත්වයට එරෙහිව කළ අපරාධ‘ යන් ය. එනම් මනුෂ්‍යෙයකුට එරෙහිව කළ හැකි විශාලතම අපරාධයන් ය. නමුත් මියැන්මාරය තුළ මේ සඳහා අණ දුන් ජනරාල් මින් අයුන්ග් හ්ලැයින්ග්ගේ ප්‍රතිරූපය විශාල වශයෙන් ඉහළ ගියේය. රටේ බහුතරයට අනුව ඔහු දැන් ‘ජාතියේ පියා‘ බඳු ය.

රටට ආදරේ මිනිසෙක් කළ යුත්තේ ඒ රට ඕනෑම වර්ගයක, ඕනෑම ජාතියක ජන කොටසකට ජීවත් විය හැකි සාමකාමී බිමක් බවට පත් කරගැනීමට බව සිතන්නට තරම් දියුණු මනසක් ඔවුන්ට නැත. පාලකයන් ඒ තත්වය දක්වා ජන මනස දියුණු කිරීමට කිසිවක් කරන්නේ ද නැත. රොහින්ගියානුවන්ට සිදුවූ අයුක්තිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව පමණක් මියැන්මාරය වගකීමට හසු කරන්නට උත්සාහ දරමින් සිටියි. එම උත්සාහයන් සුපුරුදු පරිදි එම ජනතාව විසින් ද දකින්නේ ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණ‘ වශයෙනි. රටක බහුතර ජනතාව ගොම ගතියකින් යුක්ත වන විට මේ ලෝකයේ ඕනෑම රටක ලක්ෂණ ඒවා ය.

ඇම්නේස්ටි ඉන්ටනැෂනල් වාර්තාව

ඇම්නේස්ටි ඉන්ටනැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ජූනි 27 වැනිදා වාර්තාවක් එළිදක්වමින් කියා සිටියේ ජනරාල් මින් අයුන්ග් හ්ලැන්ග් සහ තවත් නිලධාරීන් දුසිමක් සම්බන්ධයෙන් ‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ‘ කළ චෝදනාවට නඩු පැවරීමට තරම් ‘සවිස්තරාත්මක‘ සහ ‘විශ්වාසනීය‘ සාක්ෂි තමන් විසින් එක්රැස් කර ඇති බව ය. රඛීන් ජනපදයේ මියැන්මාර් වාර්ගික ශෝධනයට ලබාදුන් හමුදා අණ පිළිබඳ පර්යේෂණ කළ ඔවුන් පවසන්නේ එකී ප්‍රචණ්ඩත්වය ‘මැර සොල්දාදුවන්ගේ හෝ හමුදා ඒකකවල‘ ක්‍රියාවක් නොව, ‘‘දැඩි ලෙස සූදානම් ව සිදුකළ ක්‍රමානුකූල ප්‍රහාරයක් (“highly orchestrated, systematic attack”) ලෙස ය. මේ තත්වය අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයේ දැඩි විමසිල්ලට ලක් විය යුතු බව ද ඔවුහු අවධාරණය කරති.

‘‘ක්‍රියාන්විතය අධීක්ෂණය කිරීම සඳහා ජනරාල් මින් අයුන්ග් හ්ලැයින්ග් ඇතුළු ඉහළ පෙළේ හමුදා කොමදෝරුවන් උතුරු දිග රඛීන් ජනපදයට ගියා. හරියටම වාර්ගික ශෝධනය ක්‍රියාත්මක කරන දිනයට පසුදා ඔවුන් කෙළින්ම එහි ගියා‘‘ යැයි ඇම්නේස්ටි ඉන්ටනැෂනල් වාර්තාව සඳහන් කරයි. ‘‘එහිදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවන බව මේ ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් දැන සිටින්නට ඇති. ඔවුන් ඒ බව දැන සිටියා විය යුතුයි. නමුත් ඔවුන් සිය බලතල යොදවා එසේ සිදුවීම වළක්වා ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔවුන් පසුව එම සිදුවීමට සුදු හුණු ගෑවා“ යැයි ද එම වාර්තාවේ සඳහන් ය.

අධිකරණ බලයට පිටතින් සිටිමින්

ජූනි 22 වැනිදා අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය මියැන්මාරයට දැනුම් දුන්නේ යුධ අපරාධ සම්බන්ධයෙන් සිය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන හෙයින් ජූලි 27 වනදා වන විට ඒ සම්බන්ධව ප්‍රතිචාරයක් ලබාදිය යුතු බව ය. මියැන්මාරය ද ශ්‍රී ලංකාව මෙන්ම රෝම ප්‍රඥප්තියේ පාර්ශවකරුවෙක් නොවේ. එනම් රෝම ප්‍රඥප්තියට ඔවුන් අත්සන් කර නැත. 1998 වසරේ අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය පිහිටවූයේ රෝම ප්‍රඥප්තියට අනුව ය. ඒ අනුව මියැන්මාරය අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයට පිටතින් තිබෙන බව පෙනේ. මියැන්මාර රජය මේ වන විටත් දැනුම් දී ඇත්තේ තමන් ඔවුන්ගේ ඉල්ලීමට නිල වශයෙන් ප්‍රතිචාර දක්වන්නේ නැති බව ය.

කළ හැක්කේ කුමක්ද?

මේ වාතාවරණය තුළ අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයට කළ හැකිව තිබෙන එක් දෙයක් ඉතිරිව ඇත. එනම්, අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයේ අභිචෝදකයන්ට, දැනටමත් එම අධිකරණය ඉදිරියේ සිටින රොහින්ගියා වින්දිතයන්ගේ නියෝජිතයන් සමග මේ කාර්යය ඉදිරියට ගෙන යා හැකි ය. එනම්, මියැන්මාරය රොහින්ගියානුවන්ට බෙදූ හැන්දෙන්ම රොහින්ගියානුවන්ට මියැන්මාරයට සලකන්නට පුළුවන. ඒ පහත අන්දමිනි.

මියැන්මාරයට අනුව රොහින්ගියානුවන් අයත් වන්නේ අසල්වැසි බංග්ලාදේශයට ය. බංග්ලාදේශ- මියැන්මාර දේශසීමාව ආසන්න කලාපයේදී ද රොහින්ගියානුවන්ට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිය දහස් ගණනක් සිදුවිය. බංග්ලාදේශය 2010 මාර්තු මාසයේ රෝම ප්‍රඥප්තිය අපරානුමිත කළේය. හෙවත් රටේ නීතිය බවට පත්කර ගත්තේය. දැන්, රොහින්ගියා වින්දිතයන් හට ICC ඉදිරියේ ‘‘අන්තර්ජාතික දේශසීමාවක් හරහා රෝම ප්‍රඥප්තියේ පාර්ශවයක් වන රටක දේශභූමිය තුළ අපරාධයේ අත්‍යාවශ්‍ය සම්පාදක ධාතු සහිත හැසිරීම් පළ කළ බව‘ (“as an essential legal element of the crime – crossing an international border – occurred in the territory of a State which is a party to the Rome Statute.”) පවසමින් අයදුම්පතක් ගොනු කිරීමට පුළුවන. මෙම අයදුම්පත ICC විසින් පිළිගතහොත් එයට බංග්ලාදේශය සිය අධිකරණ බල ප්‍රදේශයක් වන හෙයින් බංග්ලාදේශය යොදාගෙන මේ නඩුව ඇසීමට පුළුවන.

ජනරාල් යුධ අපරාධ අධිකරණය ඉදිරියට ඒවිද?

එය එසේ සිදුකළ ද ජනරාල් මින් අයුන්ග් හ්ලැයින්ග් අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයේ පෙනී සිටිනු ඇතැයි සිතිය හැකිද? තමන් නිල වශයෙන් අයිසීසී යේ ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වන බව මියැන්මාර රජය විසින් පවසා ඇති පසුබිමක් තුළ ඔවුන් කිසිදු විටෙක අයිසීසී ය වෙත මේ ජනරාල් භාර නොදෙනු ඇත. නමුත් ඔහු එසේ නොපැමිණි නිසාම අයිසීසීයට චෝදනා පත්‍රය හකුළා ගන්නට සිදුවුවහොත් ඔහුට බලපෑම් සහගත වන එකම එක දෙයක් එයින් අවම වශයෙන් ප්‍රතිඵල වේ. එනම්, ජනරාල්ට අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයේ අධිකරණ බලයට යටත් වන භූමි වෙත ගමන් කිරීම තහනම් වනු ඇත.

1998 රෝම ප්‍රඥප්තියට අත්සන් කළ රටවල් ගණන 139 කි. චීනය, ඇමරිකාව, ඊශ්‍රායලය, කටාර්, ඉරාකය සහ ලිබියාව රෝම ප්‍රඥප්තිය ගෙන ආ අවස්ථාවේ එයට අත්සන් තබනු තබා අත ඉස්සුවේ ද නැත. ඔවුන් ඡන්දය ප්‍රකාශ කළේ එයට එරෙහිව ය. අනෙක් අතට ජාත්‍යන්තර ප්‍රඥප්තියකට, සම්මුතියකට හෝ ජාත්‍යන්තර නීතියකට රාජ්‍ය පාර්ශවයක් වශයෙන් අත්සන් කළ පමණින් එකී නීතිය රටේ නීතිය බවට පත් වන්නේ නැත. ඒ සඳහා එකී සම්මුතීන් තම තමන්ගේ රටවලදී, එනම් දේශීය වශයෙන් ‘රටේ නීතිය‘ බවට පත් කර ගත යුතුය. ඒ සඳහා එක් එක් රටවල් සිය සම්මත නීති සම්පාදක ක්‍රමය යොදාගත යුතුය. උදාහරණයක් වශයෙන් ලංකාවේදී එය කළ යුතු වන්නේ එකී අන්තර්ජාතික සම්මුතියේ අඩංගු නීතිය හෝ එහි කොටසක්, පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කර ගැනීම හරහා ය. එයට ‘පසුව අනුමත කිරීම‘ හෙවත් ‘අපරානුමිත කිරීම‘ යැයි කියනු ලැබේ. මෙසේ රෝම ප්‍රඥප්තියට අත්සන් කර, එයින් නොනැවතී එය අපරානුමිත කළ රටවල් ලෝකයේ තිබෙන්නේ 118 කි. ජනරාල් පිටරට යන්නේ නම්, ඔහුට මේ රටවල් 118 හැර වෙනත් ඕනෑම රටක සංචාරය කළ හැකිය. නොඑසේ නම් මේ රටවල් 118න් එකකදී ඔහු හසුවුණහොත් අත්අඩංගුවට ගෙන, කුදලාගෙන ගොස් රඳවා තබාගෙන නඩු ඇසිය හැකිය.

මෙයට අමතරව අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා පත්‍රයක් ගොනු කළහොත් සහ ජනරාල් හා ගෝලයන් දුසිම එය ගණන් නොගෙන සිටියහොත්, මියැන්මාරය ‘චණ්ඩාල රාජ්‍යයක්‘ (pariah status) බවට තත්වයෙන් පහළ හෙළීමට අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයට පුළුවන.

මේ අතර යුරෝපා සංගමය, මියැන්මාරයේ හමුදා නිලධාරීන් 7 දෙනෙකුට එරෙහිව රොහින්ගියා මර්දනය තුළ ඔවුන්ගේ භූමිකාව හේතුවෙන් දැනටමත් අවරෝධනයන් පනවා තිබේ.

මියැන්මාරය තවමත් හමුදාව අතේ

මියැන්මාරයේ හමුදා පාලනය අවසන්ව ඇතැයි කියතත්, බොහෝ විචාරකයන්ට අනුව හමුදාව සිය බලතල, තෝරාපත්වූ සිවිල් වැසියන් වෙත තවමත් සම්පූර්ණ වශයෙන් ලබාදෙන්නට කරදර වන්නේ නැත. මේ වන විට මියැන්මාරය සිය පාර්ලිමේන්තුවේ නියෝජිත සහ උත්තර මන්ත්‍රී මණ්ඩල සඳහා 1/4ක්ම පත්කර තිබෙන්නේ හමුදා සාමාජිකයන් ය. එය හමුදාවේ ස්වයං පාලන අයිතිය තහවුරු කිරීමකි. එසේම හමුදාවට තවමත් වැඩි බලතල ලබාදී ඇති මියැන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකට ලක් කරන්නේ නම් ඒ සඳහා සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/4කට වඩා වැඩි බලයක් ඔවුන්ට උවමනා වේ. එහිදී 1/4 ක් වන හමුදා සාමාජිකත්වය ඔවුන්ට පැහැදිලි වාසියකි. බොහෝ නිරීක්ෂකයන් විසින් ‘තවත් වංචාවක්‘ ලෙස හැඳින්වූ මියැන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ජනමත විචාරණය 2008 වසරේදී පැවැත්වුවද හමුදාවට එහි විධිවිධාන වෙනස් කිරීම සඳහා ගෙන එනු ලබන ඕනෑම පියවරක් අවහිර කිරීමට බලය තිබේ.

මියැන්මාරයේ ප්‍රධානතම අමාත්‍යාංශ 3 ක් සේ සැලකෙන ආරක්ෂක අමාත්‍යාංශය, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ දේශසීමා ගැටලු පිළිබඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන් හි ප්‍රධානීන් පත් කරනුයේ ද හමුදාව විසිනි. පැහැදිලිවම, ‘ජාතික අර්බුදයක්‘ ඇතැයි සැලකෙන ඕනෑම අවස්ථාවක හමුදාවට රට නතු කර ගත හැකි යැයි ප්‍රකාශිතවම සඳහන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් සිහිනයක් පමණි.

www.asiatimes.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි