පාකිස්ථානය ලබන මාසයේ මහමැතිවරණයට මුහුණ දීමට නියමිත ය. නමුත් ‘ඉස්ලාමීය ඉන්ජන්ෂන් උල්ලංඝනය කිරීම‘ යන චෝදනාව යටතේ මේ වන විටත් රටේ ප්‍රබල දේශපාලකයන්ගේ ගමන වැළැක්වෙමින් තිබේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට එසේ කරනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම විධිවිධාන යොදාගෙන අධිකරණය හරහා ය. පාකිස්ථානයේ හිටපු අගමැති ෂාහිද් කාඛන් අබ්බාසි (Shahid Khaqan Abbasi) මේ ඉරණමට මුහුණ දුන් අලුත්ම චරිතයයි. දැන් ඔහුට ඉතිරි ජීවිත කාලය සඳහාම දේශපාලනයේ යෙදීම තහනම් කර ඇත.
පාකිස්ථානයේ ව්‍යස්ථා සම්පාදකය හෙවත් පාර්ලිමේන්තුව හඳුන්වන නාමය වන්නේ ‘නැෂනල් ඇසෙම්බ්ලි‘ හෙවත් ‘ජාතික සභාව‘ යි.අගමැති ෂාහිද් කාඛන් අබ්බාසි හට දැන් මුර්රී පළාතේ පිහිටා තිබෙන සිය ආසනයේ ඡන්ද දායකයන් සිය ජීවිත කාලය සඳහා ම අහිමි වේ. එතරම් දඬුවමක් පනවන්නට ඔහු කළ වරද කුමක්ද…?
හිටපු අගමැති අබ්බාසි විසින් පාකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62(1)(ඊ) ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ඔහුට එරෙහිව ලාහෝර මහාධිකරණය විසින් ලබාදුන් පිටු 8 කින් යුක්ත නඩු තීන්දුවේ දැක්වේ. මේ වන විට පාකිස්ථානය, විරුද්ධ මතධාරී දේශපාලකයන් මර්දනය කිරීමට යොදාගන්නේ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම ප්‍රතිපාදනයයි.
කුමක්ද මේ පාකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 62(1)(ඊ) ව්‍යවස්ථාව..?
“A person shall not be qualified to be elected or chosen as a member of (the Parliament) unless: he is sagacious, righteous and non-profligate, sadiq and ameen, there being no declaration to the contrary by a court of law.”
‘‘යම් තැනැත්තෙක් විචක්ෂණ (දැනුම් තේරුම් සහිත),ධාර්මික සහ දුරාචාරයෙන් තොර අයෙකු නොවන්නේ නම්, සාදික් සහ අමීන් නොපිළිපදින්නේ නම් එම තැනැත්තා (පාර්ලිමේන්තු) සාමාජිකයෙකු ලෙස තෝරා පත් කර ගැනීම සඳහා සුදුසු නොවන්නේ ය.“
සාදික් යනු අවංක බව ය. අමීන් යනු සත්‍යවාදී බව ය. දැන් පාකිස්ථාන දේශපාලනය තුළ සාදික් සහ අමීන් (sadiq and ameen) හෙවත් අවංකභාවය හා සත්‍යවාදී භාවය යන්න පාකිස්ථාන දේශපාලනයේ දෙපැත්ත කැපෙන අවියක් බවට පත්ව තිබේ.
මෙපමණක් ද නොවේ. මෙම වගන්තියට අන්තර්වාක්‍ය 2 ක් තිබේ. එනම්, 62(1)(ඈ සහ ඉ) ය. එයින් කියැවෙන්නේ කිසියම් අයෙක් විසින්‘ඉස්ලාමීය ඉන්ජන්ෂන්‘ කඩකරන්නේ නම් එය ‘පව්කාර‘ දෙයක් බව හෝ, ‘ඉස්ලාමය මගින් නියම කරනු ලබන බැඳීම් ස්වභාවයේ යුතුකම්‘ ඉටු නොකරන බව හෝ, ‘ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ සුදුසු දැනුමක් නොමැති බව‘‘ත්, එවැනි අය පාර්ලිමේන්තුවට නුසුදුසු බවත් ය.
පාකිස්ථානයේ හිටපු අගමැති ෂාහිද් කාඛන් අබ්බාසිගේ ඉරණම තීරණය වූයේ ඒ සියලුම වගන්ති සහ උපවගන්තිවල බලපෑමෙනි.
ආගමික හමුදාකරණයක්
පාකිස්ථානයේ 1973 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එනම් මුල් ව්‍යවස්ථාවේ 62 සහ 63 වගන්තිවල මෙම ඉහතින් විස්තර කළ ඉස්ලාමීය ප්‍රතිපාදන තිබුණේ නැත. හෙවත් එකී සුදුසුකම් සැපිරීම පාර්ලිමේන්තුවට තරග කිරීමට සුදුසුකමක් සහ, එකී සුදුසුකම් ඒ අනුව නොතිබීම පාර්ලිමේන්තුවට තරග කිරීමට නුසුදුසු වීමට කාරණයක් බව සඳහන් වූයේ නැත. මෙම ඉස්ලාමීය අන්තර්වාක්‍ය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූයේ 80 දශකයේ ෂියා-උල්-හක් ගේ ඒකාධිපති හමුදා පාලන සමයේදී ය. බොහෝ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන පරිදි, මෙමගින් ඔවුන් බලාපොරොත්තු වූයේ ආගම ඉදිරියට දමමින් රට තුළ සිවිල් නායකත්වයක් බිහිවීම වළක්වා ගැනීමයි.
හිටපු පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් ව ධුරයෙන් ඉවත් කෙරුණේ ද මෙම 62(1)(ඊ) ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව අධිකරණය විසින් සනාථ කිරීමෙන් පසුව ය. ධුරය හැර ගිය නවාස් ෂරීෆ් මෙසේ කීවේය. ‘‘මේ නඩු තීන්දුව පාර්ලිමේන්තු පරමාධිපත්‍යය යට ගැසීම සඳහා හමුදාව සහ අධිකරණය අතර තිබෙන සන්ධානයේ ප්‍රතිඵලයක්‘‘.
පාකිස්ථාන අධිකරණය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යොදාගෙන දේශපාලන ගමන අවහිර කළ අගමැතිවරුන් දෙදෙනා මේ අනුව නවාස් ෂරීෆ් සහ ෂහීද් අබ්බාසි වේ. මේ අතර, තවත් පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නායකයෙකු වන නවාස් පක්ෂ නායක ඛාවාජා අසීෆ් (Khawaja Asif) ද පාර්ලිමේන්තුවට තරග කිරීම සඳහා නුසුදුසු බවට ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් තීන්දු කර තිබේ. නමුත් අසීෆ් මෙම තීන්දුවට එරෙහිව අභියාචනය කළ අතර, ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය, එම තීන්දුව බල රහිත කළේය.
හමුදාවට පක්ෂපාතී ලෙස සැලකෙන පාකිස්ථානයේ තෙහ්රික් -ඉ-ඉන්සාෆ් පක්ෂයේ නායක ජෙහන්ගිර් තරීන් ද 62(1)(ඊ) වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට තරග කිරීම සඳහා නුසුදුසු බවට අධිකරණය ප්‍රකාශ කළේය.
මෙම ‘නුසුදුසු කම‘ බලපවත්වන්නේ කොපමණ කාලයකටදැයි පාකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව සඳහන් වන්නේ නැත. නමුත් 2018 අප්‍රේල් මාසයේ පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය අතිශය ආන්දෝලනාත්මක තීන්දුවක් ලබාදුන්නේය. එහිදී පැවසුණේ, එම අතුරු විධානය කඩ කර ඇති සියලුම දෙනා සම්බන්ධයෙන් ජීවිත කාලය සඳහාම එම මැතිවරණ තහනම බලපැවැත්වෙන බවයි.
මේ වන විට පාකිස්ථානයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ, තමන් බලයට පැමිණි පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බව පවසති. නමුත් යථාර්ථය වන්නේ, බලයට පැමිණෙන කිසිදු ආණ්ඩුවක්, එම ඉස්ලාමීය විධිවිධානවලට අත තැබීමට තරම් නිර්භීත නොවන බවයි. මෙපමණ කාලයකට එය එසේම විය.
පාකිස්ථාන ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක ෆාර්හතුල්ලා බාබාර් මෙසේ කියයි. ‘‘කවුද ධාර්මික, කවුද සත්‍යවාදී කියන එක තීරණය වන්නේ එදා දවසේ විනිසුරු මණ්ඩලයේ සිටින පුද්ගලයන් අනුව.“
විශ්වාස කෙරෙන්නේ පාකිස්ථාන හමුදාව ද මෙම ඉස්ලාම් විධිවිධාන පාකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් නොකළ යුතු ය යන ස්ථාවරයේ සිටින බවයි.
‘‘පාකිස්ථානයේ සිටින ආගමික සුචරිතවාදීන් ආගමේ සහ විශ්වාසයේ නාමයෙන් මෙම ප්‍රතිපාදන සුරකිනවා. ඔවුන් ඒවා සංශෝධනය කරන්නට දෙන්නේ නැහැ.2010 වසරේදී අනාගමික දේශපාලන පක්ෂවලට මේ වගන්ති සංශෝධන කරන්නට යම් අවස්ථාවක් ලැබී තිබුණා. නමුත් බහුතර බලය තිබූ දේශපාලන පක්ෂය PML-N එය සංශෝධනය කිරීම ප්‍රතික්ෂේප කළා. අවසානයේ අට අවුරුද්දකට පසු එම පක්ෂයේම නායකයාම මේ විපරිත නීතියේ ගොදුරක් බවට පත්වුණා.“ යැයි ද ෆාර්හතුල්ලා බාබාර් පවසයි.
PML-N යනු පාකිස්ථාන මුස්ලිම් ලීගයයි. සංශෝධනය කිරීමට ලැබුණු අවස්ථාව, දේශපාලනික වාසි තකා පැහැර හැර, අවසානයේ එහිම ගොදුරක් බවට පත්වූ ෂාහිද් කාඛන් අබ්බාසි යනු, පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නායකයා ය.
www.asiatimes.com