×

ඔස්ට්‍රේලියාවේ තාප කුණාටු : සිඩ්නි මිහිමත උණුසුම්ම ස්ථානය බවට පත් වේ!

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි උපනාගරිකයක් මේ මොහොතේ මිහිපිට ඇති උණුසුම්ම ස්ථානය බවට පත්ව තිබේ. ඒ පෙන්රිත් උප නාගරිකයයි.


එයට හේතු වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ බුෂ් ෆයර්ස් හෙවත් ලැව්ගිනිවලින් පසුව හටගත් තාප තරංග මේ වන විට ‘තාප කුණාටු‘ බවට පත්ව ජනාශ්‍රිත ප්‍රදේශ ආක්‍රමණය කරමින් පැවතීමයි.

මෙම තාප කුණාටු විසින් රටේ පැතිර යන ලැව්ගිනි, එකිනෙකට එකක් සම්බන්ධ කරමින් දැවැන්ත ගිනි ජාලා ද නිර්මාණය කරමින් තිබේ.

අග්නි ටෝනේඩෝ සහ වැස්සකින් තොරව සිදුවන විදුලි කෙටීම් විසින් තවදුරටත් ලැව් ගිනිද බිහිවෙමින් තිබේ.

අද (4) දිනයේ පෙන්රිත් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 48.9 ක් වන අතර, සිඩ්නි නුවර සෙල්සියස් අංශක 45 ක් ද, කැන්බරා හි උණුසුම සෙල්සියස් අංශක 44 ක් ද වේ.

මේ තත්වය සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේ සාමාන්‍ය උෂ්ණත්වය වන සෙන්ටිග්‍රේඩ් අංශක 34 සමග සසඳා බලා ඔබම වටහා ගත යුතුය.
මූලාශ්‍රය_ http://www.meteo.gov.lk/index.php?lang=en

පෙන්රිත් (Penrith) යනු, සිඩ්නි හි උප නාගරිකයකි. මේ වන විට සැලකෙන්නේ මිහිමත උණුසුම් ම ස්ථානය පෙන්රිත් ලෙස ය.

මේ වන විට නිව් සවුත් වේල්ස් හි ග්‍රාමීය ගිනි නිවන සේවය විසින් හදිසි අනතුරු ඇඟවීම් සේවයක් ද ක්‍රියාත්මක කර තිබේ. ‘‘පිටව යන්නට දැන් ප්‍රමාද වැඩියි. ගින්න එන විට ළඟම ඇති ආරක්ෂිත තැනකට යන්න..‘‘ ඒ අවවාදය, මේ වන විට ප්‍රදේශයෙන් පිටව නොගිය ජනතාව සඳහා ය.

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ජනපද තවදුරටත් ගිනි ගනිමින් තිබේ

ගල් අඟුරු කර්මාන්තයේ රසිකයෙකු වන, ගල් අඟුරු කෑල්ලක් ගෙන පාර්ලිමේන්තුවට ද ආ, ඔස්ට්‍රේලියාව ගිනි ගන්නේ දේශගුණික විපර්යාස නිසා යැයි අදටත් විශ්වාස නොකරන අගැමති ස්කොට් මොරිසන් මේ අතර මෙසේ කියයි. ‘‘මේ සතියේ මේ විනාශය සම්පූර්ණයෙන්ම අලුත් මට්ටමකට ළඟා වී තිබෙනවා..‘‘

Cover Photo: MSN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි