×

යුරෝපයට ගෑස් සපයන Nord Stream 1 නල මාර්ගය දින නියමයකින් තොරව වැසේ

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් පසු පනවන ලද බටහිර සම්බාධකවලට පළිගැනීමක් ලෙස බලශක්ති සැපයුම් ආර්ථික අවියක් ලෙස භාවිතා කරන බවට රුසියාවට එල්ලවන චෝදනා ඔවුන් ප්‍රතික්ෂප කර තිබේ.


රුසියාවේ ජර්මනියට ගෑස් සපයන Nord Stream 1 නල මාර්ගය සෙනසුරාදා සැලසුම් කළ පරිදි නැවත විවෘත නොකරන බව රුසියානු රාජ්‍ය බලශක්ති සමාගමක් වන Gazprom නිවේදනය කර තිබේ. සමාගම පැවසුවේ නල මාර්ගයේ ටර්බයිනයක තෙල් කාන්දුවක් සොයා ගත් බවත්, එහෙයින් මෙය දින නියමයක් නොමැතිව වසා දමන බවත්ය.

තාක්ෂණික දෝෂයක් බවට ප්‍රකාශ කරමින් රුසියාව මෙම ගෑස් නල මාර්ගය පසුගිය දින තුන පුරාම වසා දමා තිබිණ. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර හිඟ සැපයුම් නිසා පිරිවැය තවත් ඉහළ නැංවෙනු ඇත. මේ වන විට යුරෝපා සංගමයේ පවුල්වලට මෙම ශීත සෘතුවේදී උණුසුම් කිරීමේ පිරිවැය දරාගත නොහැකි වනු ඇතැයි යන බිය වර්ධනය වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

Gazprom විසින් Nord Stream 1 නල මාර්ගය වසා දැමුණේ යුක්රේනයට සහය දැක්වීම සඳහා රුසියානු තෙල් මිල සීමා කිරීමට G7 ජාතීන් එකඟ වීමෙන් ටික කලකට පසුව වන අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් පසු පනවන ලද බටහිර සම්බාධකවලට පළිගැනීමක් ලෙස බලශක්ති සැපයුම් ආර්ථික අවියක් ලෙස භාවිතා කරන බවට රුසියාවට එල්ලවන චෝදනා ඔවුන් ප්‍රතික්ෂප කර තිබේ. මොස්කව් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ බටහිර සම්බාධක රුසියානු යටිතල ව්‍යුහයට හානි කිරීමෙන් ඇති වන තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙම ගෑස් නල මාර්ගය වසා දැමීමට සිදු වූ බවයි.

ජර්මනියේ Bundesnetzagentur ජාල නියාමකයා ගෑස් පරිභෝජනය අඩු කරන ලෙස පුරවැසියන්ගෙන් සහ සමාගම්වලින් ඉල්ලා සිටි අතර රුසියානු ගෑස් සැපයුම නැවැත්වීම සඳහා රට දැන් වඩා හොඳින් සූදානම් වී ඇති බව ප්‍රකාශ කරන ලදි.

මේ සම්බන්දයෙන් ආර්ථික විද්‍යාඥවරියක සහ බලශක්ති විශ්ලේෂකයෙකු වන කොර්නේලියා මේයර් පැවසුවේ ගෑස් වසා දැමීම රැකියා සහ මිල ගණන් කෙරෙහි විශාල බලපෑමක් ඇති කිරීමට සමත් වනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : රුසියාව විසින් යුරෝපයට ගෑස් සපයන ප්‍රධාන නල මාර්ගය Nord Stream 1 වසා දැමේ
https://outboundtoday.com/russia-shuts-major-gas-pipeline-to-europe/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි