×

පෘථිවියට තෙතමනය ඇති සහෝදරයෙක් – ජල වාෂ්ප සහිත k2-18b ගැන කතාන්දරය

සෞර ග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටා තිබෙන ග්‍රහලෝකයකින් ජලය හමුවන ප්‍රථම අවස්ථාව පිළිබඳ හෙළිදරව් වේ.


පෘථිවිය අයත් වන සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටා තිබෙන ග්‍රහලෝක හඳුන්වන්නේ ‘එක්සො ප්ලැනට්ස්‘ (Exoplanets) හෙවත් ‘බහිර් ග්‍රහලෝක‘ යනුවෙනි. මේ අන්දමින් පෘථිවිය අයත් සෞර ග්‍රහ මණ්ඩලයට පිටතින්, ජලය සහිතව හමුවන ප්‍රථම බහිර් ග්‍රහලොව (එක්සොප්ලැනට්) පිළිබඳ පසුගියදා හෙළිදරව් විය.

  • මෙම ග්‍රහලෝකයේ නම k2-18b ය.  
  • එහි ජලය ඇති බව මේ වන විට තහවුරු කර ඇත.

මෙම ග්‍රහලෝකය පිළිබඳ විද්‍යා ලෝකය මුල් වරට තතු අනාවරණය කර ගත්තේ 2015 වර්ෂයේදී ය. එහි උනන්දු සහගත කාරණා බොහොමයක් ගැබ්ව තිබිණි. එනම්,

එය රතු පාට කුරු තාරුකාවක් වටා දිය සුළියක් මෙන් භ්‍රමණය වෙමින් තිබුණේය.
එය පිහිටා තිබෙන්නේ පෘථිවියට ආලෝක වර්ෂ 110 ක් එපිටිනි.

මෙම අතිශය දුරස්ථ ලෝකය හඳුන්වන්නේ ගෝල්ඩිලොක්ස් කලාපය (Goldilocks zone) යනුවෙනි. මෙය තාරුකා විද්‍යාවට අනුව තරමක් සෞම්‍ය කලාපයකි. එනම් මේ කලාපයේ ස්ථාන ගත ව ඇති ග්‍රහලෝක, ඒවායේ සත්කාරක තාරුකාවට (හොස්ට් ස්ටා) වඩාත් දුරින් හෝ ළඟින් පිහිටා තිබෙන්නක් නොවේ. ඒ අනුව එහි අතිශය උණුසුම් කාලගුණයක් හෝ අතිශය ශීතල කාලගුණයක් නිර්මාණය නොවේ. මේ පරිසරය විසින් දියරමය ජලය (ද්‍රව ජලය) බිහිවීමට සහ එම දියරමය ජලය ට ග්‍රහලෝකයේ මතුපිට පෘෂ්ටය මත පැවතීමට අවශ්‍ය පාරිසරික තත්වයන් නිර්මාණය කර දෙයි. මිනිසා මෙතෙක් දන්නා විද්‍යාවට අනුව, මෙම තත්වය ජීවය බිහිවීම සඳහා වන වඩාත්ම හිතකර කාලගුණික තත්වයයි.

අනතුරුව විද්‍යාඥයන් විසින් k2-18b ග්‍රහලෝකය මතුපිට සැබවින්ම ද්‍රව ජලය ඇති බව සොයගන්නේ හබල් දුරේක්ෂයෙන් ලබාගන්නා ඡායාරූප මගිනි. එහි දැක්වුණේ එම ග්‍රහලෝකයේ වායුගෝලය තුළ විශාල ජලවාෂ්ප අංශු ප්‍රමාණයක් ගැබ්ව තිබෙන බව ය. මේ අනුව ජීවයට හිතකර බවට තහවුරු කෙරෙන ප්‍රථම බහිර් ග්‍රහලෝකය බවට k2-18b පත් වෙයි.

මීට පෙර සොයාගත් බොහෝ බහිර් ග්‍රහලෝකවල වායුගෝලයේ අන්තර්ගත වූයේ ජල වාෂ්ප වෙනුවට වායූන් ය. එනිසා එම ග්‍රහලෝකවල වායුගෝලය වායුමය (ගෑස්) යෝධයන් සේ දිස්විණි. පෘථිවි සෞරග්‍රහ මණ්ඩලයට අයත් නෙප්චූන් හෝ ජුපිටර් ද මෙවැනි ගෑස් යෝධයන් ය.

මෙම ග්‍රහලෝකයේ තිබෙන සුවිශේෂිතා නිසා මෙය ‘ඒලියන් ප්ලැනට්‘ – පිටසක්වළ ග්‍රහලෝකය ලෙස ද මුල් කාලීන ව හැඳින්විණි. | Daily Express

නමුත් ඒ වෙනුවට පෘථිවියේ අලුත් සහෝදරයා බවට සැලකෙන k2-18b සිටින්නේ බොහෝ ඉදිරියෙනි.

මෙම ග්‍රහලෝකය පෘථිවිය මෙන් දෙගුණයක් විශාල ය. ඒ මතුපිට පාෂාණ බහුල ය. එහි වායුගෝලයේ විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් තිබේ. විශාල අයිස් මුහුදු ද මේ මත ඇතැයි සැක කෙරේ.

k2-18b පෘථිවියට අලුත් සහෝදරයෙක් වනවා පමණක් නොව, ජලය ඇත්තේ යම් තැනකද එතැන ජීවයක් ඇත යන්න ජීව විද්‍යාවේ මූලිකම සිද්ධාන්තයක් වන හෙයින්, බොහෝ විට k2-18b සමාන්තර ලෝක ගැන පෘථිවි මිනිසා දරන විශ්වාසය ද තහවුරු කිරීමට ඉඩ තිබේ.

මේ සියල්ලෙන්ම නැවත වරක් අපට සිහිපත් කර දෙන්නේ මේ විශ්වයේ යම් දිනෙක පෘථිවි මිනිසුන් යනු, ‘කුහුඹු මිනිසුන්‘ පමණක් වීමට ඉඩ ඇති බව ය.

හබල් නිල වෙබ් අඩවිය k2-18b පිළිබඳ කරන හෙළිදරව්වට මෙතැනින් පිවිසෙන්න.

https://www.spacetelescope.org/videos/heic1916a/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි