×

තෝකියෝවේ සමරිසි විවාහ ලබන වසරේ මුල සිට නීතිගතයි !!

ජපානයේ තෝකියෝව තුළ 2022 ජනවාරි මස සිට සමරිසි විවාහ නීතිගත කිරීමට තීරණය වී ඇත.


තෝකියෝ ආණ්ඩුකාර කාර්යාලයේ බලධාරීන් පවසන්නේ මීළඟ මූල්‍ය වර්ෂය තුළ මෙම ක්‍රියාවලියේ නීතිමය සහ ව්‍යූහාත්මක වෙනස්කම් සිදුකිරීම සඳහා අවශ්‍ය කරන අයවැය වෙන් කරන බවයි.

ජපානයට මක් වෙලාද?

සෙන් බුදු දහම ආදර්ශයට ගත් රටක් වන සහ ලංකාව ද ඇතුළුව ආසියාතික රටවල පොදුවේ දැකිය හැකි ලිංගික කුහකත්වයෙන් පිරුණු රටක් වන ජපානය, හදිසියේම මේ තීරණයට එළඹෙන්නේ ඇයි?

තෝකියෝවේ සප්පාරෝ හි පිහිටා තිබෙන දේශීය අධිකරණයක් 2021 වසර මුල අද්වීතීය තීන්දුවක් ලබාදුන්නේය. ඒ, සමරිසි යුවළවලට විවාහ වීමට අයිතියක් නැති වීම මගින්, ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි. එනම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව යි.

මෙය ඉතිහාසගත නඩු තීන්දුවකි. ජපානයේ සමරිසි විවාහවල නීත්‍යානුකූල බව පිළිගත් එකම නඩු තීන්දුව මෙයයි.

මේ අනුව තෝකියෝ ආණ්ඩුකාරවරයා වන යුරිකෝ කොයිකේ දැන් සැරසෙන්නේ ‘සමරිසි හවුල්කාරිත්වය’ නීත්‍යානුකූල කරන්නට ය. තෝකියෝවේ ප්‍රාන්ත ආණ්ඩුව විසින් එසේ කළ යුතු බවට ඒකමතික තීරණයක් ගෙන තිබේ.

ජපානයේ සමරිසි සබඳතා තහනම් ද?

ලංකාවේ මෙන්ම ජපානයේ ද සමරිසි ක්‍රියාකාරකම් අපරාධ වරදක් බවට පත් කළේ යටත් විජිත සමයේ ය. නමුත් ලංකාව දැන් 18 වන සියවසේ සිට අද දක්වාම මේ යටත් විජිත උරුමය කරපින්නාගෙන යන අතරවාරයේ ජපානයේ සමරිසියන් අපරාධකරුවන් ය යන ඉතිහාසගත වරද ඔවුන් සිදු කර ගත්තේ 1872 සිට 1880 දක්වා වසර 8 ක කාලයකට පමණි. එනම් නැපෝලියානු දණ්ඩ නීති සංග්‍රහය සහ මෙයිජි සංග්‍රහය බලපවත්වන කාලවලදී පමණි. කැමැත්ත සඳහා සමාන තත්වයක් නීතිය මගින් නියම කිරීමත් සමග ජපානයේ සමරිසි විරෝධී ශාපය බොහෝ දුරකට අවසන් විය.

නමුත් වෙනස් කොට සැලකීම් දිගින් දිගටම සිදුවිය. මේ අතර 2015 වසරේ පටන් ජපානයේ ඇතැම් ප්‍රාන්ත, සමරිසි සබඳතාවලට නීත්‍යානුකූල පිළිගැනීමක් ලබාදුන්නේය. ඒ අනුව ‘පාට්නර්ෂිප් සෙටිෆිකට්’ හෙවත් ‘හවුල්කාරිත්ව සහතික’ ලබාදීම ද සිදුවිය. ඒ අනුව ජපානයේ සමරිසි සබඳතා හෝ සමරිසි ක්‍රියාකාරකම් සාපරාධී වරදක් හෝ නීතිවිරෝධී කාරණයක් නොවේ.

LGBT Rights in Japan | Equaldex

නමුත් G7 රටවල් අතරින් සමරිසි විවාහ නීති ගත නොකළ එකම රට වශයෙන් ජපානය තවදුරටත් රැඳී සිටියේය. 2021 මාර්තු මාසයේ සප්පාරෝ හි දිසා අධිකරණයක් විසින් සමරිසි විවාහ සම්බන්ධයෙන් කලින් කී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ එයින් පසුව ය.

දිසා අධිකරණයක් විසින් ලබාදුන් නඩු තීන්දුවක් මගින් ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභියෝගයට ලක් වූ විට ඔවුන් නීතියට ගරු කරන ආකාරය, මෙහිදී අපට උගත හැකි ලොකුම පාඩමයි. ඔවුන් එසේ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව හෝ G7 රටවල් සතුටු කරන්නට යැයි ඔබට උවමනා නම් කිව හැකිය. නමුත් මානව හිමිකම් අංශයෙහි පසුගාමී බවක් පෙන්වමින් සිටි ජපානය, මේ අවස්ථාව, එම වරද නිවැරදි කර ගන්නට සුදුසු මොහොතක් කර ගන්නා අයුරු අපූරු ය.

ඒ අනුව මේ ලිපියේ හෙඩිම වන ‘තෝකියෝව සමරිසි විවාහ නීතිගත කරයි’’ යන්නෙන් අදහස් වන්නේ ජපානයේ තෝකියෝ අගනුවර ගැන පමණක් නොවේ. තෝකියෝ මෙට්‍රපොලිටන් ආණ්ඩුව (Tokyo Metropolitan Government ) ගැන ය. එවැනි ප්‍රාන්ත ආණ්ඩු හෝ නාගරික ආණ්ඩු 47 ක් ජපානය පුරා තිබේ. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පිහිටුවා ගන්නා ආණ්ඩු ය.

ඉදිරියේදී තෝකියෝව ගත් මගට සෙසු මෙට්‍රොපොලිටන් ආණ්ඩු ද පිවිසෙනු ඇත.

අන්තිමේදී, අතිශයින් සංස්කෘතික සෙන් බෞද්ධාගමික රටක් වන ජපානය ද සංස්කෘතික සහ ආගමික කඩතුරාවලින් මිදී ගමනක් යමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි