×

රුසියන් හමුදාවේ යුධ අපරාධ අනාවරණය වේ; ලිංගික අතවරයන්ට ගොදුරු වූවන් වයස අවුරුදු 4ත් 80ත් අතර- UN

සිවිල් වැසියන්ට එරෙහිව දියත් කරන ලද ප්‍රහාර, මරණ දණ්ඩනය, නීති විරෝධී සිරගත කිරීම්, වධහිංසා, අයුතු ලෙස සැලකීම, ස්ත්‍රී දූෂණ සහ වෙනත් ලිංගික ප්‍රචණ්ඩත්වය ආදිය මෙම වාර්තාවේ සවිස්තරව සඳහන් වේ.


2022 පෙබරවාරි මස 24 දා සිට දියත් වූ යුක්රේන යුද්ධයේ මුල් සතිවල යුක්රේනයේ Kyiv, Chernihiv, Kharkiv සහ Sumy ප්‍රදේශවල සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සැලකිය යුතු ප්‍රමාණයකට රුසියානු හමුදා වගකිව යුතු බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුක්රේනය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කොමිසම විසින් පසුගියදා (18) වාර්තාවක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.


සිවිල් වැසියන්ට එරෙහිව දියත් කරන ලද ප්‍රහාර, මරණ දණ්ඩනය, නීති විරෝධී සිරගත කිරීම්, වධහිංසා, අයුතු ලෙස සැලකීම, ස්ත්‍රී දූෂණ සහ වෙනත් ලිංගික ප්‍රචණ්ඩත්වය ආදිය මෙම වාර්තාවේ සවිස්තරව සඳහන් වන බව කියැවේ.


වාර්තාවේ අන්තර්ගතව ඇති ලිංගික අතවර සම්බන්ධයෙන් දක්නට ලැබෙන්නේ වින්දිතයන් වයස අවුරුදු 4ත් 80ත් අතර වයස්වල සිටින අය බවයි. මීට අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබුණේ මොස්කව් ලිංගික අතවර ඔවුන්ගේ යුද උපක්‍රමයක් ලෙස භාවිතා කරන බවයි.


කොමිසමේ සභාපති එරික් මෝස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියන් හමුදාව විසින් සිවිල් වැසියන්ට එරෙහිව දියත් කරන ලද ප්‍රචණ්ඩත්වය අති විශාල බවයි. රුසියානු පාලනය යටතේ පැවති යුක්රේන ප්‍රදේශ නැවත යුක්රේනය විසින් අත්පත් කර ගැනීමත් සමඟ මරා දැමූ බව කියන යුක්රේන සොල්දාදුවන් හා සිවිල් පුරවැසියන්ගේ මළ සිරුරු වීදිවල සහ සමූහ සුසාන භූමිවල තිබී සොයා ගෙන තිබිණ. එමෙන්ම පවතින තත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණේ එළැඹෙන ශීත සෘතුව ඉලක්ක කරගෙන ජලය, විදුලිය සහ උණුසුම කපා හැරීමේ පැහැදිලි අරමුණ ඇතිව සිවිල් යටිතල පහසුකම්වලට එල්ල කරන ලද ඉලක්කගත ප්‍රහාර, අතිශය අමානුෂික ත්‍රස්තවාදී ක්‍රියා බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි