BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

Analysis: දුටු තැන මරා දමනු! – කසාක් ජනපතිවරයා ලබාදුන් බිහිසුණු අණ පිටුපස ඇති කතාව

හිස් වීදිවල මළ සිරුරු!

අස්ථාවර වී තිබෙන කසාක්ස්ථානයේ ජනපති කාසිම්-ජොමාට් ටොකායෙව්, ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට අනතුරු ඇඟවීමක් පවා නොකර වෙඩි තබා මරා දමන ලෙසට ආරක්ෂක හමුදාවන්ට උපදෙස් ලබාදුන්නේය.

ඔහු මේ අණ ලබාදුන්නේ ප්‍රසිද්ධියේ ජනතාව ඉදිරියේ පෙනී සිටිමිනි. රට තුළත්, රටෙන් පිටතත් සිටින ‘ත්‍රස්තවාදී චෞරයන්’ මෙම දේශපාලනික අස්ථාවරය භාවයේ මහමොළකරුවන් බවට ද ඔහු චෝදනා කළේය.

මේ දක්වා පැවති ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවලින් ආරක්ෂක අංශවල 18 දෙනෙක් සහ, ‘සන්නද්ධ අපරාධකරුවන්’ 26 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව මේ අතර කසාක් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දුටු තැන වෙඩි තැබීම කසාක් ක්‍රමයකි!

බලකාමයෙන් ඔද්දල් වූ දේශපාලන නායකයෝ හැම විටම දිගු සෙවණැලි තබා යති. ඔවුන් බලයෙන් ඉවත් වී බො‌හෝ කලකට පසුව ද එම සෙවණැලි පවතිනු ඇත. මෙයට හොඳම උදාහරණයක් වන්නේ සෝවියට් සංගමයයි. බිඳ වැටී වසර 30කට වැඩි කාලයක් ගත වුවද සෝවියට් සංගමයේ ශේෂ වූ දැවැන්තයා වන රුසියාව සහ එහි පුටින් තවමත් කලාපීය දේශපාලනයට දැවැන්ත බලපෑමක් කරමින් සිටියි.

වසර 30 ක් යනු, රටකට දේශපාලන ස්ථාවරත්වය ලබාගන්නට ප්‍රමාණවත් කාලයක් යැයි ඔබට කියන්නට පුළුවන. ජනතාව වෙනස් වෙති. පාලකයෝ පත් වෙති. ආණ්ඩු මාරු වෙයි. නමුත් මේ අතරවාරයේ පත්වන ඇතැම් බලකාමී දේශපාලකයෝ සියවස් ගණනක් මුළුල්ලේ මකා දැමිය නොහැකි ශාපයක් ඉතිරි කර යති. 1990 සිට දශක තුනක් කසාක්ස්ථානය පාලනය කළ රටේ පළමු ජනපතිවරයා වූ නූර්සුල්තාන් ද කළේ එයම ය.

නූර්සුල්තාන් නසර්බයෙව් බලයෙන් ඉවත් වූ‌යේ පුටින්ගේ රටාවට ය. පුටින් විසින් මෙද්වදෙව් තෝරාගත් ආකාරයට නූර්සුල්තාන් තමන්ගේ හොඳම ගෝලයාව කසාක්ස්තානයේ මීලඟ ජනපති බවට පත් කිරීමට සියල්ල සූදානම් කර බලයෙන් ඉවත් විය. මීළඟ ජනපතිවරයා වන්නේ, සිය ජනතාවට වෙඩි තබා මරා දමන්නට ප්‍රසිද්ධියේ අණ කරන කාසිම්-ජොමාත් ටොකයෙව් ය.

කසාක්ස්ථානයේ ජනතාව ඉල්ලා සිටියේ ආර්ථික සහනයකි. අඩු මිලට ඉන්ධන ලබාදෙන ලෙස ය. නමුත් ඔවුන්ව වෙඩි තබා මරා දමන්නට නායකයා විසින් අණ කිරීම අහම්බයක් නොවේ. කසාක්ස්ථානය තුළින් මෙතරම් ප්‍රචණ්ඩත්වයක් දන්නා ඉතිහාසයේ වාර්තා නොවුණත්, අද වාර්තා වන තත්වය ද මේ නිසා අහම්බයක් නොවේ. මෙයට අවශ්‍ය සියලුම සම්පාදක ධාතු කසාක්ස්ථානය තුළ නොඅඩුව පැවතියේය.

කසාක් ජනපතිවරයා මේ නියෝගය ලබාදීමේදී පැහැදිලි කාරණා දෙකක් කියයි. එකක් නම් කිසිදු අනුකම්පාවකින් තොරව විරෝධතා මර්දනය කරන බව ය. දෙවැන්න, විරෝධතාකරුවන් සමග සාකච්ඡා නැති බව ය. කසාක් ජනපතිට මේ අර්බුදයෙන් ගොඩ ඒමට දීර්ඝ කාලීන සැලසුමක් ද නැත. එසේ නම් ඔහුට තිබෙන ‘trump card එක’ කුමක්ද? ඒ අන් කිසිවක් නොව, රුසියානු ජනපති පුටින් ය! මේ වන විටත් පුටින්ගේ අණින් කසාක්ස්ථානයට ගොඩ බැස තිබෙන 2500 කට ආසන්න රුසියානු භට පිරිස ය!

රුසියාවේ උදව්ව සමග කසාක් ජනපතියට මේ විරෝධතාවයන් සමතලා කර දැමීමට පුළුවන.

රුසියාව කලාපීය රටවල දේශපාලනයට මෙසේ අත දැමීම ගැන ජාත්‍යන්තර වශයෙන් විරෝධයක් තිබේ. නමුත්, තාක්ෂණික වශයෙන් ගත් කල, රුසියානු හමුදාවට පැමිණෙන ලෙසට ආරාධනා කළේ කසාක් ජනපති ය. එනිසා මෙතැන, කිසිම බලහත්කාරයක් නැත. ඒ මදිවාට සොල්දාදුවන් එවීම සම්බන්ධයෙන් කසාක් ජනපතිවරයා විසින් පුටින්ට විශේෂ ස්තූතියක් ද පිරිනමා තිබේ!

ඉයුරේෂියාවේ නේටෝව

රුසියාව සහ කසාක්ස්ථානය යන දෙරටම Collective Security Treaty Organization හෙවත් CSTO නමැති කලාපීය ආරක්ෂක සහයෝගිතාවයේ සාමාජිකයන් ය. මේ සංවිධානය, ඉයුරේෂියාවේ නේටෝ සංවිධානය ලෙස සිතුවාට වරදක් නැත.

CSTO හි සාමාජිකයෝ 6 දෙනෙක් වෙති. ඒ සියලුම දෙනා පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ කොටස්කරුවන් ය. ඇමරිකාව විසින් නේටෝව මෙහෙවන ආකාරයටම රුසි’යාව විසින් CSTO මෙහෙයවයි.

දැන් ඔක්කොම හරි ලු!

කසාක් ජනපතිවරයා දැනටම සිටින්නේ ‘ඔක්කොම හරි’ මානසිකත්වයෙනි. රුසියානු හමුදාව ගොඩ බැසීමෙන් පසු දැන් කසාක්ස්ථානයේ වීදි සාපේක්ෂව සාමකාමී ය. විරෝධතාකරුවන් 2300 දෙනෙක් හමුදාව විසින් රඳවා තබාගෙන සිටින අතරවාරයේ සෙසු අය පසුබසිමින් සිටිති.

‘නිදිබර දේශයන්’

‘ස්ථාවර රාජ්‍යයන්’ යන ලේබලය යටතේ පවතින ලෝකයේ බොහෝ රටවල්, මහා පරිමාණ විරෝධතා හෝ ජන නැගිටීම්වලින් තොරය. ඒවා බැලූ බැල්මට සාමකාමී ය. නමුත් මෙවැනි රාජ්‍යයන්ට යෙදිය හැකි හොඳම නම ස්ථාවර රාජ්‍යයන් නොව නිදිබර දේශයන් ය. කසාක්ස්ථානය තුළ ද මේ දක්වාම පැවතියේ එවැනි තත්වයකි. රුසියානු හමුදාව ගෙන්වාගෙන කසාක් ජනපතිවරයා කළේ නැවත වරක් දේශය නිදිබර කිරීමයි. ගිනි පුපුරු අළු යටම සඟවා තැබීමයි.

මෙවැනි ‘ව්‍යාජ සාමයක්’ රටක් තුළ පෙන්වාලීමේ වාසිය කාටද? විදේශ ආයෝජන රට තුළට ගෙන්වා ගැනීමට දත කන්නන් හට ය. මෙවැනි රටවල් බොහෝ විට ලංකාව මෙන්ම ස්වභාවික සම්පත්වලින් අනූන ය. කසාක්ස්ථානය තුළ රටම පාරාදීසයක් කළ හැකි තරමේ ඛණිජ සම්පත්, ඛණිජ තෙල් යනාදිය තිබේ. නමුත් ඉතිහාසයේ කවරදාකවත් මේ සම්පත්වල ප්‍රතිලාභය ජනතාවට ලැබී නැත.

කසාක්ථානය මේ දක්වාම පැවතියේ පැරණි‌ සෝවියට් සමූහාණ්ඩුවට අයත්, බැලූ බැල්මට මහජන නොසන්සුන්තාවයන් නැති ස්ථාවර රටක් ලෙස ය. දේශපාලන ස්ථාවරත්වයක් ඇති බව පෙනෙන නිසා 2020 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 161 ක විදේශ ආයෝජන අත්පත් කර ගත්තේය. එම විදේශ ආයෝජනවලින් වැඩි කොටස යෙදවුණේ ඛණිජ තෙල් සහ ස්වභාවික වායු ක්ෂේත්‍රයන් වෙත ය. විදේශ ආයෝජනවලින් බහුතරය ලැබුණේ ඇමරිකාවෙනි. ඇමරිකාව කසාක්ස්ථානය ගැන සතුටින් පසුවිය.

2020 දී මෙසේ වන විට, තමන්ට පැරණි සෝවියට් සමූහාණ්ඩු සාමාජිකයා කෙරෙහි තිබෙන බලය නැති වේ යැයි පුටින් සිතන්නට ඇත. 2014 වසරේදී යුක්රේනයේ ද සිදුවූයේ මෙයයි. නොසන්සුන්තාවය අවසාන වූයේ රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීමෙනි.

බෙලරුස් රාජ්‍යය තුළ ද මෙයට බොහෝ දුරට සමාන දෙයක් සිදුව තිබේ. පසුගිය වසෙර්දී බෙලරුස් හෙවත් බෙලරුසියාව අස්ථාවර වූයේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ ආර්ථික වර්ධනය ඉල්ලා සිටි උද්ඝෝෂකයන් නිසා ය. බෙලරුස් ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ සහයෝගයට වහාම පැමිණියේ පුටින් ය. බටහිර ලෝකය බෙලරුස් හි විරෝධතාකරුවන්ට සහයෝගය දුන්නේය. නමුත් එය ප්‍රමාණවත් වූයේ නැත.

යුරේෂියානු කලාපයේ පොදු ආඛ්‍යානය මෙයයි. පැරණි සෝවියට් සමූහාණ්ඩුවෙන් කැඩී ගිය රටවල් බහුතරයක නායකයන් පුටින් හිතවාදීන් ය. රට අස්ථාවර වන හැම විටමක පුටින්ගේ ඇල්ම බැල්ම සහ උපකාරය යහමින් ඔවුන්ට ලැබේ. බැලූ බැල්මට නොපෙනුණත්, පුටින්ගේ බල ග්‍රහණය කලාපය පුරා යහමින් පවතියි. සියවස් ගණනක් මුළුල්ලේ ඒකාධිපතියන් විසින් පාලනය කර ඇති නිසාම, වෙනසක් ඉල්ලා සිටින ජනතාවට පවා වෙනස සැබවින් සිදු කර ගැනීමට ශක්තියක් නැත්තේ, නැගී සිටින්නට උත්සාහ කරන හැම විටකම පුටින් පැමිණෙන නිසා ය.

හමුදාවේ පහර කෑමට ලක් වූ කසාක් විරෝධතාකරුවන්ගෙන් 60 දෙනෙක් තවමත් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ ය. විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් නැති, ඒකාධිපතිවාදයට පෙම් බඳින රටක් වශයෙන් කසාක්ථානය ද දැන් සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ ය. රටේ ඉරණම අනියත වී තිබෙන්නේ ඉස්පිරිතාලය ද පුටින්ගේ නිසා ය!


චිප් හිඟයයට පිලියමක්

ෆ්ලොරිඩාවට ඔබ්බෙන් වූ ‘මිනිස් ජාවාරම්’ බෝට්ටුවක් අනතුරකට ලක්​වේ

ප්‍රස්තා පිරුළක් කියා ජනපතිට අපහාස කළැයි තුර්කි මාධ්‍යවේදිනියක් සිරගත කරයි!

ලෝකයේ විශාල සමාගම් රැසක කඩාවැටීමක් – ලොකුම කෝටිපතියන්ට සතියක් ඇතුළත ඩොලර් බිලියන ගණනක් අහිමි වෙලා!

යේමන් බන්ධනාගාරයකට මාරක ගුවන් ප්‍රහාරයක් – 70කට වඩා මරුට

ශ්‍රී ලංකාවේ උභතෝකෝටිකය: ආහාර ද්‍රව්‍යද, විදුලිය සඳහා ඉන්ධන ද? – ජාත්‍යන්තර මාධ්‍ය ඇසින්

අප්‍රිකානු ටයිකොන්ඩෝ සූරතාවලිය රුවන්ඩාවට?

ඔබේ වැසිකිළියේ ශබ්දය, අසල්වැසියාගේ මානව හිමිකම් උල්ලංඝනය කරනු ඇත! – කවුරු කොහොම කිව්වත්, ඉතාලිය තමයි ‘හොඳටම කරේ’!

error: Content is protected !!
error: Content is protected !!