×

Huawei සමාගම ඇමරිකාවට නඩු දමයි

සිය නිෂ්පාදන ඇමරිකාවේ රාජ්‍ය ආයතන තුළ භාවිතා කිරීම තහනම් කිරීමට එරෙහිව Huawei සමාගම ඇමරිකාවට එරෙහිව නඩු මගට බැස තිබේ.


සමාගම පවසන්නේ මෙම තහනම සාධාරණීකරණය කළ හැකි සාක්ෂි සැපයීමට ඇමරිකාව අසමත් වූ බවයි. ඇමරිකාවේ රාජ්‍ය ආයතන තුළ හුආවෙයි නිෂ්පාදන භාවිතය තහනම් කිරීමට ගෙන ඇති තීරණය මේ අනුව අභියෝගයට ලක් වේ.

ඇමරිකාව හුආවෙයි සමාගමේ ජංගම දුරකථන ඇතුළු මෙවලම් මෙසේ තහනම් කර තිබෙන්නේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් ලෙස දක්වමිනි. චීනය සමග හුආවෙයි සමාගම සමීප සබඳතා පවත්වාගෙන යන බවට ද ඇමරිකාව චෝදනා කරයි.

මේ අතර සමාගම පවසන්නේ මෙම තහනම හේතුවෙන් සිය සමාගමට සාධාරණ වෙළඳපොළ තරගයක් සඳහා පවතින ඉඩ ප්‍රස්ථාව ඇහිරී ගිය බවයි. ඒ අනුව ටෙක්සසාස් හි ෆෙඩරල් අධිකරණයකදී ඔවුන් විසින් ඇමරිකාවේ National Defense Authorisation Act -ජාතික ආරක්ෂාව අධිකාරිමය ගත කිරීමේ පනතේ 889 වැනි වගන්තිය යටතේ නඩු පවරා ඇත.

ඇමරිකාව පමණක් නොව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් මේ වන විට හුආවෙයි ජංගම දුරකථන සහ උපාංග තහනම් කර තිබේ. තවද ඔවුන්ගේ 5G ජංගම දුරකථන ජාලය ද මේ අනුව තහනමට ලක්ව ඇත.

මේ ගැටළු සියල්ල ආරම්භ වූයේ හුආවෙයි සමාගමේ නිර්මාතෘවරයා වන රෙන් සෙන්ග්ෆෙයි (Ren Zhengfei) ගේ දියණිය වන මෙන්ග් වැන්ෂු (Meng Wanzhou) කැනඩාවේදී 2018 දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනීමත් සමග ය. ඇය සමාගමේ මූල්‍ය ප්‍රධානියා ලෙස ද කටයුතු කළාය.

Meng Wanzhou

කැනඩාව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ ඇමරිකාවේ ඉල්ලීම මත බව පසුව හෙළි විය. ඒ අනුව මෙය දේශපාලනික හේතු මත සිදුකළ එකක් බවට රෙන් සෙන්ග්ෆෙයි චෝදනා කළේය.

ඇයට එරෙහිව එල්ල වූ චෝදනා වූයේ ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා තිබූ සම්බාධක නොතකා කටයුතු කිරීම සහ වංචාවන් ය.

පෙර ලිපි:

හුආවෙයි ජංගම දුරකථන සමාගටම ඇමරිකාවෙන් අපරාධ නඩු

හුආවෙයි ප්‍රධානියාට ඇප ලැබෙද්දී චීනය එකට එක කරයි.

පාස්පෝට් 7 ක් පාවිච්චි කළ හුආවෙයි ප්‍රධානියා නිදහස් කරන්නැයි චීනයෙන් තර්ජන – ශක්තිය සහ යුක්තිය අතර කඹ ඇදිල්ල

හුආවෙයි මූල්‍ය ප්‍රධානියා කැනඩාවේදී අත්අඩංගුවට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි