×

2036 වන තෙක්ම රුසියාවේ නායකයා පුටින් – සංශෝධනය සම්මතයි!

වසර 2036 වන තෙක් රුසියාවේ නායකයත්වය හෙබවීමට හැකි වන සේ ජනපති ව්ලැදිමීර් පුටින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය.


ඒ, වාර 2 කට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ ව්‍යවස්ථාපිත බාධාව ඉවත් කර ගනිමිනි.

මෙම සංශෝධනයට අත්සන් තැබුවේ ද පුටින් විසිනි. ජනමත විචාරණයකට සමාන ක්‍රියාවලියක් හරහා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකර ගැනීමට වසරකටත් වඩා වැඩි කාලයක් පුටින් පාලනය විසින් ගනු ලැබිණි. මෙය අමු අමුවේම බලය අපයෝජනය කිරීමක් බව විචාරකයන් නැවත නැවතත් කී නමුත්, විවේචකයන් මර්දනය මගින් ඔහු එයට පිළියම් යොදා තිබේ.

වසර 2000 දී පළමු වරට ජනපති පදවියට පත් වූ පුටින්, එරට බිහිවූ බලවත්ම නායකයා සේ සැලකේ. ඔහු බලයට පත්වූයේ බොරිස් යෙල්ට්සින්ගෙන් පසුව ය. දෙවරකට වඩා ජනපති ධුරයට පත් වීමට නොහැකි නිසා, 2008 වසරෙන් පසුව ඔහු සිය සමීපතම දේශපාලනඥයා ලෙස දිමිත්‍රි මෙද්වදෙව් නඩත්තු කළ අතර, දිමිත්‍රි ජනපති වූ විට පුටින් අගමැති ධුරය දැරුවේය. මෙය දිගින් දිගටම සිදුවූ අතර, දිමිත්‍රි මෙද්වදෙව් නාමික නායකයා පමණක් විය. සෑම විටම අධිකතර බලතල පුටින් තමා සන්තකයේ තබාගත්තේය. 2012 වසරේදී පුටින් නැවත ජනපති පදවියට පත් වූ විට රට පුරා උද්ඝෝෂණ පැන නැගි අතර, ඔහු ඒවා දරුණු ලෙස මර්දනය කිරීමට කටයුතු කළේය.

ජෝසප් ස්ටාලින්වත් පරදවන හැඩ

68 හැවිරිදි පුටින් වසර 2036 වන තෙක්ම බලයේ රැඳී සිටීමට සමත් වුවහොත්, ඔහු රුසියානු අධිරාජ්‍යය පැවති සමයේ පටන් වැඩිම කලක් බලයේ සිටි නායකයා බවට පත් වනු ඇත්තේ ආඥාදායක ජෝසප් ස්ටාලින්ව ද පරදවමිනි. ස්ටාලින් සෝවියට් සංගමය පුරා වසර 29 ක් පාලනය කළේය.

ඇස් බැන්දුම් නීතියක්

නව නීතිය මගින් ද රුසියානු පුරවැසියෙකුට ජනපති පදවියට පත් වීමට අවසර ලබාදෙන්නේ දෙවතාවක් පමණි. නමුත්, මෙහි ඇති නීතිමය උගුල වන්නේ, මෙම දෙවාරය අදාළ වන්නේ නව නීතිය බලපැවැත්වීමට පටන්ගත් පසුව වීමයි. ඒ අනුව නව ව්‍යවස්ථා සංශෝධනය යටතේ පුටින් තවත් වාර 2 ක් ජනපති පදවිය ඉසිළීමට සමත් වනු ඇත. ඒ, වසර 2036 දක්වා ය. මේ තත්වය තුළ රුසියානුවන් පවසන්නේ පුටින් විසින් සිය පෙර ධුර කාල ‘ශුන්‍යයක්‘ බවට පත් කරගෙන ඇති බවයි.

දිවි ඇති තෙක් ජනපති

මේ අතර, විශ්‍රාම ගියහොත් තමන්, තම පවුල සහ තමන්ගේ ආධාරකරුවන් ආරක්ෂිතව පසුවේ යැයි විශ්වාසයක් නැති නිසා, පුටින් මරණය තෙක්ම ජනපති බවට පත්වීම සඳහා මෙම නීතිය ගෙන ආ බවට ද විවේචනයක් තිබේ.

නව ව්‍යවස්ථා සංශෝධනය මගින් පුටින්ට සහ හිටපු ජනපති දිමිත්‍රි මෙද්වදෙව් හට ජීවිත කාලය පුරාම නඩු පැවරීමෙන් මුක්තිය ලබාගත හැකි වීම ද කැපී පෙනේ.

පුටින්ගේ වර්තමාන ධුර කාලය වසර 2024 න් අවසන් වේ. නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ධුර කාලය වසර 6 ක් ලෙස නොවෙනස්ව පවතින නිසා, තවත් දෙවරක්, එනම් වසර 12 ක් ඔහු ජනපති පදවියේ රැඳී සිටිනු ඇත.

පෙර ලිපිය

පුටින් දිවි ඇති තෙක් ජනපති බවට පත් වීමේ සූදානමක් – පුටින්, ඩ්‍රැකියුලා සහ ඝෝර ඉවාන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි