×

බොල්සොනාරෝ මාස්ක් නැතිව රථ සවාරියක – ලූලා නැවත කරළියට

සැප්තැම්බර් 7 වැනිදාට යෙදී තිබූ බ්‍රසීල නිදහස් දිනය නිමිත්තෙන් ජනපති ජයර් බොල්සොනාරෝ, මුහුණු වැස්මක් පවා නොමැතිව ඉතාමත්ම උද්දාමයෙන් යුතුව, කුඩා දරුවන් පිරුණු මෝටර් රථයක වීදි සංචාරය කරන අයුරු දැකගත හැකි විය.


කොවිඩ් මරණ ගණන 127,000 සීමාව ඉක්මවා ගොස් තිබියදී බොල්සොනාරෝ තවමත් කොවිඩ් වසංගතය කොතරම් හෑල්ලුවට ලක් කරන්නේ ද යන්නට මේ ඡායාරූපය සාක්ෂියකි.

ඔහු නිදහස් දින සැමරුම්වලට එක් වී සිටියේ ද මුහුණු වැසුම් පැළඳීමකින් තොරව ය.

ජනපති බොල්සොනාරෝ මුහුණු වැසුම් නොපැළඳ නිදහස් දින සැමරුම්වලට එක්ව සිටියේ මෙසේ ය.

මේ අතර, නිදහස් දිනය දා විනාඩි 23 ක කතාවක් පවත්වමින් හිටපු ජනපති ලූලා ද සිල්වා බොල්සොනාරෝව දැඩි සේ විවේචනය කළේය.

හිටපු ජනපති ඉනාෂියෝ ලූලා ද සිල්වා

ඔහු මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටියි.

ලුයිස් ඉනාෂියෝ ලුලා ද සිල්වා ජාත්‍යන්තරයේ ප්‍රකටව සිටින්නේ ලුලා යනුවෙනි.

බ්‍රසීලයේ කොවිඩ්-19 වසංගතය වගකීම් විරහිතව පැතිරවූ බව සහ වසං කළ බව කියමින් ඔහු බොල්සොනාරෝට චෝදනා කළේය.

කොවිඩ්-19 වසංගතය ‘මහා විනාශයේ ආයුධයක්‘ (weapon of mass destruction) ලෙස භාවිතා කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

බොල්සොනාරෝ මහත් අභිරුචියෙන් විනාශ කරමින් සිටින ඇමසන් වනය ප්‍රමුඛ පරිසරය සම්බන්ධයෙන් ද අදහස් රැසක් දැක්වීය.

මෙයට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ලූලා පැවසුවේ බොල්සොනාරෝ විසින් බ්‍රසීලය ‘මස් කඩයක්‘ බවට පත් කරමින් සිටින බවයි.

අධිකරණ කටයුතු හේතුවෙන් 2018 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ලූලා ද සිල්වා අසමත් වූ නමුත්, 2022 ජනාධිපතිවරණයට ඔහු දැන් පටන්ම විශාල උනන්දුවකින් යුතුව සූදානම් වන ආකාරය දැකගත හැකිය.

2003-2011 අතර කාලයේ බ්‍රසීලයේ නායකයා ව සිටි ලූලා ද සිල්වා, සිර දඬුවම් විඳීමෙන් පසුව 2019 නොවැම්බරයේදී නිදහස ලැබුවේය. ධුර කාලයේදී සිදුකළ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා සිර දඬුවම් ලැබූ ඔහු, වැරදිකරුවන් සිරගත කළ යුත්තේ ඔවුන්ගේ අභියාචනාවලින් ද පසුව බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමත් සමග නිදහස ලැබුවේය. ඒ සමගම බොල්සොනාරෝට එරෙහිව බ්‍රසීලයේ වාමාංශික දේශපාලනයේ නව පිබිදීමක් දැකගන්නට ලැබේ.

බලයෙන් පහ කර වසර 10 ක් ගත වුවද බ්‍රසීලය තුළ ලූලා ගේ ජනප්‍රියත්වය නොනැසී පැවති අතර, අන්ත දක්ෂිණාංශික බොල්සොනාරෝගෙන් බ්‍රසීලය බේරාගත හැකි ගැළවුම්කරුවා ඔහු බව පැවසේ.

Main Photograph: Fabrice Coffrini/AFP/Getty Images

පෙර ලිපි –

බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වා ට නිදහස

 

බ්‍රසීලයේ ලූලාට නිදහස් බලාපොරොත්තු දුන් නඩු තීන්දුව කණපිට පෙරළේ

ලූලාට බෑ! – බ්‍රසීල අධිකරණය ලූලාගේ ජනපති සිහිනයට තිත තබයි.

බ්‍රසීලයේ හිටපු ජනපති ලූලාට ඇපෑල අහිමි වෙයි. සිර දඬුවම වසර 12 දක්වා වැඩි වෙයි.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි