×

හමුදා පාලනය දණ ගස්සවන සුඩානයේ සිවිල් විප්ලවය

හමුදාව බලය අල්ලා දවස් 7කට පසුවත් සුඩානයේ සිවිල් ජනතාව සීරුවෙන්


සුඩාන හමුදාව කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලාගෙන සතියක් සම්පූර්ණ වූයේ නොකඩවා පැවති මහා ජන රැළිවලට මාරක ප්‍රහාර එල්ල වෙමිනි. නමුත් සුඩාන ජනාතව පසුබැසීමට සූදානම් නැත.

ජනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් විසින් සුඩානයේ පැවති සංක්‍රාන්තික සිවිල් ආණ්ඩුව විසුරුවා, අගමැති අත්අඩංගුවට ගෙන, හමුදා පාලනයක් පිහිටවූ බව ප්‍රකාශ කිරීමෙන් පසුවත්, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවත් සුඩාන ජනතාව පසු බැස නැත. ඔක්තෝබර් 25 සිදුවූ මෙම බල ග්‍රහණයේ ප්‍රතිඵලය බවට පත්ව තිබෙන්නේ සුඩානයේ සිවිල් අරගලය තවත් ශක්තිමත් වීමයි.

සෙනසුරාදා පැවති සුඩාන ජනතා උද්ඝෝෂණවලට හමුදා ප්‍රහාර එල්ල වුණේ පුද්ගලයන් 3 දෙනෙකුට මරු කැඳවමින් සහ 100කට අධික සංඛ්‍යාවකට තුවාල සිදු කරමිනි. සුඩාන වෛද්‍යවරුන්ගේ වාර්තාවලට අනුව ඒ සියලු දෙනා මිය ගොස් තිබෙන්නේ හිසට, පපුවට හෝ උදරයට තැබූ වෙඩි පහර නිසා ය. මේ සමගම හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ යයි.

කෙසේ නමුත් පොලිසිය සහ හමුදාව, මේ මරණ කිසිවක් සම්බන්ධයෙන් වගකීම පිළිගන්නේ ද නැත.

ගල්මුල්, ටයර් සහ මාර්ග බාධක සිවිල් ආයුධ ලෙස

මේ සියලු මර්දනයන් මැද සුඩාන ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලය අත් නොහරිමින් සිටියි. ‘‘හමුදා පාලනයක් එපා‘‘ යැයි සුඩාන ධජයන් ඔසවාගෙන යමින් ඔවුහු මොර දෙති. ගෙදරෙෆ්, කස්සාලා, උතුරු කෝර්දොෆාන් මෙන්ම වයිට් නයිල් යන ප්‍රාන්තවල ද මෙම තත්වය එක සේ දැකගැනීමට පුළුවන.

සුඩානයේ අගනුවර ඛාටෝම් (Khartoum) ය. සුඩාන අගනගරයේ ‘ට්වින් සිටි‘ හෙවත් ‘නිවුන් නගරය‘ යන අන්වර්ථයෙන් හැඳින්වෙන්නේ ඔම්දුරමාන් (Omdurman) ය. සෙනසුරාදා දිනයේ අඳුර වැටෙත්ම මේ නගර දෙකේම රැස් කමින් සිටි දහස් ගණනක ජන ගඟ ක්‍රමයෙන් තුනී වන්නට පටන් ගත්තේය. නමුත් ඉරිදා එනම් ඊයේ දිනයේ උදෑසන වන විට ඔවුන් නැවතත් වීදි පුරා දැකගන්නට ලැබිණි. සිය කටහඬ පමණක් නොසෑහෙන බව දැනගෙන මේ වන විට ඔවුහු ප්‍රචණ්ඩකාරී ලෙස ද හැසිරෙති. ගල්මුල්, ටයර් සහ මාර්ග බාධක ඔවුන්ගේ ප්‍රධානම ආයුධ බවට පත් ව තිබේ.

මේ අතරම ඛාටෝම් සහ ඔම්දුර්මාන් යන නගරවල හමුදා සහ පැරාමිලිටරි සහාය බලකායන් ද නොමදව දැකිය හැකිය. ඔවුන් නගරයේ අහඹු ලෙස තෝරාගත් ස්ථානවල මුර කපොලු සකස් කරන්නේ හැකි තාක් සංචරණය සීමා කරන්නට තැත් කරමිනි.

ඛාටෝම් නගරයේ රැඳී සිටින අල්ජසීරා මාධ්‍ය වේදීන් පැවසුවේ තව තවත් සිවිල් උද්ඝෝෂණ සංවිධානය වෙමින් පවතින බවයි.

අන්තර්ජාල පහසුකම් ළඟට දුරකථන පහසුකම් ද බිඳ වැටිලා

සෙනසුරාදා දිනය වන විට සුඩානයේ බොහෝ ටෙලිකොමියුනිකේෂන් සේවා සපයන්නන් හමුදාව සමග එකඟතාවන්ට ගොස් ඇති බව පෙනේනනට තිබිණි. බොහෝ දුරකථන ජාලා ක්‍රියා විරහිත ව තිබේ. හමුදා පාලනයට රට නතු වූ දා පටන්ම අන්තර්ජාල පහසුකම් ඇණ හිට තිබිණි.

ප්‍රතිවිරෝධය සංවිධානාත්මකයි

හමුදාවේ හා පොලිසියේ ජීව උණ්ඩවලට පවා බිය නොවන සුඩානයේ සිවිල් අරගලය බෙහෙවින් සංවිධානාත්මක මුහුණුවරක් ගනිමින් ඇත..

ඔවුන් ‘රෙසිස්ටන්ස් කමිටි‘ හෙවත් ‘ප්‍රතිවිරෝධය දැක්වීමේ කමිටුව‘ කේන්ද්‍ර කරගෙන සංවිධානය වෙමින් සිටිති. පොලිසිය ජීව උණ්ඩ භාවිතා කිරීම ඇරඹූ විට අවට ප්‍ර දේශවලට පසු බසින ලෙසට උද්ඝෝෂකයන්ට ප්‍රතිවිරෝධය දැක්වීමේ කමිටුවෙන් මගපෙන්වීම් ලැබිණි. ඒ වෙනුවට ඉදිරි පියවර වූයේ වැඩි වැඩියෙන් මාර්ග බාධක දැමීමයි.

මේ වන විට මධ්‍යම, උතුරු සහ නැගෙනහිර සුඩානය සහමුලින්ම පාහේ උද්ඝෝෂණවලින් ඇළලී ගොස් තිබේ.

සාමාන්‍ය සුඩාන උද්ඝෝෂකයාට පවා තමන් කරමින් සිටින්නේ කුමක්ද යන්න ගැන සවිඥානිකත්වයක් ද තිබේ. වඩා වැදගත් වන්නේ එයයි. හයිතාම් මොහොමද් නමැති සුඩාන විරෝධතාකරුවා අල් ජසීරා පුවත් සේවය සමග මෙසේ කියයි.

‘‘ජනතාව විසින් ඔවුන්ගේ පණිවුඩය ලබා දී තිබෙනවා. අපි පසුබැසීම නම් සිද්ද වෙන්නේ නෑ. බලය අයිති ජනතාවටයි‘‘

බලය හිමිවිය යුත්තේ ජනතාවට ය යන දැනුම විසින් අපට පෙන්වා දෙන්නේ සුඩානයේ ජනතාව ලෝකයේ බොහෝ නාමික ප්‍රජාතන්ත්‍රවාදී රටවලට වඩා ඉදිරියට ගමන් කරමින් සිටින බව ය.

පෙර ලිපි

සුඩාන හමුදාව බලය අල්ලයි – හමුදා පාලනය නැවත ඇරඹෙයි

සුඩානය නොසන්සුන් : අගමැති ඇතුළු සිවිල් නායකයන් රැසක් හමුදා අත්අඩංගුවට

Update: කොන්දේසි විරහිතව සිවිල් පාලනයට ආපසු යනු !- ඇමරිකාව සුඩානයට සැරෙන් කියයි

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි