×

සංවාසය යුද්ධයක් බව කියමින් මහ සයුරේ පෙම් කෙළින්නෝ BBC Planet Earth

මහ සයුරේ කල්පනාකාරයා නොහොත් බුද්ධිමතා යෝධ දැල්ලා ය. යෝධ දැල්ලා ගේ හිස, මොළයට සරිලන සේ විශාල ය. මේ නිසා ඌ බැලූ බැල්මට ඔලුබක්කෙකු සේ පෙනේ. නමුත් මෙයටම සරිලන යෝධ ස්නායු පද්ධතියකින්ද යෝධ දැල්ලා සන්නද්ධය. මේ නිසා උගේ ජීවිතය ද සංකීර්ණ ය. එපමණට ම අසිරිමත් ය.


ඔස්ට්‍රේලියානු මුහුදු තීරයේ ජීවත්වන යෝධ දැල්ලා හුදෙකලාවට ප්‍රියකරන්නෙකි. සිය කෙටි ජීවිතයේදී ඌ එක්වරක් පමණක් සංවාසයේ යෙදෙයි.

ඒ කාලයට කහ පැහැති මුහුදු පත්ල සංවාස භූමි බවට පරිවර්තනය වෙයි. ගැහැණු සතෙකු සංවාස භූමියට අවතීර්ණ වු විට එය යුධ පිටියක් බවට පත්වන්නට ද එතරම් වේලාවක් ගත වන්නේ නැත. මුලින් ම සිදුවන්නේ ලොවේ සෑම විටම සිදුවන පරිදි කෙල්ල පෙම්පිටියට අවතීර්ණ වූ විගස පිරිමි දැල්ලන් කලබලයට පත්වීමයි. සාමාන්‍යයෙන් දැල්ලන්ගේ ලෝකයේ පිරිමි සතෙක් ගැහැනු සතෙකු මෙන් එකහමාර ගුණයක් තරම් විශාල ය. එසේම මේ මුහුදු තීරයේ කෙල්ලන් සිටින්නේ කොල්ලන් සිව්දෙනෙකුට එක් අයෙකු බැගින් වන නිසා තරගය අතිමහත්ය. නමුත් තෝරාගැනීම ගැහැනු සත්වයා සතු ය. තෝරාගත් පිරිමි දැල්ලා ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යාමද ගැහැනු සත්වයා ට අයත් කාරියකි. ඒ තැන, ආරක්ෂිත ව බිජු ලෑ හැකි තැනකි.

එතැනට ගිය පසු පිරිමි සතා ගැහැනු සත්වයා ව සිය බාහු අතර ට ගෙන ඇගේ මුහුණ තමා වෙත හරවා ගනියි. සිය බාහු උපයෝගී කර ගනිමින් ශුක්‍රාණු මලු ඇගේ සිරුර තුළ ට යැවෙනුයේ ඉන් පසුව ය. ඒවා ගැහැනු සත්වයාගේ මුඛය ට මදක් ඔබ්බෙන් වූ විවරයක් තුළ ට යැවේ.

සංවාසයේ යෙදුණු පසු පිරිමි සතා පළා නොයයි. ඒ වෙනුවට ඈ බිජුලන තෙක්ම රැකවල් දමාගෙන සිටියි. ඌ ගැහැනු සතාව ආරක්ෂා කිරීමට මෙන් සිය සිරුරෙන් ඇය ව වසා ගනියි. නමුත් ප්‍රශ්නයකි. සාගරයේ ගැහැනු දැල්ලන්ගේ පවතින දුර්ලභ බව නිසා ම ගැහැනු දැල්ලෙකුට මෙසේ රැකවල් දමාගෙන සිටීම පිරිමි සතෙකුට අභියෝගයකි. එය තරගයක් පමණක් නොව සටනක් පවා විය හැකිය. පිරිමි ආරක්ෂකයා මෙහිදී සෙසු ප්‍රතිවාදී දැල්ලන් සියලු දෙනාට ම පහර දී උන් ව එළවා දැමිය යුතු ය. ගැහැනු සත්වයා සංවාසයේ යෙදීම සඳහා ශක්තිමත් හා විශාලතම දැල්ලෙක් තෝරාගන්නා හේතුව එයයි.

දැල්ලන්ට තම දේහ වර්ණය මෙන්ම දේහයේ හැඩතල ද අසිරිමත් ලෙස වෙනස් කර ගැනීමට හැකියාව තිබේ. ඒවා වෙනස්වන්නේ දැල්ලාගේ මනෝභාවය අනුව ය. සිය සහකාරිය ට රැකවල් දමන විට දැල්ලා රඟපාන්නේ කෝපාවිෂ්ට සෙනෙවියෙකුගේ භූමිකාවකි. මෙවිට උගේ සිරර කෝපයෙන් දැවෙන බව හඬවමින් එයින් යම්කිසි ආකාරයක දීප්තියක් විහිදෙන්නට පටන් ගනියි. මේ අතර සුදු පැහැ වයිරම් ද මතුවෙයි. එය තම සහකාරියගෙන් ඈත්වී සිටින ලෙසට සතුරාට කරන අනතුරු ඇඟවීමකි.

බොහෝ සතුරෝ මෙම අවධියේදී පසුබා යති. නමුත් නහරකාරයෝ ඉදිරියටම ඇදෙති. පිරිමි දැල්ලාගේ සමේ වර්ණය එවිට වඩාත් තීව්‍ර වෙයි. සතුරා පසුනොබාන්නෙකි. අවසානයේ, සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නැත. ඉන්පසු මහා පොරයකි. ශක්තිවන්තයා දුබලයාව බාහුවලින් අල්ලා සමුදුරු පත්ලේ ගසයි. එවිට උගේ බාහු වේදනාකාරී ලෙස දුබලයාගේ සිරුර වටා එතෙයි. දැන් එතැන බිහිසුණු සටනකි. එකෙකු ඉවත්ව යන තෙක්ම සටනකි. ජයගත් දැල්ලා නැවතත් සහකාරිය ව මුර කිරීම භාරගනියි.

දැල්ලන් ඉතා කදිම සන්නිවේදකයන් ය. නමුත් එය කණපිට හැරී, උන් ප්‍රයෝගවලට හසුවන අවස්ථාද තිබේ. සංවාසය සඳහා අවස්ථාවක් කිසිදා නොහැකි ඉතා කුඩා ප්‍රමාණයේ දැල්ලෝද සාගරයේ වෙසෙති. මෙවැන්නන් ප්‍රයෝගකාරීන් ය. උන් ගැහැනු සතෙකු වෙත ළං වන්නේ නිතරම සැලසුමක් සිත තබාගෙන ය. ඌ පෙර කී දැල්ලන් ජෝඩුව වෙත බාහුවක් දිගුකර ගෙන ළංවන්නේ තමන් ට ද සංවාසයේ යෙදීමට අවශ්‍ය යැයි ඉඟි කරමිනි. පිරිමි දැල්ලා තමන් ට තර්ජනයක් බව ඌ දනියි. එනිසා ඊළඟ පියවර ගැහැනු දැල්ලෙකු ලෙස පෙනෙන්නට ශරීරයේ වර්ණය වෙනස් කර ගැනීමයි.

රැකවලෙහි යෙදී සිටින පිරිමි දැල්ලා ට දැන් සිතෙන්නේ තමන් වාසනාවන්තයෙකු බවයි. මන දොළ සපුරාගැනීම සඳහා තවත් ගැහැනු දැල්ලෙකු තමන් වෙත පැමිණි බවක් ඌට හැf`ගෙයි. ඌ පෙම්කෙළිය අරඹයි. මේ අතර ගැහැනු වෙසක් මවාගත් කපටි පිරිමියා තව තවත් ගැහැනු දැල්ලා ට සමීප වෙයි.

එතැන් පටන් ඇරඹෙන්නේ තවත් අලුත් පෙම් පුවතකි.

පෙර ලිපි

රක්ත වර්ණ පීත්තපටි දඩබිම

නිසල වන පෙතේ සිකාඩා සුසානය

වැසිදිය වනයේ බැබුන් සෙල්ලම්

පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි