×

2019 වසරේ පුද්ගලයා – ග්‍රේටා – ‘කොහෙවත් යන පුංචි කෙල්ලෙක්‘ද?

වසරේ පුද්ගලයා හෙවත් Person of the Year යනු ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් 1927 වසරේ පටන්, ගෙවී යන වසරේ ලෝකයට වැඩිම බලපෑමක් කළ තැනැත්තා හෝ තැනැත්තිය ලෙස තෝරාගන්නා පුද්ගලයාය ය.


මේ වසරේ එම ගෞරවය දිනාගෙන තිබෙන්නේ ළාබාල පරිසර වීරවරිය ග්‍රේටා තුන්බර්ග් (Greta Thunberg) විසිනි.

ග්‍රේටා තුන්බර්ග් 16 හැවිරිදි ස්වීඩන් ජාතික පාසල් ශිෂ්‍යාවකි.

ඇය මේ ගෞරවයට පාත්‍ර වූයේ, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි මේ දිනවල පැවැත්වෙන COP25   ජගත් සංවිධාන පරිසර සමුළුව ඇමතීමෙන් පසුව ය.

එහිදී ඇය ලෝක නායකයන්ගෙන් අයැද සිටියේ ‘නිර්මාණශීලී අන්තර් පුද්ගල සබඳතා (“creative PR” ) යොදාගෙන සැබෑ ලෙස වැඩ කිරීම වැළැක්වීම නතර කරන ලෙසයි. ඉදිරි දශකය විසින් පෘථිවියේ අනාගතය තීරණය කරනු ඇති බව ද එහිදී ඇය කියා සිටියාය.

පසුගිය වසරේ ග්‍රේටා තුන්බර්ග් දැරිය ලෝක ප්‍රසිද්ධ වූයේ ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට බොහෝ සිකුරාදා දිනයන්හිදී පාඩම් වැඩ ද අතපසු කරමින් ‘පාරිසරික වැඩවර්ජනයක්‘ දියත් කිරීමත් සමග ය. එය ලොව පුරා අවධානය සැණෙන් දිනාගත් අතර, #FridaysForFuture හෑෂ්ටැගය ද ඒ අනුව නිර්මාණය විය.

එතැන් පටන් පාරිසරික වෙනස්වීම්වලට එරෙහිව ඇය ලෝකයේ ප්‍රබලතම හඬක් බවට පත්වූවාය. ලොව පුරා මිලියන ගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇගේ අඩි පාරේ යමින් පරිසරය වෙනුවෙන් පාරට බැස්සහ.

2019 වසර මුලදී ඇගේ නාමය නොබෙල් සාම ත්‍යාගය සඳහා ද නිර්දේශ විය.

මේ අතර, 2019 සැප්තැම්බර් මස නිව්යෝක් නුවර පැවැත්වුණු පාරිසරික සමුළුවක් අමතමින් ඇය දේශපාලකයන්ට දැඩි සේ දෝෂාරෝපණය කර සිටියාය. එහිදී ඇය නිර්දය ලෙස ප්‍රශ්න කළේ, සිය යුතුකම සහ රාජකාරිය ඉටු නොකර, දේශගුණික විපර්යාසවලට පිළිතුරු සෙවීමට තරුණ පරපුර මත රඳා පැවතීමට දේශපාලකයන් කටයුතු කරන්නේ මන්ද යන්නයි.

එම කතාවේදී ඇය පැවසූ, – ‘‘ඔබ මගේ සිහින සහ මගේ ළමා විය ඔබේ හිස් වචනවලින් සොරාගෙන තිබෙනවා. අපි නුඹලා දෙස බලා සිටින්නෙමු..‘‘ “You have stolen my dreams and my childhood with your empty words. We’ll be watching you.”

‘කොහෙවත් යන පුංචි කෙල්ලෙක්‘ද?

කෙසේ නමුත් ඇයට හැමවිටම ලෝකයෙන් ප්‍රශංසා ලැබුණේ යැයි නොසිතිය යුතුය. බ්‍රසීලයේ ඇමසන් වනයේ ආදිවාසින්ව මරා දැමීමට එරෙහිව ඇය කතා කළ විට බ්‍රසීල ජනපති බොල්සොනාරෝ කෝපයට පත්ව ඇය ‘‘කොහෙවත් යන පොඩි කෙල්ලෙක්‘ යන අදහස ඇති “brat” යනුවෙන් අපහාස කළේය. එවිට ඇය සිය ට්විටර් ප්‍රොෆයිලය Pirralha යනුවෙන් වෙනස් කරගෙන ප්‍රතිචාර දැක්වූවාය.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දේශගුණික විද්‍යාව නොතකා හරිමින් පරිසර නීති ආපස්සට හරවන විට ඒවාට එරෙහිව කතා කිරීම නිසා ද ඇය උදහසට ලක් වූවාය.

මේ අතර, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇය ගැන කීවේ, “kind but poorly informed teenager” – ‘‘කරුණාවන්ත, නමුත් හරිහැටි දේවල් නොදන්නා ගැටවරියක්‘ යනුවෙන් අපහාසාත්මක ලෙස ය.

මේ අතර, ලංකාව ද ඇතුළු ලෝකයේ සමාජ ජාලවලදී ඇය පහරකෑමට ලක්වූයේ, ඇගේ යොවුන් මුවෙන් පිටවන්නේ දේශපාලන සහ එන්ජීඕ උවමනාවන් ය යන චෝදනාව ය. ඇය, පරිසරය වෙනුවෙන් වැඩ කරන්නේ යැයි කියන රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවල අතකොළුවක් බවට පත්ව ඇති බව ඒ විවේචනවලින් කියැවිණි.

කෙසේ නමුත් NBC රූපවාහිනිය ඔස්සේ අද (11) දින වසරේ පුද්ගලයා පිළිබඳ නිවේදනය කරමින් ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ප්‍රධාන කර්තෘ එඩ්වඩ් ෆෙල්සෙන්තාල් (Edward Felsenthal) මෙසේ පවසයි.

“She became the biggest voice on the biggest issue facing the planet this year…”

‘‘පෘථිවිය මුහුණ පාමින් සිටින විශාලතම ගැටළුව පිළිබඳ ලොකුම හඬ බවට ඇය මේ වසරේ පත්විය..‘‘

මේ අතර, BBC පුවත් සේවයේ විශ්ලේෂක සහ විද්‍යා කර්තෘ ඩේවිඩ් ෂුක්මන් පවසන්නේ ‘ග්‍රේටා ආචරණය‘ – “Greta effect”මගින් ඇය මුළු ලෝකය වෙතම ඇති කළ බලපෑම සුළු පටු එකක් නොවන බව ය.

ලොව පුරා මිලියන ගණනක් තරුණ ප්‍රජාව මේ මිහිතලයේ එකම අනාගත බලාපොරොත්තුවයි. යොවුන් ග්‍රේටා තුන්බර්ග්, ඔවුන්ගේ බලාපොරොත්තුවේ ආලෝකයේ ගිනිසිළුවයි. ග්‍රේටා තුන්බර්ග්ලා තුන් දෙනෙකු සිටියේ නම් මේ මිහිතලයේ අනාගතය දශකයක් තුළ වෙනස් කර ගැනීමට අපට හැකි වනවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි