×

‘ඇමසන් ඝාතකයා‘ දිවුරා වැඩ අරඹයි.

ඇමසන් වනය අමාත්‍යාංශවලට පවරාගෙන එය කර්මාන්තකරණය සඳහා බිලි දෙන බවට ප්‍රතිඥා දී සිටින බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික නායක ජයර් බොල්සොනාරෝ, බ්‍රසීල ජනපතිවරයා ලෙස දිවුරුම් දී වැඩ පටන් ගත්තේය.


ලොව පුරා පැතිර යන අන්ත දක්ෂිණාංශික රැල්ලට සමගාමීව සිදුවූ බොල්සොනාරෝගේ නැගීම, ඊයේ සහ අද දිනවල ජාත්‍යන්තර මාධ්‍ය අවධානය දිනා ගත්තේ හුදෙක් බ්‍රසීලයට නව නායකයෙකු පත් වූ නිසාම නොවේ. බොල්සොනාරෝට සිතින් ආශිර්වාද කරන තවත් ලෝක බලවතුන් රැසක් ඔහු දිවුරුම් දෙනු බැලීමට තකහනියේ බ්‍රසීලයට ගිය නිසා ය.

බොල්සොනාරෝ බ්‍රසීල ජනපතිවරණයෙන් ජයගත් විගස, ඔහුට දුරකථනයෙන් අමතා සුබ පැතූ පළමුවැන්නා වූ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමට පැමිණ නොසිටියත්, ඔහුගේ කතාවෙන් විනාඩි කිහිපයක් ඇතුළත ඒ ගැන පළමු ට්වීටය තැබූ පුද්ගලයා බවට පත්විය. එම ට්වීටයෙන් කියැවුණේ බොල්සොනාරෝ කදිම කතාවක් කළ බව ය. එසේම ඇමරිකාව ඔහු සමග බව ය!

එයින් මද වේලාවකට පසු, සියලු වැඩ පැත්තක තැබූ නව ජනපති බොල්සොනාරෝ පිළිතුරු ට්වීටයක් පෝස්ට් කරන්නට අමතක නොකළේය. එහි සඳහන් වුණේ ‘දෙදෙනාම එක් වී අපේ ජනතාවට සෞභාග්‍යය හා සමෘද්ධිය ගෙන එමු‘යි කියා ය!

“Dear Mr. President @realDonaldTrump, I truly appreciate your words of encouragement. Together, under God’s protection, we shall bring prosperity and progress to our people.”

දිවුරුම් දීමට තමන්ට ආ නොහැකි නිසා ට්‍රම්ප් ඒ වෙනුටව සිය රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ එවා තිබුණේය. හංගේරියානු නායක වික්තරේ ඔර්බන්, ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතනියාහු, බොල්සොනාරෝට සුබ පතන්නට බ්‍රසීලයට ගිය ලෝක නායකයන් අතර වූහ.

දිවුරුම් දීම සඳහා බොල්සොනාරෝ පැමිණියේ රෝල්ස් රොයිස් රියක නැගී ය. ඒ රියේම ඔහුගේ බිරිඳ මචෙලිට අමතරව ඔහුගේ උප ජනාධිපති හැමිල්ටන් මූරාවෝ ද සිටියේය. හැමිල්ටන්, විශ්‍රාමලත් හමුදා ජනරාල්වරයෙකි. බොල්සොනාරෝ ද හිටපු හමුදා කපිතාන්වරයෙක් බව මෙහිදී අමතක නොකරන්න. සුසංයෝගය කදිම ය.

මේ උත්සවය සඳහා 115,000 කට අධික පිරිසක් පැමිණ සිටියහ. ආණ්ඩුව බලාපොරොත්තු වූයේ ලක්ෂ 5 කි. බොල්සොවාදීන්ට එහිදී මුරකපොළු 3 ක් පසුකිරීමට සිදුවිය. ඒ හැම එකකදීම ඔවුන්ව පූර්ණ පරීක්ෂණයකට ලක් කෙරිණි. ලෝහමය දේවල් ළඟ තිබෙනවාදැයි සොයාබැලීමේ විශේෂ සෝදිසියක් ද ඒ අතර විය. අධික උණුසුම නිසා ගිනි නිවන හමුදාව යොදවා අවට භූමියට ජලය ඉසීමට ද සිදුව තිබිණි. පාපැදිවල නැගී 80 දෙනෙකුගේ බොල්සොවාදීන් පිරිසක් රට හරහා පැමිණ සිටියේ නව දක්ෂිණාංශිකයාට ආවඩන්නට ය.

බොල්සොනාරෝ පිරිස අමතමින් කීවේ තමන් ‘බ්‍රසීලයට සමාජවාදයෙන් විමුක්තිය ලබාදෙන බව‘ ය. ඔහුටම කියාපු විදේශ ඇමතිවරයෙක් ද ඒ සඳහා ඔහු විසින් තෝරාගෙන ඇති අතර, එම විදේශ ඇමතිවරයා වන අර්නස්ටෝ අජෝරෝ වරක් කියා තිබුණේ, ‘දේශගුණික විපර්යාසයන් ද මාක්ස්වාදී කුමන්ත්‍රණ‘ කියා ය.! මාක්ස්වාදීන් හෝ වාමාංශිකයන් ජෙයර් බොල්සොනාරෝට සතුරන් වශයෙන් පෙනී යාම පුදුමයක් නොවේ. ඔක්තෝබරයේ පැවති ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රබලම ප්‍රතිවාදියා බවට පත්ව සිටියේ, පුරා වසර 13 ක් බ්‍රසීලය පාලනය කළ, වාමාංශික මූලයන් සහිත කම්කරු පක්ෂයේ නායකයා වන ෆර්නෑන්ඩෝ හඩාඩ් ය. හිටපු වාමාංශික නායකයන් වන ලුයිස් ඉනාෂියෝ ලූලා ඩි සිල්වා, ඩිල්මා රුසෙෆ් වැනි නායකයන්ව දැඩි සේ විවේචනය කිරීමටත් බොල්සොනාරෝ කිසි විටෙක අමතක කරන්නේ නැත.

දිවුරුම් දීමෙන් පසු බ්‍රසීල ජාතික කොංග්‍රසය අමතමින් සිදුකළ පළමු කථාවෙන් එය තවදුරටත් සනාථ වේ.

‘‘අපට අපේ රට ගොඩනැගීමට සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබෙනවා‘‘ යැයි බලය ලැබීමෙන් පසු වහසි බස් දෙඩීමට රිසි ඕනෑම නායකයෙකු මෙන්ම බොල්සොනාරෝ ද කියයි. බොල්සොනාරෝ කියන මේ ‘ජාතිය ගොඩ නැගීම‘ට, බ්‍රසීල පාසල්වල දැනට උගන්වන වාමාංශික පරමාදර්ශයන් අතුගා දැමීම ද ඇතුළත් ය. එයට අමතරව ගිනි අවි නීති ලිහිල් කරමින් ට්‍රම්ප්ගේ අඩිපාරේ යාම ද, නීතිය හා සාමය, පිලිපීනයේ ඩුටර්ටිගේ ක්‍රමයට ස්ථාපිත කිරීම ද ඇතුළත් ය. ඒ සඳහා පොලිසිය හා සන්නද්ධ අංශයට අසීමිත බලතල ලබාදීමට ද බොල්සොනාරෝ ඉත සිතින් සූදානම් ය.

සැබවින්ම බොලේසොනාරෝ යනු බ්‍රසීලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සත් වරක් සිටි මන්ත්‍රී කෙනෙකි. නමුත් ඔහු ගැන කිසිවෙක් දැන නොසිටි තරම් ය. එහෙත් ගේමක් ගසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී LGBT සහ වාමාංශිකයන් ගැන වෛරයෙන් කතා කරමින් ජනප්‍රියවාදී රැල්ලක් ඇති කිරීමට ඔහු සමත් විය. ඔහු ගැන ලෝකය මුලින්ම දැන ගත්තේ ද ඒ වෛරී රැල්ල හේතුවෙනි. මේ අනුව අද පටන් බ්‍රසීලයේ සුළුතර ජනතාවට ජීවත් වන්නට සිදුවන්නේ පෙර නොවූ විරූ භීතියකිනි. සමරිසි පුද්ගලයන්, සුළු ජාතීන්, සුළු ආගමිකයන් යනුවෙන් එම ලැයිස්තුව ඉතා දිගු ය.

ලතින් ඇමරිකාවේ විශාලතම ආර්ථිකය සහ වැඩිම ජනගහනයක් ජීවත් වන රට වන බ්‍රසීලය, ‘ලෝකයේ පෙණහැල්ල‘ යැයි විරුදාවලි ලත් ඇමසන් වනයෙන් වැඩි කොටස දරා සිටියි.

බොල්සොනාරෝගේ මූලික සැලසුම වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය ‘එක්සත්‘ කර, ‘සුපර් මිනිස්ට්‍රි‘ හෙවත් ‘සුපිරි අමාත්‍යාංශයක්‘ පිහිටුවීමයි. මුදල්, සැලසුම්, කාර්මික හා වාණිජ යන කර්මාන්ත ඉන්පසු එම සුපිරි මිනිස්ට්‍රිය යටතට ගැනීමට නියමිත ය. ජෛව පාරිසරික සම්පත් මිනිස් අවශ්‍යතා සඳහා මහා පරිමාණයෙන් බිලිදීමේ බොල්සොනාරෝ මෙහෙයුම අද පටන් නිල වශයෙන් ආරම්භ වනු ඇත. මෙයින් පසු අප ‘ලෝකයේ පෙණහැල්ල‘ වේගවත් මරණයක් වෙත ගමන් කරන අයුරු බලා සිටිය යුතුය.

1964 සිට 1985 වසර දක්වා බ්‍රසීලයේ පැවතියේ හමුදා පාලනයකි. ඒ සම්බන්ධයෙන් බොල්සොනාරෝ දැනටමත් මෙසේ කියා තිබේ. ‘‘මේ රට හදන්න නම්, අන්න ඒ වගේ දැඩි පාලකයෙක් ඉන්න ඕනෙ..“

පෙර ලිපි…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි