×

‘අද මම මෙහි පැමිණියේ සෞඛ්‍ය සම්පන්න ග්‍රහලෝකයක් ගොඩනැගීමේ ප්‍රයත්නයට නැවත වරක් එක්වීමට, බ්‍රසීලය සූදානම් බව ප්‍රකාශ කිරීමට’ – බ්‍රසීලියානු නව ජනාධිපති COP27 සම්ළුව අමතයි.

ලෝකයට හුස්ම සපයන පෙනහැල්ල ලෙස සැලකෙන ඇමසන් ආරක්ෂා කිරීමට බොහෝ පරිසරවේදීන් cop27 දී ලූලාට සුබපතා තිබූ අතර, ඔහු මේ වන විට ලෝකයට අලුත් බලාපොරොත්තුවක් බවට පත්ව ඇත.


ඊජිප්තුවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණික විපර්යාස සමුළුව(COP27) වෙනුවෙන්, ඊයේ(16) දිනයේ දී නව ජනාධිපති ලෙස බ්‍රසීලයේ තේරීපත්වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජාත්‍යන්තර වේදිකාව අමතනු ලැබීය. මෙහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ බ්‍රසීලය නැවත ජාත්‍යන්තර වේදිකාවට පැමිණි බවත්, සෞඛ්‍ය සම්පන්න ග්‍රහලෝකයක් ගොඩනැගීමේ ප්‍රයත්නයට නැවත වරක් එක්වීමට බ්‍රසීලය සූදානම් බවත්ය.

මෙහිදී විශාල පිරිසක් ලූලා වෙනුවෙන් පැමිණ සිටි අතර ඔහු සභා ගර්භයට පැමිණෙන විට ‘ඔලේ ඔලේ – ලූලා ලූලා’ වශයෙන් ඔල්වරසන් දුන්බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සභාවේ උණුසුම් අත්පොළොසන් මැද සිය පළමු දේශනයේදී ලූලා ප්‍රකාශකර තිබුණේ, පවතින දේශගුණික තත්වය තුළ කිසිවෙකුත් ආරක්ෂිත නොවන බවයි.

‘මේ වන විට එක්සත් ජනපදය නිවර්තන කුණාටු සහ වඩ වඩාත් බලවත් සුළි කුණාටු සමඟ ජීවත් වේ. වනාන්තර සහ ජල විද්‍යාත්මක බලයක් හිමි බ්‍රසීලයේ අපි, නියඟය සහ විනාශකාරී ගංවතුර අත්විඳිමු. යුරෝපය ලැව් ගිනි හා පෙර නොවූ විරූ මරණ සමඟ දැඩි උණුසුමකට මුහුණ දෙයි. එය අඩුම හරිතාගාර වායු විමෝචනය සහිත මහාද්වීපය අප්‍රිකාව වුවද චැඩ්, කෙන්යාව සහ සෝමාලියාවේ නියඟය පවතී. ආරක්ෂිත ඇමසන් නොමැතිව ග්‍රහලෝක ආරක්ෂාවක් නොමැත. වන විනාශය ශුන්‍ය කිරීමට සහ අපගේ ජෛව විවිධත්වයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් අපි කරන්නෙමු. මේ හේතුව නිසා මගේ මීළඟ රජය තුළ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේ ප්‍රයත්නයන්ට ඉහළම ප්‍රමුඛත්වය හිමිවන බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එමෙන්ම නීති විරෝධී රන් කැණීම, දැව කැපීම සහ කෘෂිකාර්මික ව්‍යාප්තිය මර්දනය කිරීම සහ දේශගුණික පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම මගින්, තම පරිපාලනය තුළ පරිසරය වෙන කවරදාටත් වඩා ඉදිරියට ගෙන යාමට සූදානම් බවයි.’

එමෙන්ම මෙහිදී 1.5C ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට හා වනාන්තර සංරක්ෂණයට විශාල වැසි වනාන්තර ජාතීන් වන ඉන්දුනීසියාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට බ්‍රසීලය සමඟ එක්ව වැඩ කිරීමට ලූලා මෙහිදී ආරාධනා කර තිබුණි. පරිසරය විනාශ නොකර ධනය උත්පාදනය කළ හැකි බව බ්‍රසීලය ඔප්පු කරන බව මෙහිදී ජනාධිපතිවරයා සමුළුව අමතමින් කියා සිටි අතර ගෝලීය උණුසුම ඉහළ යාම හා දරිද්‍රතාවය එකිනෙකින් වෙන් කළ නොහැකි බලවේග බව ඔහු මෙහිදී තහවුරු කරන ලදි. එමෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ කටයුතු කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට ලැබිය යුතු මුදල් ලබා දීමටද, ලූලා මෙහිදී සහතික වී තිබිණි.

බ්‍රසීලයේ හිටපු පරිසර ඇමතිනි ඉසබෙලා ටෙක්සෙයිරා BBC පුවත් සේවයට පැවසුවේ “COP27 හි දී ලෝකය දැන් බ්‍රසීලය වැළඳ ගනිමින් සිටින බවයි.’

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා අභිලාෂයෙන් පිරී සිටින බවට සැකයක් නැත. ලූලාගේ බලයට පත්වීම සිදු වනුනේ ලෝකය බහුවිද ගැටලු වලට මුහුණ දී සිටින ඓතිහාසික මොහොතකය. න්‍යෂ්ටික යුද්ධය, ආහාර සැපයුමේ අර්බුදය, බලශක්තිය, ජෛව විවිධත්වයේ ඛාදනය, අසමානතාවය ආදිය සමඟ මෙය අතිශය දුෂ්කර කාලයකි. නමුත් මනුෂ්‍යත්වය ජය ගනු ලැබුවේම මෙවැනි දුෂ්කර කාලවලදීමය. ලෝකයට හුස්ම සපයන පෙනහැල්ල ලෙස සැලකෙන ඇමසන් ආරක්ෂා කිරීමට බොහෝ පරිසරවේදීන් cop27 දී ලූලාට සුබපතා තිබූ අතර, ඔහු මේ වන විට ලෝකයට අලුත් බලාපොරොත්තුවක් බවට පත්ව ඇත.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි :

COP27 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ලූලා බලාපොරොත්තුවෙන්; බ්‍රසීලයේ පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳව ලෝකයම අවදියෙන්

COP27 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ලූලා බලාපොරොත්තුවෙන්; බ්‍රසීලයේ පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳව ලෝකයම අවදියෙන්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි