×

චීනය ණය දී හැදූ උගන්ඩාවේ එකම ගුවන් තොටුපොළත් චීනයටම සින්න වෙයි !!

උගන්ඩාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ ද..?


කෙන්යාවේ මොම්බසා වරාය චීන ණය බූවල්ලාටම සින්න වූ අයුරු මීට පෙර අප විසින් කියා ඇත. චීන ණය උගුලේ හිරවුණු සැම්බියාව සෙමෙන් සෙමෙන් චීන කොලනියක් බවට පත් වන ආකාරය ද අප විසින් මීට පෙර පෙන්වා දී තිබේ. මේ එහි නවතම දිගුවයි.

උගන්ඩාවේ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ චීනයට සින්න වෙන හැටි ගැන කතාන්දරයයි, මේ.

දිනය 2015 නොවැම්බර් 17 වැනිදා ය. උගන්ඩාව ආණ්ඩුව චීනයේ එක්ස්පෝට් – ඉම්පෝට් බැංකුව සමග ඩොලර් මිලියන 207 ක ණය ගිවිසුමකට අත්සන් තැබුවේය. චීනයේ එක්ස්පෝට් එම්පෝට් බැංකුව ඔබට මතකද? එහි කෙටි නම ‘එක්සිම් බෑන්ක්‘ (Exim Bank) ය. ලංකාවේ හම්බන්තොට වරාය ඉදිකරන්නට ප්‍රථම-ප්‍රධාන ණය වාරිකය ලබාගෙත්තේ ද චීනයේ එක්සිම් බැංකුව හරහා ය. ඒ ද, උගන්ඩාවේ මෙන්ම 2015 වසරේ ලංකාවේ මහමැතිවරණය ආසන්නයේ ය. (කියවන්න – චීන ණය මකරා සමග මහින්දගේ ආලිංගනය)

දැන් නැවතත් උගන්ඩාව වෙත හැරෙමු. උගන්ඩාවට ඩොලර් මිලියන 207 ක් ලැබුණේ 2% පොලියට ය. ව්‍යාපෘතිවලින් 20-30% කොමිස් ගහන රටවලට 2%ත් කජ්ජක්ද…?

උගන්ඩාවේ එකම එක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හදන්නට ලබාදුන් මේ ණය මුදල ආපසු ගෙවිය යුතු වුණේ වසර 20කිනි. ඒ, වසර 7 ක ණය සමා කාලයක් ද ඇතුළත්ව ය.

නමුත් පසුගිය සතියේ සිට විදෙස් වාර්තා පවසන්නේ, උගන්ඩාව, ණය ගෙවීමට පවා දඟලන්නේ නැතිව ‘‘වෙන කරන්න දෙයක් නැත්නම් ඕක උඹලම තියාගනිල්ලා‘ වැනි ස්වරූපයකින් ක්‍රියා කරමින් එන්ටැබේ ගුවන් තොට චීනයටම භාර දී ඇති බවකි.

මෙය සිදුව තිබෙන්නේ චීනයේ පැවති බේරුම්කරණ රැස්වීමකිනි. උගන්ඩාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (UCAA) ට අනුව එන්ටැබේ ගුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ උගන්ඩාවේ තිබෙන සෙසු චීන වත්කම් චීන ණය දෙන්නන් විසින් ‘ලබාගත්‘ බවයි.

2015 ණය ගිවිසුමේ ඇති ඇතැම් අහිතකර වගන්ති ඉවත් කරන ලෙස හෝ ලිහිල් කරන ලෙස උගන්ඩා බලධාරීන් වරින් වර ඉල්ලීම් කර තිබුණත්, චීනය එ්වාට එකඟ වී නැති බව ද මේ අතර වාර්තා වේ. ඒ අනුව උගන්ඩා ජනපති යොවෙරි මුසවෙනි අවසානයේ වෙනත් කර ගත හැකි දෙයක් නොමැති තත්වයට පත් ව තිබේ.

‘මාටියා‘ පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි

පසුගිය සතියේදී උගන්ඩාවේ මුදල් අමාත්‍ය මාටියා කසයිජියා පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලා සිටියේ එන්ටැබේ ගුවන් තොටුපොළ පුළුල් කිරීම සඳහා ‘ඩොලර් මිලියන 207 ක ණය මුදල වැරදි ලෙස හැසිරවීම (මිස්හැන්ඩ්ලින්)‘‘ ගැන ය.

ගුවන් තොටුපොළ පුළුල් කළ හැටි

චීනය උගන්ඩාවට අලුතෙන්ම ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හදා දුන්නා නොවේ. එන්ටැබේ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා උගන්ඩාව ඉදි කරන්නේ 1972 වසරේදී ය. ණය දෙන කාලය, එනම් 2015 වසර වන විට එහි වැඩ කටයුතු 75.2%කින් නිමා වී තිබිණි. එහි සියයට 100 ක් දක්වා වැඩ නිම කළ ගුවන්යානා ධාවන පථ දෙකක් ද විය.

එන්ටැබේ ගුවන් තොටුපොළ උගන්ඩාවේ තිබෙන එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. එය වසරකට අන්තර්ජාතික ගුවන් මගීන් මිලියන 1.9කට වැඩි පිරිසක් හසුරුවයි. එය චීනය විසින් අත් පත් කර ගැනීමත් සමග, 1986 වසරේදී සන්නද්ධ කැරැල්ලක් මගින් බලයට පත් වූ 77 හැවිරිදි යොවෙරි මුසවෙනිගේ දේශපාලන ජීවිතයේ ද මරණ වරෙන්තුව ලියා තිබේ. ‘සදාකාලික ජනාධිපති‘ ලෙස තවමත් හැසිරුණත් ඔහුගේ පක්ෂය පසුගියදා පැවති මහමැතිවරණයෙන් පරාජය ලැබුවේය.

උගන්ඩාවෙ එහෙම වුණත්…

ලෝකයේ නූතන සේද මාවත නිර්මාණය කර ගැනීමේ චීන උපාය බවට පත් ව තිබෙන්නේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ගුවන් තොටුපොළ හෝ වරාය වැනි මර්මස්ථානයක් අලුතෙන් ඉදිකිරීමට හෝ පුළුල් කර සංවර්ධනය කිරීමට ණය ලබාදීමයි. Belt and Road Initiative යනුවෙන් චීන ජනපති ෂී ජින් පින් මෙය හඳුන්වා දී ඇත. ලොව පුරා භූමි භාගයන් අත්පත් කර ගනිමින් ෂී ජින් පින් මේ ගෙන යන කැත සෙල්ලම නිසා බොහෝ දෙනා ඔහුව සමාන කරන්නේ ‘නූතන ජෙංගීෂ් ඛාන්‘ ට ය.

චීනය විසින් ලොව පුරා ලබාදී තිබෙන ණය බැලූ බැල්මට 2% සිට 35% දක්වා ඉහළ වාර්ෂික පොලී අනුපාතිකයන්ට ලබාදෙන ණය වේ. අලුත් ව්‍යාපෘතිවලදී සිදුවන්නේ ඔවුන්ම යෝජනා කරන ව්‍යාපෘතිවලට රටවල් විසින් එකඟ වීමයි. කෙන්යාවේ මොම්බසා වරාය ඇපයට තබාගනිමිනන් ඔවුන් විසින් ණය ලබාගත්තේ ද චීනයේ රාජ්‍ය බැංකුවක් වන එක්සිම් බැංකුව හරහා ය.

සම්පූර්ණ කතාව මෙය වුණත්, ‘උගන්ඩාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ‘ යැයි සිතාගෙන හිත හදාගැනීමත් මේ කතාව තුළින් ලංකා වාසීන්ට තවමත් හැකියාව තිබේ. මොම්බසා වරාය, එන්ටැබේ ගුවන් තොටුපොළ හැරුණු විට ලංකාවේ අපම අපේම ‘දේශීය‘ උදාහරණ තිබේ. වී වේලන්නට යොදාගත් මත්තල ගුවන් තොටුපොළේ අපවාදය තවමත් අවසන් නැත. චීනයේ ස්වභාවය වන්නේ, ණය ගිවිසුම්වල යම් වෙනසක් කළ යුතු වේ නම් බේරුම්කරණ ක්‍රියාවලිය චීනය තුළදී සිදු කළ යුතු වීමයි. එහිදී භූ ගෝලීය වශයෙන් පවා ණය ගත් පාර්ශවයට කේවල් කිරීමේ බලය අහිමි වේ. හම්බන්තොට වරාය යනු ද මුලින්ම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කළ පුස් වෙඩිල්ලකි. එය එතැනින් නොනැවතේ. නෙලුම් කුලුන, අධිවේගයෙන් ඉදි වෙන අධිවේගී මාර්ග යනාදී වශයෙන් මේ ලැයිස්තුව එදත්-අදත් ඉතා දිගු ය.

චීනා මෝඩයා ද?

චීනයේ දේපළ වෙළඳාම් ආර්ථිකය දැනටමත් පවතින්නේ අතුරේ ය. අය කර ගත නොහැකි ණය සහ, ලොව පුරා අත්පත් කර ගත් බොල් දේපළවලින් චීනයේ විදේශ වත්කම් පත්‍රිකාව ඉක්මනින්ම පිරී යනු ඇත. උදාහරණයක් වශයෙන් China Evergrande Group නමැති චීනයේ ප්‍රකටම දේපළ වෙළඳාම් සමාගමක් මේ වන විට සිය බුන්වත් භාවය එනම් බංකොළොත් භාවය ප්‍රකාශයට පත් කර තිබේ. දේශීය දේපළ සමාගම්වලට ලබා දී ඇති අති මහත් බැංකු ණය නිසා චීනය සිය රට තුළ අස්ථාවර අංශයකට බඳු වෙමින් තිබේ. 2021 ඔක්තෝබරය වන විට චීනය පෙර මාසයට වඩා සිය රට තුළ යුවාන් බිලියන 50 ක ණය ලබාදී තිබිණි. එනම්, ඔවුන්ගේ දේපළ වෙළඳාම් අංශයේ බැංකු ණය ප්‍රමාණය යුවාන් බිලියන 150 සිට යුවාන් බිලියන 200 වැනි ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබේ. එනම් දළ වශයෙන් චීනයේ දේශීය දේපළ වෙළඳාම් බැංකු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 23.5 ක් වැනි ප්‍රමාණයකින් මාසයක් තුළ ඉහළ ගොස් තිබේ. මේ තත්වය තුළ ඔවුන්ට කළ හැකි එකම දෙය ලෙස විදේශ වත්කම්වලින් ණය පියවා ගැනීම වෙත ඔවුන් සීඝ්‍රයෙන් යොමු වනවා විය හැක.

අවසානයේ චීනයට මෙන්ම චීනයෙන් ණය ගත් රටවල්වලට ද දෙකෙන් එකක් නොව එක් දෙයක් පමණක් සිදුවනු ඇත. එක්කෝ, ලොව පුරා දුප්පත් රටවල් චීන කොලනි බවට පත් කර ගැනීමේ චීන ව්‍යායාමය උගන්ඩාව, සැම්බියාව හෝ ලංකාවේ හම්බන්තොට වැනි සාපේක්ෂව ‘මුඩු බිම්‘ රැසක් චීන පාලනයට නතු වීමෙන් අවසන් වනවා ඇත. ඒ හා සමගාමීව ණය බූවල්ලාගේ ග්‍රහණයට හසු වූ රටවල් දූෂණය සහ ණය බර තුළ ගිලී යනවා ඇත.

පෙර ලිපි

කෙන්යාවේ මොම්බසා වරාය චීනයට සින්න වෙන හැටි මෙන්න!

‘සිහින‘වලට ණය දෙන ලංකාව තවත් සැම්බියාවක් වේවිද?

චීන ණය මකරා සමග මහින්දගේ ආලිංගනය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි