×

දකුණු කොරියාවෙන් උතුරට ආර්ථික සැලැස්මක්

දකුණු කොරියාව විසින් උතුරු කොරියාව සඳහා නව ආර්ථික-සාම සැලසුමක් හඳුන්වා දෙයි. මෙය දකුණු කොරියාවේ ව්‍යාප්තවාදයේ ලක්ෂණයක් ලෙස ද ඇතැම්හු හඳුන්වති.


මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය බිරිඳ වන රී සොල් ජූ සමග උතුරු කොරියාවේ සිනුයිජු නුවර පිහිටා තිබෙන රූප ලාවණ්‍ය නිෂ්පාදනාගාරයක් නැරඹීමට ගිය අවස්ථාවයි.
Photo: AFP/KCNA via KNS

දකුණු කොරියාව විසින් උතුරු කොරියාව සහ සමස්ත ගිනිකොණ දිග ආසියාව සඳහා ආර්ථික සැලසුමක් හඳුන්වා දී තිබේ. එහි නම, “New Economic Map Initiative” ය. අන්තර් කොරියානු හුවමාරු හා සහයෝගිතාවයේ අධ්‍යක්ෂ ලී ජූ තේ විසින් දකුණු කොරියාවේ පසුගියදා පැවති ‘කොරියානු ගෝලීය සංසදයේදී“ එය හඳුන්වා දෙනු ලැබිණි.

මෙවැනි සැලසුමක් පිළිබඳ දෙරට අතර මුලින්ම කතා බහ ඇති වූයේ 2015 අගෝස්තු මාසයේ ය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ, එවකට දකුණු කොරියානු ජනාධිපති ව සිටි මූන් ජේ අතර මේ පිළිබඳ කතා බහක් ඇති වී තිබුණද, එය ක්‍රියාත්මක භාවයට මෙතෙක් පත් වී තිබුණේ නැත.

උතුරු කොරියාවේ ආර්ථික සංවර්ධනයට පමණක් නොව කොරියානු දෙරට අතර සමගිය සහ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සඳහා ද මෙමගින් තීරණාත්මක බලපෑමක් ඇති වන බව සැලකේ.

එම සැලසුමේ තේමාව වන්නේ ‘ආර්ථික ඒකාබද්ධකරණය‘යි. එහිදී දකුණු කොරියාවේ ආර්ථිකය යුරේසියාව දක්වා උතුරුකරයට ව්‍යාප්ත කෙරෙනු ඇත. දකුණු කොරියාවේ ව්‍යාප්තවාදයට නිදසුනක් වශයෙන් ඇතැමුන් මෙම සැලස්ම හඳුන්වා දී තිබුණද, මේ දෙස ධනාත්මක ව බලන අය මෙය හඳුන්වා දෙන්නේ කලාපීය ආර්ථික යෝධයන් වන චීනය, රුසියාව සහ ජපානයට ද බලපෑම් කළ හැකි සහ උතුරු දකුණු කොරියාව එක්සත් කළ හැකි නවතම බලවේගයක් ලෙස ය.

උතුරු දකුණු දේශසීමාවේ පවතින හුදෙකලා සහ සංවර්ධනය නොවූ හමුදා මුක්ත කලාපය ඉලක්ක කර ගනිමින් DMZ Peace Belt හෙවත් යුද මුක්ත කලාපයේ සාම කලාපය යනුවෙන් එක් අදියරක් ද මෙයට අන්තර්ගත ය. එහිදී කිලෝමීටර 4 ක් පළල, අසීරු සාමයක් සහිත මෙම කලාපය පාරිසරික, ආර්ථික සහ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් විවෘත කිරීමට නියමිත ය. උතුර සමග එක්සත් විය හැකි මං සොයාගැනීම සඳහා ම නිර්මාණය කර තිබෙන Ministry of Unification හෙවත් ‘ඒකාබද්ධතා අමාත්‍යාංශය‘ මේ සඳහා පෙරමුණ ගනියි.

උතුරු කොරියාව විසින් 1970 දශකයේ පසු සිය රටේ ආර්ථික දත්ත ලෝකයට නිරාවරණය කර නැත. ආසියානු පැසිෆික් අධ්‍යයනය පිළිබඳ රුසියානු ඇකඩමියේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ෆෙද්රොව්සි පසුගියදා පැවසුවේ උතුරු කොරියාවේ සැබෑ ජනගහනය සහ උතුරු කොරියාවේ නීතිය පිළිබඳ පවා ලෝකය නොදන්නා බවයි.

කෙසේ නමුත් මේ සැලසුම යටතේ දකුණු කොරියාව රුසියාව සමග සම්බන්ධ කරමින් නළ පද්ධති ඉදිකිරීමට ද, දුම්රිය මාර්ග ඉදිකිරීමට ද යෝජිත ය. ඒවා දිවෙනු ඇත්තේ උතුරු කොරියාව හරහා ය.

මේ අතර දකුණු කොරියාව විසින් මෙම ආර්ථික සැලසුම ක්‍රියාත්මක කිරීමේදී පූර්ව කොන්දේසිය ලෙසින් පනවා තිබෙන්නේ ද උතුරු කොරියාවේ න්‍යෂ්ටික නිරවිකරණයයි. ඒ යටතේ සියලුම මිසයිල පරීක්ෂා නතර කරන ලෙසත්, මිසයිල පරීක්ෂණ ක්ෂේත්‍ර විනාශ කරන ලෙසත් ඔවුහු අවධාරණය කරති.

‘සියවසේ ප්‍රාතිහාර්යය‘ යනුවෙන් ඇතැමුන් විසින් හැඳින්වූ උතුරු දකුණු කොරියානු සමුළුවේදී පසුගියදා ඇමරිකාව සහ උතුරු කොරියානු නායකයන් එළඹුණු අවබෝධතා ගිවිසුම තවමත් ක්‍රියාත්මක වන්නේ දැඩි දුෂ්කරතා මධ්‍යෙය් ය. න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින්ම අත්හරින තෙක් උතුරු කොරියාව සම්බන්ධයෙන් දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පවසන ඇමරිකාව හමුවේ, කොරියානු දෙරට දැන් කල්පනා කරමින් සිටින්නේ දෙරට අතර ස්ව ආර්ථික කලාපයක් නිර්මාණය කර ගැනීම පිළිබඳව ය. එය උතුරු කොරියාවේ සිර වී සිටින දකුණු කොරියානුවන් මෙන්ම දකුණේ සියරට බලා යාමට නොහැකිව ළතැවෙන, උතුරෙන් පළා ආ කොරියානුවන් හුවමාරු කරගන්නා කලාපයක් බවට පත්කිරීමට ද නියමිත ය.

පෙර ලිපි

හයිරංකාරයෝ අතට අත දෙති. – දුෂ්ඨයන් ශ්‍රේෂ්ඨයන් වන අසීරු මොහොත

ට්‍රම්ප් තීරණය වෙනස් කරයි. උතුරු කොරියාවට එරෙහි සම්බාධක යළිත්.

උ.කොරියාව වාර්ෂික ඇමරිකානු විරෝධි රැළිය නවතයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි