×

මානව හිමිකම් වල සිට ගල් යුගය දක්වා – ඇමරිකාව මීළඟට විදින්න යන්නේ සමරිසි විවාහයට ද?

සර්වබලධාරී දෙවියන් වහන්සේ (අවාසනාවට උන්වහන්සේ ද පිරිමියෙකි) පතන පරිදි කාන්තාවකට ඇගේ සිරුරට අයිතියක් නැත...


සර්වබලධාරී දෙවියන් වහන්සේ (අවාසනාවට උන්වහන්සේ ද පිරිමියෙකි) පතන පරිදි කාන්තාවකට ඇගේ සිරුරට අයිතියක් නැති අතර, මෙම සර්වබලධාරී දේව පැතුම ඉටු කරමින්, පනස් වසරක් පුරාවට එක්සත් ජනපදයේ ව්‍යවස්ථාපිතව ආරක්ෂා කර තිබූ කාන්තාවකට ගබ්සාවක් සිදුකර ගැනීමට ඇති අයිතිය එරට Roe v. Wade ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහිමි කරනු ලැබුවේ ඉකුත් සතියේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රකාරව කාන්තාවකට ගබ්සාවක් සිදුකර ගැනීමට අවස්ථාව ලබා නොදිය යුතු බව නිගමනය කරමින් බහුතර බලයෙන් බලාත්මක කළ මෙම නීතිය හරහා ලිංගික හා ප්‍රජනන අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් එක්සත් ජනපදය පුරාවටම පමණක් නොව ලොව නන් දෙස රාජ්‍ය නායකයන්ගෙන් පවා විරෝධය මතුවන්නට පටන් ගත්තේය.

වෙනකක් තබා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙම තීන්දුව දැඩි ලෙස හෙලා දැක්කේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී මිශෙල් බැචලේ මහත්මිය පවසා සිටියේ මෙය කාන්තාවන්ගේ මානව හිමිකම් සහ සමාජභාවී සමානාත්මතාවයට කරන විශාල පහර දීමක් බවයි. එමෙන්ම එම සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා පවසා සිටියේ ගබ්සාවට ප්‍රවේශය සීමා කිරීමෙන් මිනිසුන් ගබ්සාවට යාම වැළකෙන්නේ නැති බවත්, එය වඩාත් මාරාන්තික කරවන බවත් ය. Roe v. Wade ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව හෙලා දකිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගෙබ්‍රෙයෙසුස් මහතා පවසා තිබුණේ, කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන මෙම තීන්දුව පිළිබඳව තමා ඉතා කළකිරීමට පත්වන බවත්, ඇමරිකාව එවැනි අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇතැයි තමා බලා පොරොත්තු වන බවත් ය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවට තම සිරුර පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය අහිමි කරන සේම, එය එක්සත් ජනපද ඉහළ උසාවියේ ව්‍යසනකාරී තත්ත්වයක් පිළිඹිමු කරන බව ද ඇතැමුන් හඳුන්වනු දැකිය හැකි විය.

ඒ සියල්ල එසේ තිබිය දී, මෙම මානව විරෝධී සහ ම්ලේච්ඡ තීන්දුවෙන් පිනායන පිරිසක් ද එක්සත් ජනපදයේ සිටිනු දක්නට ලැබීම ඛේදවාචකයකි.

ඒ අන් කවරකු නොව රිපබ්ලිකන් මතධාරීන් ය.

ඊයේ (01) දින රොයිටර් පුවත් සේවය වාර්තා කළ අන්දමට, රිපබ්ලිකන් බලය හිමි ඔහයෝ ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම ගබ්සා තහනම සම්බන්ධයෙන් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් ඉල්ලුම් කරන ලද හදිසි අභියාචනයක් එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්ලෑන්ඩ් පේරන්ට්හුඩ් සංවිධානය ඇතුළු තවත් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් එම ප්‍රාන්තයේ ඉහළ අධිකරණයෙන් ඉල්ලා තිබුණේ මෙම තීන්දුව බලාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන මෙන් ය. එම ඉල්ලීම ඔහයෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් අතින් ආන්තීකරණයට ලක්වන ප්‍රධාන ප්‍රජාවක් වනුයේ LGBTIQ+ ප්‍රජාවයි. ගබ්සාවක් සිදු කර ගැනීම විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ට බෙහෙවින් වැදගත් වන කාරණයක් විය හැකිය. විශේෂයෙන් ම සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට තම සිරුර පිළිබඳව තීරණ ගැනීමට ඇති අයිතියේ ප්‍රමුඛ සාධකයක් වන්නේ ගබ්සාව සඳහා ඇති අයිතියයි.

හිටපු ඇමරිකානු ජනපති බැරැක් ඔබාමා විසින් සමස්ත එක්සත් ජනපදය පුරාවටම සමරිසි විවාහය නීත්‍යානුකූල කළේ 2016 දී ය. මීට දැඩි ලෙස උරණ වූ පාර්ශවය වූයේ රිපබ්ලිකන් පක්ෂයයි. 2016 න් පසු බලයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් රජය සමරිසි විවාහය ආපසු හැරවීමට තීන්දුවක් නොගත්ත ද LGBTIQ+ විරෝධී නීති රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. අඩු වයස් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් තහනම් කිරීම, අවතැන් වූ LGBTIQ+ පුද්ගලයන්ට අවශ්‍ය සේවා ලබා දීම කප්පාදු කිරීම, පාසල් තුළ LGBTIQ+ දරුවන්ට සමාන ක්‍රීඩා අවස්ථා අහිමි කිරීම, ආගමික විශ්වාස මත පවත්වා ගෙන යන සෞඛ්‍ය සේවාවන් සහ ව්‍යාපාර වලට LGBTIQ+ ප්‍රජාවට සේවා ලබා නොදී සිටීමට අවස්ථාව නීත්‍යානුකූල මට්ටමින් ම සලසා දීම, හමුදාවේ සිටින සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා ඉවත් කර දැමීම, පාසල් තුළ LGBTIQ+ අධ්‍යාපනය තහනම් කිරීම, සහ ඉතාම ආන්දෝලනාත්මක අන්දමින් පාසල් වල සිටින LGBTIQ+ දරුවන්ට ඔවුන්ගේ අනන්‍යතා බලෙන් එළියට දම්මවන නීතියක් සම්මත කිරීම ආදිය මේ අතර වේ. 2021 දී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් රජය පරාජයට පත්වූව ද, රිපබ්ලිකන් බලය හිමි ඇතැම් ප්‍රාන්ත වල ඔහු විසින් ඉතිරිකර ගිය මෙම අභාෂය තවමත් සොල්මන් කරමින් සිටී.

උක්ත කාන්තාවන්ගේ (සහ අභ්‍යන්තර ස්ත්‍රී-ප්‍රජනන පද්ධති හිමි පුද්ගලයන්ගේ) ගබ්සා කිරීමේ අයිතිය තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිය ආපහු හැරවීමට එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් තමාට හැකි සියලු දේ කරන බව පවසා තිබේ. එසේ තිබිය දී, මෙම මානව විරෝධී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හිස් මුදුනින් වැළඳගන්නා රිපබ්ලිකන් බලය හිමි සෙනෙට් සභිකයන් රජයට පහර දීමට මෙම කරුණ යොදාගනිමින් තිබේ.

මේ වන විට එක්සත් ජනපදයේ ප්‍රාන්ත 26 ක් මෙම ගබ්සා තහනම ක්‍රියාවට නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගබ්සා තහනමෙන් පිනාගිය ටෙක්සාසයේ රිපබ්ලිකන් නීතිපති කෙන් පැක්ස්ටන් උජාරුවෙන් කියා සිටියේ අපේ නම් ගබ්සාව නීති විරෝධී බවය.

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල වර්තමාන ස්වභාවය ගත්කළ බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන්නේ රිපබ්ලිකන් යනු කතාන්දරයේ දුෂ්ඨයා බවයි. නමුත් රිපබ්ලිකන් පක්ෂයේ අතීතය සලකා බැලුවහොත් ඒබ්‍රහම් ලින්කන් වැනි ශ්‍රේෂ්ඨ නායකයන් එම පක්ෂය නියෝජනය කර තිබේ. අවාසනාවකට ඇමරිකාවේ සෑම පසුගාමී, ගතානුගතික, අන්ත දක්ෂිණාංශික, ස්ත්‍රී විරෝධී, සමලිංගිකභීතික, විසකුරු පිරිමිකම රජයන, වර්ගවාදී සහ මානව විරෝධී තීන්දුවක්ම පාහේ ගෙන තිබෙන්නේ රිපබ්ලිකන් බලපෑම මත ය.

මේ යන අන්දමට නුදුරු දිනයක දී එක්සත් ජනපදයේ සමරිසි පුද්ගලයන්ට විවාහ වීම සඳහා ඇති අයිතිය ද අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා උදුරා ගැනුනොත් අප පුදුම නොවිය යුතු ය. විවාහ සමානාත්මතාවය ට එදිරි වීමේ රතු එළි දැනටමත් අතරින් පතර මතුවීමට පටන්ගෙන තිබේ. ඒ මෙම ගබ්සා තහනමට අත එසවූ විනිසුරුවරයකු වන ක්ලැරන්ස් තෝමස් වරක විවාහ සමානාත්මතාවය වැරදි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන පසුබිමක ය.

ඒ අනුව සමරිසි ප්‍රජාවට මෙහිදී පැවරෙන වගකීමක් තිබේ. ගබ්සා තහනම සමරිසි යුවළයකට එතරම් නොදැනෙන කරුණක් විය හැකිය. නමුත් සමස්ත LGBTIQ+ ප්‍රජාවට ගබ්සා තහනම සෘජුවම බලපායි. එබැවින් මෙම ගබ්සා තහනමට එරෙහිව ගොඩනැඟෙන සමාජ විරෝධය තුළ සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ හඬ අනිවාර්යයෙන් ම තිබිය යුතු ය. ජූනි – ජූලි කාලසීමාව තුළ ඔබ විසින් සමරනු ලබන අභිමානයට සැබෑ අරුතක් එක්කිරීමට සුදුසුම අවස්ථාව මෙයයි.

Roe v. wade පනතට පක්ෂව බයිඩන් අත ඔසවයි.

ගැහැණිය නැවතත් ගල් යුගයට ගෙන ගිය ඇමරිකානු නඩු තීන්දුවට එරෙහිව දසතින් විරෝධය

ගැහැණියගේ සිරුරේ අයිතිය ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය උදුරා ගනියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි