×

ආපදාවට ලක්වූවන් වෙනුවෙන් ෂේන් වෝන් සිය ටෙස්ට් කැප් තොප්පිය වෙන්දේසි කරයි

ඕස්ට්‍රේලියානු වැසියන් විපතට පත්වූ තම සහෝදර ජනතාව වෙනුවෙන් ආධාර රැස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ඒ අතරින් ලෝකයේම අවධානය දිනා‍ ගැනීමට සමත් වී ඇත්තේ හිටපු ඕස්ට්‍රේලියානු දඟපන්දු ශූර ෂේන් වෝන්ය.


මේ දිනවල ලෝකයේ බොහෝ දෙනා‍ගේ අවධානය යොමුව ඇත්තේ ඕස්ට්‍රේලියාව දෙසටයි. ඒ එරට තුළ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙනි.

ලෝක වනජීවී අරමුදලේ ඕස්ට්‍රේලියානු නියෝජිතයන් ප්‍රකාශ කළේ මේ වනවිට මෙම ලැව්ගිනි හේතුවෙන් වන ජීවීන් බිලියනයකට වැඩි පිරිසක්වත් මියගොස් තිබෙන බවයි. ක්ෂීරපායීන්, පක්ෂීන්, උරගයන්, වවුලන්, මැඩියන් සහ කෘමීන් යන සියලුම ජීවී කාණ්ඩ මේ අතර වන බව ද සඳහන් වේ.

හෙක්ටයාර මිලියන 05 කට අධික බිම් ප්‍රමාණයක් මේ වනවිට ගිනිබත් වී ඇති අතර ඇතැම් ස්ථානවල අඩි 200 ක් තරම් උසට ලැව්ගිනි පැතිර යන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඕස්ට්‍රේලියානු වැසියන් විපතට පත්වූ තම සහෝදර ජනතාව වෙනුවෙන් ආධාර රැස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ඒ අතරින් ලෝකයේම අවධානය දිනා‍ ගැනීමට සමත් වී ඇත්තේ හිටපු ඕස්ට්‍රේලියානු දඟපන්දු ශූර ෂේන් වෝන්ය.

ෂේන් වෝන් සිය ටෙස්ට් හිස් වැස්ම (Green Baggy) මහජන වෙන්දේසිය සඳහා තබා තිබෙනවා. එම වෙන්දේසියෙන් ලැබෙන සියලු මුදල් විපතට පත්වූවන් වෙනුවෙන් වෙන් කිරීමටයි නියමිතව තිබෙන්නේ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 145 ක් ක්‍රීඩා කළ වෝන් එම තරගවලදී පැළඳ සිටියේ මෙම කැප් තොප්පියයි. ලොව ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකු සිය රට වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් හෝ වෙනුවෙන් මෙම කැප් තොප්පිය පැළඳීම ගෞරවයක් ලෙස සලකන අතර එම කැප් තොප්පිය සිය ජීවිතයේ වටිනාම මතක සටහනක් ලෙස සලකයි.

ඒ අනුව ෂේන් වෝන් තරග 145 කදී පැළඳ සිටි සිය ටෙස්ට් හිස් වැස්ම මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීම පැසසිය යුත්තකි.

මෙම වෙන්දේසිය දැනටමත් ආරම්භ කර තිබෙන අතර ලොව ඕනෑම පුද්ගලයෙකුට ඒ සඳහා ලංසු තැබිය හැකිය. ලංසු තැබීම ජනවාරි 10 වැනිදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 10 ට අවසන් කිරීඉට නියමිතය.

මේ වනවිට ෂේන් වෝන්ගේ ටෙස්ට් හිස් වැස්ම සඳහා ඇමරිකානු ඩොලර් 302,500 ක ලංසුවක් ලැබී තිබේ.

ලංසු තැබීම පිළිබඳ විස්තර මෙතැනින්……

උපුල් නිශාන්ත – ලංකා නිව්ස් වෙබ් වෙතිනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි