×

තට්ටු දෙකක් තරම් උස, සන්නිවේදන කුලුනු සහ රේල් පීලි මුලින් උදුරා දැමීමට සමත් – බෙංගාල බොක්කේ බිහිසුණුම සුළි කුණාටුව ඉන්දියාවට කඩා වදියි

Super cyclone Amphan - අද දහවල් ‘අම්ෆාන්‘ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවැදුණේය.


බෙංගාල බොක්කේ වසර 20 ක කාලය තුළ හටගත් විශාලතම සුළි කුණාටුව ලෙස එය සැලකේ. එය අයත් වන්නේ Super cyclone – සුපිරි සුළි කුණාටු ගණයට ය.

මෙහි වේගය පැයට කිලෝමීටර 190 කට අධික විය හැකිය.

බටහිර බෙංගාලයේ සුන්දර්බාන්ස් වෙත මේ වන විට එය කඩා වැදී තිබේ.

කල්කටාවේදී මෙහි වේගය පැයට කිලෝමීටර 120ක් පමණ වනු ඇත.

අනතුරුව බටහිර බෙංගාල- බංග්ලාදේශ වෙරළ තීරය අතරින් හමා යනු ඇත. වෙරළ තීරවල ජල මට්ටම් ද ඉහළ ගොස් ඇති අතර, බංග්ලාදේශය බලා යන විට එහි වේගය පැයට කිලෝමීටර 185 ක් පමණ විය.

බංග්ලාදේශයේ හටියා නමැති දූපත වෙත මෙම සුළි සුළඟ බංග්ලාදේශය තුළදී මුලින්ම කඩා වැදිණි. බංග්ලාදේශයෙන් ද මේ වන විට එක් මරණයක් වාර්තා වේ.

අම්ෆාන් කඩාවැදීමට පෙර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ මිලියන 2.6 ක ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කරයි. සුන්දර්බාන් හි දුප්පත් ධීවර ජනතාව මෙන්ම මියැන්මාරයේ සිට බංග්ලාදේශයට ජීවිත අයිතිය පතා පළා ආ, මේ වන විට කොක්සස් බසාර් වැනි ජනාකීර්ණ කඳවුරුවල සිටින රොහින්ග්යා ජනතාව දස දහස් ගණනක් ද මේ අතර සිටිති.

කෙසේ නමුත් අවම වශයෙන් 46,000 ක පමණ පිරිසක් දැඩි අවදානම් තත්වයක තවමත් පසුවෙති.

මේ අතර ඉන්දියාවේ කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පවසන්නේ ඉදිරි පැය 24 අතිශයින් තීරණාත්මක බවයි.

මෙම සුළි කුණාටුව තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් තරම් උස විය හැකි බවටත් (අඩි 10-16 අතර), වෙරළතීරයේ පිහිටා තිබෙන කුඩා පැල්පත් පමණක් නොව, සන්නිවේදන කුලුනු සහ රේල් පීලි පවා මුලින්ම ගළවා දමන්නට එය සමත් වනු ඇති බවටත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රකාශ කරයි.

පෙර ලිපිය – බෙංගාල බොක්කේ දරුණු සුළි සුළඟක් වර්ධනය වෙයි

බෙංගාල බොක්කේ දරුණු සුළි සුළඟක් වර්ධනය වෙයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි