×

හේතුවක් නැතිව ම ඔවුහු අප හැර ගියහ – නූතන ලෝකයේ අබිරහස් – 8

හය වන මහා ජීවී වඳවීම මේ වන විට පෘථිවිය මත සිදුවෙමින් තිබේ.


කලින් කලට පෘථිවියෙන් ජීවීන් විශේෂ විශාල වශයෙන් වඳ වී යාම බව සමහර විට ඔබ නොදන්නවා ඇත. මේ වනවිටත් පෘථිවිය මත ජීවී විශේෂ වඳයමින් පවතින බව විද්‍යාඥයෝ පවසති. ඔවුන් පෙන්වා දෙන අන්දමට පෘථිවිය මත සිදුවන මේ වනවිට සිදුවෙමින් පවතින්නේ සය වැනි ජීවී වඳ වී යෑමයි. ඒ බැව් අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ මෙක්සිකෝ සිටි විශ්වවිද්‍යාලයේ විද්වත්හු පිරිසක් පසුගිය වසරේදී නිශ්චිතවම පෙන්වා දුන්හ. ඔවුන් පෙන්වා දෙන අන්දමට සත්ත්ව විශේෂ දහස් ගණනක් සදහටම මහා පොළොව මතින් අතුගෑවී යෑමේ ක්‍රියාවලිය සෑම මොහොතකම මේ මිහිමත දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. පසුගිය වසර 100ක කාලයේදී වඳ වී ගිය සත්ත්ව විශේෂ ප්‍රමාණය සලකා බලන විට වසරකට පෘෂ්ඨවංශික ජීවී විශේෂ දෙකක් පමණවත් වැනසී ගිය බව තහවුරුව ඇතැයි කියා විද්‍යාඥයෝ පවසති. එමෙන්ම පෘථිවිය මත වාසය කරන ජීවී ගහනවලින් තුනෙන් එකක පමණ ජීවීන් සංඛ්‍යාව අඛණ්ඩවම පහළ වැටීමේ අවදානම් සහගත තත්ත්වයකුත් මතුව තිබේ. මේ විපත්තිදායක තත්ත්වය මෙවර සිදුවෙමි පවතින්නේ මිනිසාගේ ක්‍රියාකාරීත්වයන් නිසා බව සනාතව ඇත. එකී කාරණය සැලකිල්ලට ගත්විට මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුවන පළමු ජීවී වඳ වී යෑම මෙයයැයි කියා කියන්නටත් පුළුවන. එනිසා සයවන ජීවී සංහාරය හරහා ජීවී පරිණාමයට මිනිසාගෙන් බලපෑම් එල්ලවෙමින් තිබෙන බව කිවහොත් එයද අසත්‍යයක් නොවේ.

දැනට සිදුවෙමින් පවතින්නේ හයවන ජීවී වඳ වී යෑම නම් මෙයට පෙර අවස්ථා පහකදී ජීවී වඳ වී යෑම් සිදුව ඇති බැව් පිළිගන්නට අපට සිදු වෙයි. සත්‍ය වශයෙන්ම කිවහොත් ජීවී වඳ වී යෑම් පහකට වඩා වැඩි සංඛ්‍යාවක් පෘථිවිය මත මින් පෙර සිදුව ඇත. එසේ වුවත් ඒ අතර මහා පරිමාණ ජීවී වඳ වී යෑම් මට්ටමෙහි තිබෙන්නේ පහක් පමණ බව විද්‍යාඥයෝ වෙසෙසින් පෙන්වා දෙති. එකී ජීවී වඳ වී යෑම් පහට අමතරව සිදුව ඇති අනෙක් ජීවී වඳ වී යෑම් සුළු පරිමාණ ඒවාය. ඒ නිසා මහා පරිමාණ ඒවාට සාපේක්ෂව ඒවා ගැණිය නොහැකි තරම් බව සඳහන් වේ. දැනට ක්‍රියාත්මක හයවන ජීවී වඳ වී යෑම සිදුවන්නේ මිනිසාගේ මැදිහත් වීමෙන් නම් අනෙක් අවස්ථා පහෙහිදී ජීවීන් වඳ වුණේ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නොවේදැයි කියාත් කෙනෙකුට තර්ක කරන්නට පුළුවන. මින් පෙර සිදු වූ ජීවී වඳ වී යෑම් පහ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිදුවුණු බව සැබැවි. එයට හේතුව ඒ සෑම එකක්ම සිදුව තිබෙන්නේ මිනිසා පෘථිවිය මත පහළ වන්නට පළමුව වීමයි. එහෙත් ඒවා සිදුවුණ ආකාරය තවමත් අබිරහසකි. පුදුමය එයයි.

මහා පරිමාණ වශයෙන් පළමු වරට සිදුවුණු ජීවී වඳ වී යෑම ඔඩොවිෂියන් – සිලුරියන් ජීවී වඳ වී යෑම ලෙස හැඳින් වේ.

Ordovician-Silurian mass extinction

Anglian ice sheet

මෙය, ජීවී සංහාරයන් දෙකක් ලෙස සිදුවී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එම ජීවී වඳ වී යෑම් සිදුව තිබෙන්නේ ඔඩොවිෂියන් අවධියේ අග භාගයේදීය. එනම් මෙයට වසර මිලියන 443.8කට පමණ ඉහතදී බව අනාවරණය වී ඇත. සමස්තයක් ලෙස ගත් කළ මිහිමත ජීවත් වූ ජීවී විශේෂවලින් 60%ත් 70%ත් අතර ප්‍රමාණයක් ඔඩොවිෂියන් – සිලුරියන් ජීවී වඳ වී යෑම්වලින් විනාශ විණ. එමඟින් වැඩිම බලපෑමක් එල්ල වුණේ සාගරවල ජීවත් වුණු ජීවීන්ටයි. සාගරවල විසූ ජීවී විශේෂවලින් 85%ක් පමණ වැනසී ගිය බව දැක්වේ. මේ සා මහා විනාශයක් සිදු කළ ඔඩොවිෂියන් – සිලුරියන් ජීවී වඳ වී යෑම් දෙකට හේතු මොනවාද යන්න තවමත් පැහැදිලි නැත. මේ කාලයේදී, දක්ෂිණාර්ධ ගෝලයේ ඇතිවුණු දැවැන්ත හිම තලාවක් හේතුවෙන් කාලගුණ විපර්යාස ඇති වී සාගරවල රසායනිකය වෙනස් වූ බව ඇතැම් විද්‍යාඥයන්ගේ නිගමනයයි. එය ජීවීන්ගේ නැසී යෑමට හේතුවක් වූ බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති. ගැමා කිරණ නිපාතයක් නිසා හෝ ගිනි කඳු පිපිරී යෑමක් නිසා හෝ විෂ ලෝහයක් සාගර ජලයේ දියවීමෙන් හෝ මෙම ජීවී සංහාරය සිදුවුණු බව පැහැදිලි කරන්නට තවත් සමහර විද්‍යාඥයෝ නැඹුරු වෙති. මෙයින් පෙනෙන්නේ ඔඩොවිෂියන් – සිලුරියන් ජීවී සංහාරය සිදුවන්නට නිශ්චිත හේතුව හෝ හේතු හෝ ඉදිරිපත් කරන්නට විද්වතුන් මේ වනවිටත් සමත්ව නැති බව නොවේ ද?.

ඩෙවෝනියන් අවධියේ අග භාගයේදී සිදු වූයේ යැයි කියා විද්‍යාඥයන් පවසන්නේ දෙවන ජීවී සංහාරයයි.

Late Devonian mass extinction

Late Devonian landscape. Artwork of wetland plants, and fumaroles during the ate Devonian Period (385 to 360 million years ago). The plants shown here include club mosses such as Aglaophyton. Bacterial mats (orange) surround the hot pools. A large millipede is at lower right.

එය සිදුව තිබෙන්නේ මෙයට වසර මිලියන 375ත් – 359ත් අතර කාලයේදීය. එකල පෘථිවිය මත වාසය කළ ජීවී විශේෂවලින් 70%කට අධික ප්‍රමාණයක් මේ වැනසීයෑමට ලක් වූණු බව විද්‍යාඥයෝ පවසති. ඩෙවෝනියන් අවධියේ අග භාගයේදී සිදු වූ මෙම ජීවීන් වඳ වී යෑම වසර මිලියන 20කට ආසන්න කාලයක් පුරා පැවැති බවට සාක්ෂි ඇත. එපමණ කාලයක් මුළුල්ලේ සත්ත්ව වඳ වී යෑම් සිදුවුණේ කෙසේද යන්න ගැන විද්‍යාඥයන් අතර විවිධ තර්ක තිබේ. සමහරුන් පවසන්නේ ප්‍රධාන වඳ වී යෑම් දෙකකින් මෙය සිදු වුණේ යැයි කියාය. කුඩා පරිමාණයේ වඳ වී යෑම් මාලාවක් ඊට ඇතුළත් යැයි කියා පවසන විද්‍යාඥයෝ පිරිසක් ද වෙති. කෙසේ වුවත් මේ ජීවී වඳ වී යෑමට බලපෑ හේතුව ගැනත් අද වනතුරු නිශ්චිත පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්නට විද්‍යාඥයෝ අපොහොසත්ව සිටිති. ඒ නිසා විවිධ විද්වත්හු විවිධ මත ඉදිරිපත් කරති. කාලගුණ විපර්යාස, ගිනි කඳු පිපිරීමක් මෙන්ම ධූම කේතුවක හෝ වෙනත් ග්‍රහ වස්තුවක හෝ බලපෑම නිසා එම ජීවී සංහාරයත් සිදු වන්නට ඇතැයි කියා විද්‍යාඥයෝ අනුමාන කරති. එයින් ගම්‍යය වන්නේ ඩෙවෝනියන් ජීවී සංහාරයටත් හේතුවක් නැති බවය.

පර්මියන් අවධියේ අග භාගයේදී සිදු වුණු පර්මියන් – ට්‍රයසික් ජීවී වැනැසී යෑම පෘථිවිය මත සිදු වුණේයැයි කියන මහා වැනැසීමයි.

Permian mass extinction

Early Earth. Computer artwork of volcanic eruptions and meteorites falling on a young Earth during its formation. The Moon is seen in the sky, glowing as it is also impacted by meteorites. At this stage, the surface of the Earth was mostly volcanic. The meteorites are seen as bright tracks as they burn up in Earth’s primitive atmosphere. The Earth and the Moon are thought to have formed around 4.6 billion years ago from the accretion of rocks and dust, followed by the later collision of two protoplanets.

එය සිදුව තිබෙන්නේ මෙයට වසර මිලියන 252කට පමණ ඉහතදීය. මුහුදු ජීවී විශේෂවලින් 96%කුත් ගොඩබිම ජීවත් වුණු විශේෂවලින් 70%කුත් එම වැනසී යෑමට හසුව තිබිණ. ඒ අනුව එවකට පෘථිවිය මත විසූ සමස්ත ජීවී විශේෂවලින් 90% – 97% අතර ප්‍රමාණයක් අතුරුදන් වූ බව සනාතව ඇත. එම ජීවි සංහාරයට වුව හේතු වූ කාරණය හෝ කාරණා හෝ දැක්වීම අදටත් අසීරු වී තිබේ. ගිනි කඳු පිපිරීමක් හෝ මුහුදේ ජල මට්ටම වෙනස් වීම නිසා හෝ ජීවී නැසීයෑම සිදුවන්නට ඇතැයි කියා මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ඇතැම් විද්‍යාඥයෝ පවසති. පෘථිවියෙහි එකල ක්‍රියාත්මක වෙමින් පැවැති කාබන් චක්‍රයේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් තවත් සමහර විද්‍යාඥයන් පවසන්නේ මුහුදු පතුලේ සිට මීතේන් වායුව නිදහස් වීමක් හදිසියේම සිදුවන්නට ඇති බවකි. එයින් ඇතිවුණු බලපෑම ජීවී විශේෂ විනාශ වී යන්නට භේතුවක් වූයේ යැයි එම විද්‍යාඥයෝ තර්ක කරති.

ට්‍රයසික් අවධියේ අග භාගයේදී සිදුවුණු ජීවී නැස්මත්, ජීවී පරිණාමයේ ඉතා වැදගත් අවස්ථාවක් සේ සැලකේ.

Triassic-Jurassic mass extinction

An artist’s impression of a Triassic landscape. This period extended from 225 to 195 million years ago, and its advent signalled the start of a rapid advance in vertebrate and plant life.

මෙය හැඳින්වෙන්නේ ට්‍රයසික් – ජුරාසික් ජීවි වඳ වී යෑම වශයෙනි. එය සිදුව තිබෙන්නේ මෙයට වසර මිලියන 201කට පමණ ඉහතදී බව විද්‍යාඥයෝ පවසති. ගොඩබිම සහ සාගරවල ජීවත් වුණු ජීවී විශේෂවලින් 70%ත් 75%ත් අතර ප්‍රමාණයක් මෙයින් වැනසී ගියේය. ඩයිනොසෝරයන් දැකිය හැකි වන්නේ ද ට්‍රයසික් අවධියේ මුල භාගයේදී ය. එසේ වුවත් ඔවුන් එකී ජීවී නැස්මේදී වැනසී යන බවක් පළ නොවේ. මේ වැනසීයාමට ජීවීන් ලක් වුණේ කවර හේතුවක් නිසාද යන්න ගැනත් නිශ්චිත නිගමනයක් තවමත් නැත. ට්‍රයසික් – ජුරාසික් ජීවී වඳ වී යෑමට හේතු හැටියට ඉදිරිපත් කෙරෙන්ණේත් පෙර අවස්ථා සඳහා ඉදිරිපත් කරන ලද හේතුම බව සඳහන් කළයුතුය.

ට්‍රයසික් – ජුරාසික් ජීවි වඳ වී යෑමේදී නොනැසී සිටියද ක්‍රිටේෂියස් අවධියේ අග භාගයේදී ඇතිවුණු සත්ත්ව වැනසීයාමට ඔරොත්තු දී සිටීමට ඩයිනොසෝරයන්ට නොහැකි විණ. එනිසා එකී ක්‍රිටේෂියස් – පැලියොජිනේ ජීවී නැස්මත් සමඟ ඔවුහූ නැසී ගියෝය.

Cretaceous-Tertiary mass extinction

Extinction of the dinosaurs. Artwork of flying reptiles near the point of impact of a large asteroid. This asteroid is impacting the Earth’s atmosphere at a speed of several kilometres per second. It is is some ten kilometres across. An event like this is thought to have caused the extinction of the dinosaurs 65
million years ago. The asteroid hit the ocean, sending tsunamis (massive waves) around the globe, destroying coastal areas. Water vapour thrown into the atmosphere lowered global temperatures. Plant and then animal life began to die off. The dinosaurs never recovered, and mammals rose to become the dominant form of life.

ක්‍රිටේෂියස් – පැලියොජිනේ සත්ත්ව සංහාරය සිදු වුණේ මෙයට වසර මිලියන 66කට පමණ ඉහතදී බව අනාවරණය වී ඇත. මිහිමත පැවැති ජීවී විශේෂවලින් 75%කට ආසන්න ප්‍රමාණයක් එවර නැසී ගිය බව විද්‍යාඥයෝ පවසති. අවසන් වරට මිහිමත සිදුවුණු මහා පරිමාණ ජීවී වඳ වී යෑම මෙය වුවත් එය සිදුවුණු ආකාරය ගැන පැහැදිලි නිගමනයක් විද්‍යාඥයන් අතර තවමත් නැත.

වසර මිලියන ගණනක් තිස්සේ කලින් කලට පෘථිවිය මත ක්‍රියාත්මක වුණු ජීවී වඳවී යෑම් කවර හේතුවක් නිසා සිදු වීද යන්න තවමත් අනාවරණය කරගත නොහැකිව තිබෙන බව මෙයින් පැහැදිලි වේ. එසේ වුවත් එම ජීවි වඳ වී යෑම්වලින් විනාශයට පත් නොවුණු ජීවී විශේෂත් සිටි බවට සාක්ෂි ඇත. ඔවුන් එලෙස රැකුණේ කවර කාරණයක් නිසාද ගැනත් කරුණු හෙළි කර ගත යුතුව තිබේ. ඒ අනුව බලන විට පෘථිවිය මත සිදුවුණු ජීවී සංහාරයන් සියල්ලම අබිරහස් බව කිව හැකිය. හය වැනි ජීවී වඳ වී යෑම ඊට වඩා වෙනස් වන්නේ කෙසේද? යන්න ගැන විද්‍යාඥයෝ දැන් අවධානයෙන් පසුවෙති.

නූතන ලෝකයේ නොවිසඳුණු අබිරහස් මාලාව – පෙර ලිපි මෙතැනින් කියවන්න..

07 – අපි නොදන්න ඩ්‍රැකියුලා

06- මළවුන්ගෙන් සල්ලි ගරන ශීතල ආශාව

05- සයිබීරියාවේ තුන්ගුස්කා අබිරහස

04 – පෝලන්තයේ කුදු ගැසුණු පයින් වනයේ අබිරහස

03 – පෙරුම් පිරුවත් යන්න බැරි ‘ක්ලබ් තර්ටි ත්‍රී‘

02- කවදාවත් විවෘත කරන්න බැරි – කොරියාවේ අද්භූත හෝටලය

01- කසකස්ථානයේ නිද්‍රා නිම්නයේ අබිරහස

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි