×

ISIS-K සංවිධානයට ඇමරිකාවෙන් ප්‍රතිප්‍රහාරයක්- කාබුල් ප්‍රහාරයේ මරණ ගණන 170 ඉක්මවයි

සිකුරාදා දිනයේ කාබුල් ගුවන්තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාරයක් වශයෙන් ඇමරිකානු හමුදාව විසින් ISIS-K බලකොටුව සේ සැලකෙන නන්ගහාර් පළාතට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.


මෙම ප්‍රහාරය එල්ල කරන ලෙසට ඇමරිකානු ජනපති ජෝ බයිඩන් නියෝග කර තිබේ.

මෙම ප්‍රහාරය ස්වයංක්‍රීය ව එනම් මිනිස් දායකත්වයෙන් තොරව (unmanned airstrike) එල්ල කළ එකක් බව ද සඳහන්.

එහි ඉලක්කය වී තිබෙන්නේ එක් ISIS-K සටන්කාමියෙක් වන අතර, ප්‍රහාරයෙන් ඔහු මරණයට පත් වූ බව ද වාර්තා වේ.

ISIS-K හෙවත් ක්‍රෝරසාන් හි ඉස්ලාමීය රාජ්‍යයේ සාමාජිකයන් 2000කට අධික පිරිසක් සිටින බව සැලකේ. ඔවුන් විසින් පසුගියදා සිර ගෙයකින් අයි එස් සහ අල් කයිඩා සිරකරුවන් නිදහස් කර තිබෙන අතර, ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණු කළ අය බව ද කියැවේ.

මිය ගිය සංඛ්‍යාව 170කට අධිකයි

මේ වන විට එම ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 170කට අධික බව සොයාගෙන ඇත. 200 කට අධික පිරිසක් තුවාල ලබා සිටිති.

ඇමරිකානු භටයන් 13 දෙනෙක් ද ප්‍රහාරයෙන් මරණයට පත් වූහ.

ගළවා ගැනීමේ මෙහෙයුම අවසන් අදියරේ

මේ වන විට කාබුල් ගුවන් තොටුපොළේ සිට 110,000 කට අධික පිරිසක් මුදාගෙන තිබේ. ගතවූ පැය 12 ඇතුළත 7,500 ක් දෙනා ගෙන ගිය බව ඇමරිකාව පවසයි.

එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, ඉතාලිය ඇතුළු බටහිර රටවල් ගණනාවක් මෙම මුදා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටිති.

මේ අතර, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ස්වීඩනය, බෙල්ජියම, නෙදර්ලන්තය, පෝලන්තය, තුර්කිය සහ ස්පාඤ්ඤය සිකුරාදා දිනයෙන් පසු ගළවා ගැනීමේ මෙහෙයුම්වලින් ඉවත් විය.

අගෝස්තු 31 වැනිදා වන විට මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබේ. අගෝස්තු 31 දායින් පසුව ද, අවසන් ඇමරිකානු ජාතිකයාත් රටෙන් ඉවත් කර ගන්නා තෙක් ගළවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව බයිඩන් කලින් පවසා තිබුණත්, කාබුල් ගුවන්තොටුපොළ වෙත එල්ල වූ මාරක බෝම්බයෙන් පසු තත්වය වෙනස් වන බවක් පෙනෙන්නට තිබේ.

ඇමරිකාවටත් තර්ජන

මෙම සිදුවීම් දාමයෙන් පසු US Department of Homeland Security (DHS) හෙවත් ඇමරිකාවේ ස්වදේශීය ආරක්ෂාව භාර දෙපර්තමේන්තුව පවසන්නේ ඇමරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවයි. ඉස්ලාමීය රාජ්‍ය භටයන් සමග සම්බන්ධතා පවත්වාගන්නා ඇෆ්ගන් ජාතිකයන් වෙනත් රටවලට ළඟා වී ඇති බවත්, ඇමරිකාව ඔවුන්ගේ ඉලක්කය බවට පත් ව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. මේ අනුව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ නව තර්ජනයකට ද ඇමරිකාවට මුහුණ දෙන්නට සිදුව තිබේ.

පෙර ලිපි

තලෙයිබානයත් දණ ගැස්වූ – කවුද මේ ISIS-K..?

‘‘පළිගන්නවා – දඩයම් කරනවා..‘‘ ජෝ බයිඩන්ගෙන් වියරු ප්‍රතිඥාවක් !



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි