×

දහස් ගණනකගේ ජීවිත අවදානම් – කාබුල් ගුවන් තොටුපොළේ IS ප්‍රහාරය පිළිබඳ අවදානම ‘දරුණු‘ අතට

පුද්ගලයන් දහස් ගණනක් රැඳී සිටිනා ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපොළ ක්ෂේත්‍රයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ගැන ප්‍රකාශයට පත් කර තිබේ.


ඒ අනුව එහි රැස්ව සිටින පිරිස්වලට වහාම ඉවත් වන ලෙසට නියෝග කර ඇත.

එක්සත් රාජධානියේ සන්නද්ධ හමුදා භාර අමාත්‍ය ජේම්ස් හීපි BBC පුවත් සේවය අමතා පැවසුවේ මෙම තර්ජනය ‘දරුණු‘ එකක් වන බවයි.

ඉස්ලාමීය භටයන්ගෙන් එල්ල වන ප්‍රහාරයක් යන්නට වඩා වැඩි විස්තරයක් මේ දක්වා කිසිදු පාර්ශවයක් විසින් ප්‍රකාශයට පත් කර නැත.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට ගුවන් තොටුපොළේ ඇමරිකානු ජාතිකයෝ 1,500 ක් පමණ රැඳී සිටිති.

80,000 ක පමණ පිරිසක් මේ වන විට රටෙන් පිටතට ගෙන ගොස් ඇත.

10,000 කට වඩා වැඩි පිරිසක් ගුවන් තොටුපොළ භූමියේ රැඳී සිටිති.

දෝහා ගිවිසුම අනුව අගෝස්තු 31 වනවිට ඇමරිකානු හමුදාව කාබුල් ගුවන් තොටුපොළෙන් ද ඉවත් විය යුතුය. මේ වන විට ඇමරිකානු පාලනයක් පවතින්නේ ඒ තුළ පමණි.

අගෝස්තු 31 දාට පසුවත් තමන්ට කාබුල් ගුවන්තොටුපොළ අවශ්‍ය යැයි ඇමරිකාව හා බ්‍රිතාන්‍යය කියා තිබේ. එහෙත් ඒ පිළිබඳ අවසන් එකඟතාවයක් තවම නැත. පසුගියදා පැවැත්වූ බව කියන CIA-තලෙයිබාන් රහස් සාකච්ඡාවලදී ද අවසන් දිනය ගැන එකඟතාවයකට පැමිණීමට උත්සාහ කර තිබේ.

යම් හෙයකින් අගෝස්තු 31 වැනිදා සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය එකඟ නොවුණහොත්, එහි අර්ථය වන්නේ අගෝස්තු 31 දායින් පසුව ගුවන් තොටුපොළ වසා දැමෙන බවයි.

එවිට රටෙන් පළා යාමට බලා සිටින ඇමරිකානුවන් ද ඇතුළු දහස් ගණනකගේ ජීවිත, තලෙයිබාන් සංවිධානය අතට පත් වනු ඇත.

ඉස්ලාමීය රාජ්‍ය භටයන්ගේ ප්‍රහාරය මේ මොහොතේ එල්ල වූවත් නැතත්, මේ අවදානම නිශ්චිත ය.

පෙර ලිපි

ඇමරිකානු ගුවන් යානා ඇෆ්ගන් සරණාගතයන් ගෙන යද්දී IS ප්‍රහාර එල්ලවේදැයි බියක්

 

CIA සහ තලෙයිබාන් අතර රහස් සාකච්ඡා

Update: සියලු ඇමරිකානුවන් මුදා ගන්නා තුරු ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයේ සිටිය යුතුයි – බයිඩන් කියයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි