×

‘‘නැහැ, මම වීරයෙක් නෙවෙයි!“- තායි ගුහා වික්‍රමයේ සැබෑ වීරයා හමුවෙමු.

‘‘ඔබ නම් වීරයෙක්!“ ලොව හාත්පසින්ම ඔහු වෙත ප්‍රශංසා ගලා ආවේය. ‘‘නැහැ..මම වීරයෙක් නෙවෙයි..“ එවිට ඔහු එකහෙළාම කියා සිටියේය.


මේ වන විට තායිලන්තයේ ගුහා පද්ධතිය තුළ සිරවී සිටි දරුවන් රෝහල්ගත ව සුවය ලබමින් සිටින අයුරුත්, ඔවුන් හැම කෙනෙක්ම ලෝකය වෙත සිය කෘතවේදිත්වය දක්වන අයුරුත් අන්තර්ජාලය පුරා දැකගත හැක. මේ දරුවන් 12 දෙනා අතරින් ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි එකම දරුවා අදුල් ය.

‘‘මම අදුල්.. දැන් මට හොඳටම හොඳයි.. මට උදව් කළාට ස්තූතියි.. “ යැයි ඔහු ඉංග්‍රීසි බසින් කියයි. යොවුන් පාපන්දු කණ්ඩායමේ සිටි ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි එකම දරුවා ඔහු විය.

[embedyt] https://www.youtube.com/watch?v=h5NhRtZAwok[/embedyt]

තායි දරුවන් 12 දෙනාට සහ පාපන්දු පුහුණුකරුට ආලෝකය ද බලාපොරොත්තුව ද ගෙන දෙමින් ඔවුන් සමග මුලින්ම කතා බස් කළ, ගුහා පද්ධතිය තුළ ඔවුන් සිරවී සිටින ස්ථානය මුලින්ම සොයාගත් බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවා, ජෝන් වොලන්තන් (John Volanthen) නමැති ඔහු ය.

“How many of you?” (කී දෙනෙක් ඉන්නවද?)

“Thirteen” (දහතුනයි)

”Brilliant!” (නියමයි!,)

2018 ජූලි 2 වැනිදා තායිලන්තයේ තාම් ලුවැන්ග් ගුහා පද්ධතිය තුළ සිරකරුවන් බවට පත් වූ මේ කණ්ඩායම මුදා ගැනීමේ මෙහෙයුම හැඳින්වුණේ “Now or Never” යනුවෙනි. එනම්, ගුහා පද්ධතිය ජලයෙන් පිරී යාමට පෙර මේ දැන්ම ගළවා ගැනීමේ කටයුතු කළ යුතු බවත්, නොඑසේ නම් කිසිදා දරුවන් ව ගළවා ගැනීමට නොලබෙනු ඇති බවත් එහි අදහස විය. ජීවිතයත් මරණයත් අතර නිබඳව දෝලනය වෙමින්, පොළොව මතුපිටට මීටර 800-1000 අතර තැනෙක, ගුහා විවරයේ සිට සැතපුම් 2.5 ක් දුරින්, වංකගිරියක් බඳු උමං පද්ධතියක් තුළ, මඩ කඩිත්තක උකුළ උඩ සිටි මේ කණ්ඩායම බේරාගත හැකි වේද යන්න අවසන් මොහොත දක්වාම කාලයට භාර වූ කාරණයක් විය.

දින 17 ක් මුළුල්ලේ අන්ධකාරයේ සිරකරුවන් බවට පත්ව මරණයේ සෙවණැලි අතර සිටි ඔවුන් පිළිබඳ පළමු නිශ්චිත හෝඩුවාව ලබාදුන්නේ ජෝන් වොලන්තන් විසිනි. දරු දුකෙන් උමතු වීමට ආසන්න වී සිටි දෙමාපියන් සම්බන්ධයෙන් අපේක්ෂාවේ ආලෝකය කැටුව යන්නා වූයේ ඔහු ය. දරුවන් සිටින ස්ථානය සොයාගැනීම සඳහා කිමිදුම්කරුවන් 90කට අධික සංඛ්‍යාවක් යොදවා තිබූ නමුත්, වංකගිරියකට සමාන ගුහා පද්ධතියේ අතු ඉති බෙදී ගිය උමං මග ඔස්සේ දරුවන් සිටින ස්ථානය නිවැරදිව හඳුනාගත්තේ ඔහු ය.

බ්‍රිතාන්‍යයේ ගුහා කිමිදුම්කරුවන් ලෝකයේ හොඳම ගුහා කිමිදෙන්නන් වශයෙන් සැලකෙයි. මේ අතරින් බ්‍රිතාන්‍යයේ කොවෙන්ට්‍රි හි ජීවත් වන ජෝන් වොලන්තන්, මෙම දරුවන් කණ්ඩායම සොයාගැනීම සඳහා තමන් විශේෂයෙන් වෙහෙසුණු බවත් සුවිශේෂී නිපුණතා කට්ටලයක් ඒ සඳහා යොදාගත් බවත් (using a “very unique skill set”) නිහතමානී ලෙස කියා සිටියේය.

පසුගිය සිකුරාදා ඔහු සහ බ්‍රිතාන්‍ය ගුහා කිමිදෙන්නන් හත් දෙනාගේ කණ්ඩායම ලන්ඩනයේ හීතෘෘ ගුවන්තොටුපොළට පැමිණි විට, ලන්ඩනයේ ජීවත් වන තායිලන්ත වැසියෝ ඔහුව වැළඳගෙන කඳුළු සැලූහ.

[embedyt] https://www.youtube.com/watch?v=Ssd1Jpb-9tM[/embedyt]

‘‘අපිට හොඳ කණ්ඩායමක් සිටින බව මම දැනගෙන හිටියා. අපිට තායි නිලධාරීන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙන බවත් දැනගෙන හිටියා. ඉතින් අපි උපරිමයෙන් වැඩ කළා..“ යැයි ඔහු පැවසීය. ‘‘අපිට තිබුණෙ තවත් මනුස්සයෙකුගෙ ජීවිතය ගැන වගකීමක්..“

මේ බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවාට තායිලන්තයේ තව ටික දිනක් රැඳී සිටියා නම් රටේ ජාතික වීරයෙකු බවට ලෙහෙසියෙන්ම පත්විය හැකිව තිබිණි. නමුත් ඒ වෙනුවට ඔහු කළේ සෙසු 6 දෙනාද සමග, ඉතාම සරල ලෙස, පහුවදාම ගෙදර ඒමයි.

ඔහු අදත්-හෙටත් ඒ ගැන කතා කරනු ඇත්තේ, කළ යුතුව තිබූ දෙයක් – යුතුකමක් ඉටු කළ සැබෑ මනුෂ්‍යෙයකු ලෙසිනි. කිසිම ලෙසකින් වීරයෙකු වීම ප්‍රතික්ෂේප කළ නිසාම, වීරත්වයේ ප්‍රතිලාභ සියල්ල බැහැර කළ නිසාම, ජෝන් වොලන්තන්, අපට ඔබ හැබෑ වීරයෙකි.

ජෝන් වොලන්තන් බීබීසී පුවත්සේවය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව

[embedyt] https://www.youtube.com/watch?v=ERFdaDMa5t8[/embedyt]

පෙර ලිපි

තායි ගුහාවේ මෙහෙයුම අවසන්. සියල්ලන්ම බේරා ගැනේ.

තායි ගුහාවේ සිරවුණු ඉතිරි අය බේරාගැනීම අද

තායි ගුහාවේ දරුවන් බේරාගැනීමට ගිය කිමිදුම්කරු මරුට. දරුවන්ගේ ජීවිත අනතුරේ

තායි ගුහාවේ සිරවුණු දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම ඇරඹේ- ගුහා පද්ධතිය ජලකර සුසානයක් වේවිද?

තායි ගුහාවේ සිරවුණු පාපන්දු පුහුණුකරු දෙමාපියන්ගෙන් සමාව ඉල්ලයි – දරුවන්ට ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගය නැරඹීමට ඇරයුම්

මරණයට අත වනන ගුහා යට ලෝකය 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි