×

යක්ෂයාගේ ත්‍රිකෝණය, නිරයේ ද්වාර හතෙන් එකක්ද? – නූතන ලෝකයේ අබිරහස් – 9

ඇතැමුන් පවසන පරිදි යක්ෂයාගේ ත්‍රිකෝණය හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය නිරයට පිවිසෙන ද්වාර හතෙන් එකකි.


යක්ෂයාගේ මුහුද – එහෙමත් නැත්නම් මකරාගේ ත්‍රිකෝණය ඇතැම් අය හඳුන්වන්නේ පැසිපික් සාගරයේ බර්මියුඩා ත්‍රිකෝණය හැටියටයි. එයට හේතුව ලෝක ප්‍රකට බර්මියුඩා ත්‍රිකෝණය තුළ යම් යම් ගුප්ත දේ සිදුවේද ඒ හා සමානම දේ පැසිපික් සාගරයේ මේ කියන ප්‍රදේශය තුළත් සිදුවීමය. සමහරුන් මේ ප්‍රදේශය හඳුන්වා දෙන්නේ නිරයට පිවිසෙන්නට තිබෙන ද්වාර හතෙන් එකක් හැටියටයි. මේ කියන මුහුදු පෙදෙස කෙතරම් ගුප්තද? කෙතරම් භායනකද? යන්න එයින් ඔබට සිතා ගත හැකිවනු ඇත.

wikipedia

wikipedia

යක්ෂයාගේ මුහුදේදී එහෙමත් නැත්නම් මකරාගේ ත්‍රිකෝණයේදී සිදුවුණු දෑ ගැන කියන්නට පළමුව එය තිබෙන්නේ කොහේදැයි කියා දළ වශයෙන්වත් ප්‍රකාශ නොකළහොත් එය අඩුවකි. අද පවතින විද්‍යාවටවත් විස්තර කරන්නට බැරි විධියේ ගුප්ත දේවල් සිදුවන මේ මුහුදු කලාපය තිබෙන්නේ ජපානයේ මියාකේ (Miyake) දූපත වටායි. ඒ වගේම ජපානයේ තෝකියෝ නුවර සිට කිලෝමීටර 100ක් පමණ දකුණට වන්නටයැයි කියා කිවහොත් තවත් නිවැරදිය. එසේ ප්‍රකාශ කරනවා විනා මකරාගේ ත්‍රිකෝණය හරියටම තිබෙන්නේ මෙතැන යැයි කියා කියන්නට කිසිකෙනෙකු සමත්ව නැත. ඇතැම් තැනෙක සඳහන් වන අන්දමට මකරාගේ ත්‍රිකෝණය පිහිටා තිබෙන්නේ ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ සිට කිලෝමීටර 110ක් තරම් දුරින් වූ මුහුදෙහිය. තවත් වාර්තාක් පෙන්වා දෙන්නේ ජපානයට අයත් ඉවෝ ජිමා නැමැති දූපතේ සිට කිලෝමීටර 1200ක් ඈතින් මකරාගේ ත්‍රිකෝණය පිහිටා ඇති බවකි. තියෙන තැන කියන්නට බැරිවාක් මෙන්ම මකරාගේ ත්‍රිකෝණයට යටත් ප්‍රදේශය කොතරම්ද යන්න ගැන හරිහැටි සඳහන් කරන්නටත් කිසිවකුට බැරිව ගොස් තිබේ. මේ ප්‍රදේශයට යටත් සරිය, එක්දහස් නවසිය පනස් ගණන්වල සිට ප්‍රකාශයට පත්කෙරුණු වාර්තාවල දැක්වෙන්නේ විවිධ ආකාරයෙනි. මේ කුමන වාර්තාවක් නිවරදි වුවත් අප පිළිගත යුතු එක් කාරණයක් තිබේ. එනම් පැසිපික් සාගරයේ, ජපානයට යටත් මුහුදු සීමාවෙහි කිසියම් තැනෙක මකරාගේ ත්‍රිකෝණය ස්ථානගතව පවතින බවය.

wikipedia

wikipedia

මකරාගේ ත්‍රිකෝණයේ සිදුවන්නේ මොනවාද යන්න දැනගන්නට දැන් ඔබ මහත් ආශාවෙන් සිටින බවට අපට සැකයක් නැත. මකරාගේ ත්‍රිකෝණයේ සිදුවුණු දේවල් ගැන හොඳ විවරණයක් කරන්නේ චාර්ල්ස් බර්ලිට්ස් (Charles Berlitz) නැමැති අමෙරිකානු ලේඛකයාය. හෙතෙම “The Dagon’s Triangle” නමින් කෘතියක් සම්පාදනය කර තිබේ. චාර්ල්ස් බර්ලිට්ස් මේ කෘතිය සම්පාදනය කරන්නේ මකරාගේ ත්‍රිකෝණය ආශ්‍රයෙන් සිදුවුණු බොහෝ දේ ගැන පර්යේෂණයක නියැලෙමිනි. කෘතියෙහි දැක්වෙන පරිදි 1952ත් 1954ත් අතර කාලයේදී යාත්‍රා පහක ගමන් ගත් හමුදා සාමාජිකයන් 700ක් මේ ත්‍රිකෝණයට අයත් පෙදෙසේදී අතුරුදහන්ව ඇත. යාත්‍රා පහටත් භටයන් 700ටත් කුමක් සිදුවීද යන්න ගැන සොයා බලන්නට ජපාන රජය ඒ කාලයේදීම වාගේ තවත් යාත්‍රාවක් යවා තිබේ. යවන ලද ඒ යාත්‍රාවේ විද්‍යාඥයෝ සිය දෙනෙකු සිටි බව චාර්ල්ස් බර්ලිට්ස්ගේ සටහනේ ඇත.

විද්‍යඥයන් සිය දෙනෙකු රැගෙන අභිරහස් ලෙස මුහුද පත්ලේ සඟව ගියේයැයි කියා චාර්ල්ස් බර්ලිට්ස් දක්වන නෞකාව, කයියෝ මාරු – 5 නෞකාව බව අමෙරිකා ලේඛක ලෝරන්ස් ඩේවිඩ් ලැරී කුෂේ පවසයි. කුෂේ කියන ආකාරයට නෞකාව ගිලී ඇත්තේ පුද්ගලයන් තිස් එක් දෙනෙකු රැගෙන නාවුක කටයුත්තක නියැලෙමින් සිටියදීය. සිද්ධිය සිදුව තිබෙන්නේ 1954 වසරේ සැප්තැම්බර් 24වැනිදා බවත් කුෂේ සඳහන් කරයි. කොහොම වුණත් යාත්‍රාව අතුරුදහන් වීමෙන් පරීක්ෂණ කටයුතු අඩාල වූ බව නම් අසත්‍යක් නොවේ. කයියෝ මාරු – පහ යාත්‍රාව අතුරුදහන්ව යාමත් සමඟම මකරාගේ ත්‍රිකෝණය වෙත ජපාන බළධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු වුණු බවක් පෙනෙන්ට තිබේ. මකරාගේ ත්‍රිකෝණය ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන අද්භූත තත්ත්වය සැලකිල්ලට ගෙන එකී මුහුදු කලාපය අන්තරාදායක පෙදෙසක් ලෙස නම් කරන්නට ජපාන බළධාරීහු පසුව පියවර ගත්හ. නමුත්, ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන අද්භූත සිද්ධි එතැනින් කෙළවර වුණේ නැත.

ඒ වගේම මකරාගේ ත්‍රිකෝණය තුළදී යාත්‍රා විපතට පත්වුණු පළමු අවස්ථාවත් මෙය නොවන වග සිහි කැඳවිය යුතුය. චාර්ල්ස් බර්ලිට්ස්ගේ කෘතියෙහි දැක්වෙන අන්දමට කුඩා ප්‍රමාණයේ ධීවර යාත්‍රා, ටොන් ලක්ෂ දෙකක් තරම් බරැති ටැංකි සහිත යාත්‍රා, අමෙරිකා සහ ජපාන යුධ නවුකා සහ ගුවන් යානා, සෝවියට් නෂ්ටික මිසයිල සබ්මැරීන ආදිය පවා මකරාගේ ත්‍රිකෝණයේදී එක්කෝ අනතුරට පත්ව තිබේ. නැත්නම් අතුරුදහන්ව තිබේ. ඒ වගේම එකී ත්‍රිකෝණය ආසන්නයෙන් ගමන් ගන්නා මුහුදු යාත්‍රාවල සන්නිවේදන උපකරණ ක්‍රියාත්මක නොවන අවස්ථා ඇති බවට ඇතැම් නැවියන් පැමිණිලි කර තිබේ. ප්‍රදේශය ඇසුරෙහි චුම්බක ක්ෂේත්‍රවල අසාමාන්‍යතා දකින්නට පුළුවන් බවට පැමිණිලි කරන නැවියන්ද එමටය. තවත් සමහර අවස්ථාවලදී ප්‍රදේශය තුළ දීප්තිමත් එළි විහිදෙන බව මුහුදේ යන එන අය දැක ඇත. මකරාගේ ත්‍රිකෝණය ලෙස නම් කර ඇති මුහුදු කොටසේ විවිධ වස්තූන් පාවෙමින් තිබෙනු දුටු අය ගැනත් වාර්තා වේ. විවිධ වස්තූන් එහි පාවෙමින් තිබෙනු දුටු අය ගැන දොළොස් වැනි සියවසේ සිටම වාර්තා තිබෙන බව චාර්ල්ස් බර්ලිට්ස් සිය කෘතියෙන් පෙන්වා දෙයි.

මකරාගේ ත්‍රිකෝණයට යටත් පෙදෙසේ කාලගුණ තත්ත්වය අසුරු සැණෙකින් වෙනස්වන සුළු බව සමහරු පවසති. හිටි අඩියේම වාගේ මේ මුහුදු කලාපයේ රළ ඉහළ නඟින අවස්ථා ගැන සඳහන් වේ. දිය සුළි, ඉතා ඝන මීදුම් සහිත තත්ත්ව වගේම කුණාටුත් ඇසුරු සැණෙකින් ඇතිවන බව ඇතැම්හු පවසති. වෙනත් අද්භූත දෙයක් සිදු නොවුණත් මේ කියන විධියේ හදිසි කාලගුණ වෙනස්වීම් වුව ත්‍රිකෝණය ආසන්නයෙන් ගමන් ගන්නා යාත්‍රාවලට අනතුරු ඇති කරන්නට හේතුවන බව නැවියෝ පවසති. හදිසියේ ඇතිවන කාලගුණ තත්ත්ව නෞකාවලට අනතුරු ඇති කරන්නට හේතුවක් නම් එවැනි කාලගුණ විපර්යාස හදිසියේ ඇතිවන්නේ ඇයි? කෙසේද? කුමන වෙලාවලටද? හරියටම කොතැනද? යන ප්‍රශ්නවලට පිළිතුරු තිබිය යුතුයි. ඇත්තටම කිවහොත් එවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයන් අදටත් බොහෝ නිශ්ශබ්දය. විද්‍යාව මෙපමණටම දියුණු යුගයක මකරාගේ ත්‍රිකෝණය සම්බන්ධයෙන් එවැනි නිහඬතාවක් බලාපොරොත්තු වන්නට බැරි තරම්ය.

ජපානය අල්ලා ගැනීමට පැමිණෙමින් සිටි කුබ්ලායි ඛාන් (Kublai Khan) සහ පිරිසෙන් 1281 වසරේදී ජපනුන් බේරී ඇත්තේද මකරාගේ ත්‍රිකෝණය නිසාය. කුබ්ලායි ඛාන්ට අයත් එක් ලක්ෂ හතළිස් දහසක තරමේ සේනාවක් ජපානයට ඇතුළුවන්නට එවර ගමන් අරඹා තිබේ. මේ පිරිසෙන් හතලිස් දහසක් මසාන්හි සිට ගමන් කර තිබෙන්නේ යාත්‍රා නව සියයකය. පිරිසට, කොරියා, චීන සහ මොන්ගෝලියා භට පිරිස් අයත් වූ බව ඉතිහාසයේ දැක්වේ. ලක්ෂයක අනෙක් පිරිස ගමන් කර තිබෙන්නේ දකුණුදිග චීනයෙනි. ඔවුන් යාත්‍රා 3500ක ගමන් ගෙන තිබේ. 1281 වසරේ ජුනි 23වැනිදා වනවිට දෙපිරිස එකට හමුවීමට නියමිතව තිබිණ. නමුත් චීනයේ සිට ගමන් ගත් නෞකා තුන්දහස් පන්සියය එදින නියමිත ස්ථානයට නොපැමිණි බව ඉතිහාසයේ දැක්වේ. ඔවුන්ගේ ගමන් මඟ යටකී ත්‍රිකෝණය හරහා වැටී තිබී ඇත. අඩු තරමින් එකී නෞකා තුන්දහස් පන්සියයට සිදු වූයේ කුමක්ද යන්නවත් සොයා ගන්නට බැරිව ගිය බවක් සටහන්ව ඇත.

මේ අන්දමට අතුරුදන් වුණු මුහුදු යාත්‍රා ගණන අතිවිශාලය. ඒවා විනාශයට පත් වූ බව සනාත කරන්නට පුළුවන් තරමේ සලකුණක්වත් සමහර අවස්ථාවලදී සොයාගන්නට බැරිවිණ. ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මකරාගේ ත්‍රිකෝණය තිබෙන ප්‍රදේශයේ මුහුද පතුළත මීතේන් හයිඩ්‍රේට් සහිත සරියක් පවතින බවය. රසායනිකයෙන් ඇතිවන වායුවක් මුහුද මතුපිට ප්‍රදේශවලට ළඟා වන බව කියැවේ. එහෙම මතුවන වායුව මුහුද මතුපිටට වේගයෙන් විහිදී, මුහුද මතුපිට ගමන් ගනිමින් ඇති නෞකා ගිල්වා දමන බව මේ මතයෙහි සඳහන්ව ඇත. එවැනි අවස්ථාවලදී මුහුදු යාත්‍රා සැණෙකින් ගිලී යන්නේ ඒවා ගිලී ගිය බවට කිසිදු සලකුණක්වත් නොතබමින් බවත් දැක්වේ. මකරාගේ ත්‍රිකෝණය ආශ්‍රිත මුහුදු පතුළත ඉතා බිහිසුනු ගිනිකඳු සක්‍රියවීම් සිදුවන බව තවත් අය පවසති. ඇතැම් පිරිස් අනුමාන කරන්නේ මෙකී ස්ථානය හරහා වෙනත් විශ්වයකට හෝ කළු කුහරයකට හෝ මඟක් ඇතැයි කියාය. නිරයට ඇති ද්වාර හත්තෙන් එකක් මකරාගේ ත්‍රිකෝණය හරහා වැටී තිබෙන බව සාමාන්‍යය ජනයා පවසන්නේ එකී අනුමානය පදනම් කරගෙනයි. කොහොම වුණත් මේ ප්‍රදේශය තුළ සිදුවන දෙය විද්‍යාත්මකව විස්තර කරන්නට මිනිසාට තවමත් බැරිව ගොස් ඇත. ඒ හිදැස නිසා පිළියමක් යොදන්නට නොහැකිවූත්, හරියාකාරව විස්තර කරන්නට බැරිවූත්, බොහෝ දේ මකරාගේ ත්‍රිකෝණය ආශ්‍රයෙන් අදටත් සිදුවෙමින් තිබේ.

නූතන ලෝකයේ නොවිසඳුණු අබිරහස් මාලාව – පෙර ලිපි මෙතැනින් කියවන්න..

8 – හේතුවක් නැතිවම ඔවුහු අප අතහැර ගියහ

07 – අපි නොදන්න ඩ්‍රැකියුලා

06- මළවුන්ගෙන් සල්ලි ගරන ශීතල ආශාව

05- සයිබීරියාවේ තුන්ගුස්කා අබිරහස

04 – පෝලන්තයේ කුදු ගැසුණු පයින් වනයේ අබිරහස

03 – පෙරුම් පිරුවත් යන්න බැරි ‘ක්ලබ් තර්ටි ත්‍රී‘

02- කවදාවත් විවෘත කරන්න බැරි – කොරියාවේ අද්භූත හෝටලය

01- කසකස්ථානයේ නිද්‍රා නිම්නයේ අබිරහස

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි