×

ගෘහ නිර්මාණ ශිල්පියා අදටත් අබිරහසක් වූ තායිවානයේ ‘පොඩ් විලේජ්‘ නොහොත් ‘පිටසක්වළ ගම්මානය“

“.... උතුරු දිග තායිවානයේ වෙරළ තීරයකට තරමක් ආසන්නයෙන් පිහිටා තිබුණු සැන්සීහි “පොඩ් විලේජ්” නමින් හැඳින්වෙන, මිනිසුන්ගෙන් තොර ස්ථානයට මා පැමිණියේ ගැහෙන හදින්.


“පොඩ් විලේජ්” (Pod Village) යනු කිසිදා කිසිකෙනෙකුට විස්තර කරන්නට බැරි ගුප්ත බවකින් වැසී ගිය අඳුරු මුල්ලක් බව අවස්ථා කිහිපයකදී මට කියවන්න ලැබුණා. ඒ වගේම සංචාරකයන් ඒ ගුප්ත අඳුරු ස්ථානය දැක බලාගන්නට කොහෙත්ම කැමැත්තක් නොදක්වන බවත් මම දැන හිටියා. සත්‍ය එය වුවත්, සංචාරකයක් සඳහා උතුරු දිග තායිවානයට පැමිණි මට මේ කියන “පොඩ් විලේජ්” මඟ හැර මගේ සංචාරය නිමකරන්නට හිතක් තිබුණේ නැහැ. මගේ හිතුවක්කාරකමටම ඒ නිසා මම එහි ගියා.

අමුතු හැඩතලයක් මැවෙන හැටියට නිර්මාණය කෙරුණු ගොඩනැඟිලි සංකීර්ණ සහිත පොඩ් විලේජ් ඉදිකර තිබෙන්නේ සැබවින්ම රමණිය පරිසරයකයි. ඒ වගේම සෑහෙන තරම් විශාල භූමි සරියකයි. මේ භූමියේ තැනින් තැන ගොඩනඟා තිබුණු යටකී අමුතු තාලයේ ගොඩනැඟිලි බොහොමයක් කැඩී බිඳී විනාශයට පත්වෙමින් තිබෙන හැටි මට දැක ගත හැකි වුණා. සමහර ගොඩනැඟිලි සංකීර්ණවල වහල බිමටම කඩා වැටී ගොස් තිබුණා. ගොඩනැඟිලිවල ඉහළ මාලවලට නඟින්නට යොදා තිබුණු කොන්ක්‍රීට් පඩි පෙළ දිරාපත් වී අබලන්ව පැවතියේ. දැඩි උණුසුම් ගිම්හානයකුත් දැඩි ශීතලක් සහිත ශීත ඍතුවකුත් තායිවානයට බලපාන බව මම දන්නවා. ඒ කාලගුණ විපර්යාසවලට ඔරොත්තු දෙයිද කියලා හිතන්නවත් බැරි මට්ටමක ගොඩනැඟිලි එවකට තිබුණේ. සිද්ධවෙලා තියෙන මේ විනාශය ගැන අමතක කරලා “පොඩ් විලේජ්” ගැන මම වෙනත්ම විධියකට හිතන්න පටන් ගත්තා. මිනිසුන් නිතර ගැවසෙන සහ පිළිවෙලට නඩත්තු වෙන තැනක් වුණා නම් “පොඩ් විලේජ්” කියන්නෙ මේ මිහිපිට තියෙන පුදුමාකාර ලස්සන තැනක් නොවේද කියලා එවිට මට ඉබේටම හිතුණා. …”

atlasobscura.com

atlasobscura.com

මතු දැක්වුණේ, තායිවානයේ “පොඩ් විලේජ්” නමින් ප්‍රකටව තිබුණු ගොඩනැඟිලි සංකීර්ණ ගැන කැරී කෙලෙන්බර්ග් නැමැති කත 2008 වසරේ මැයි මස 22වනිදා තබන ලද සටහනකි. කැරී කෙලෙන්බර්ග් මෙයට දස වසරකට පමණ ඉහතදී දුටු අබලන්ව ගිය “පොඩ් විලේජ්” ගොඩනැඟිලි සංකීර්ණ අපට අද දක්නට ලැබෙන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව එකී ගොඩනැඟිලි සංකීර්ණ 2008 වසරේ අග භාගයේදී බිමට සමතලා කිරීම ඇරඹුණු නිසයි. 2010 වසර වනවිට “පොඩ් විලේජ්”හි තිබුණු සියලුම ඉඳිකිරීම් මුළුමනින්ම කඩා බිඳ දමා එකී භූමිය වෙනත් ඉඳිකිරීමකට අවශ්‍යය පරිදි සකස් කරනු ලැබූ බව විදෙස් මාධ්‍යය වාර්තාවලින් කියැවිණ. කිසිදා කිසිවකු පරිහරණයට නොගත් සුඛෝපභෝගී ගොඩනැඟිලි සමූහයක අවසානය මේ තරම් දුර්දාන්තයකින් නිමා වුණේ කුමන හේතුවක් නිසාදැයි කියා කිසිවකුටත් අදටත් සිතා ගත නොහැකිය.

atlasobscura.com

atlasobscura.com

1978 වසරේදී, “පොඩ් විලේජ්” ඉඳිකිරීම ඇරඹුණේ තායිවානයේ නව තායිපේ නගරයට අයත් සැන්සී දිස්ත්‍රික්කයේ සුන්දර සහ සැනසිලිදායක භූමි භාගයකය. මේ භූමි භාගය සංචාරක ආකර්ෂණය පිණිස හේතුවනු ඇතැයි කියා එකල සිටි තායිවාන පාලකයෝ කල්පනා කළහ. නැගෙනහිර ආසියාතික රටවල් කරා පැමිණෙන අමෙරිකා එක්සත් ජනපද හමුදා සාමාජිකයන්ගේ සංචාරක අවශ්‍යතා එහිලා වෙසෙසින්ම ඉලක්ක කරගෙන තිබිණ. සංචාරක ආකර්ෂණය වැඩිකරනු වස් අමුතුම ආකාරයට නිර්මාණය කරන ලද ගොඩනැඟිලි එහි ඉඳි කළයුතු බව තායිවාන බළධාරීන්ගේ තීරණය වූයේය. පාවෙන පීරිසිවල හැඩය ගත් ගොඩනැඟිලි සමූහයක් තැනීමට බළධාරීන් කාගේත් කැමැත්ත සහ අනුමැතිය ලැබුණේ ඒ අනුවයි.

තායිවාන පාලකයන්ගේ මේ අවශ්‍යතා ඉටුවන පරිදි “පොඩ් විලේජ්” ඉඳිකර දීමේ කටයුත්තට අත ගැසුවේ හුන්ග් කුවෝ සමූහය නැමැති සමාගමයි. සමාගම ඉතා ඉක්මනින්ම ඉඳිකිරීම් කටයුතු කරගෙන ගියේය. පාට පාට පාවන පීරිසි ගොඩනැඟිලි බිමෙහි තැනින් තැන මතුවන විට බොහෝදෙනෙකු සිතුවේ තායිවාන සංචාරක ව්‍යාපාරය පෙර නොවූ විරූ තරමේ දියුණුවක් අත්පත් කරගනු ඇතැයි කියාය. ඒ සිතුවිල්ල කා තුළත් පැලපදියම් වන තරමේ ලස්සනකින් යුතු, පිහිනුම් තඩාග, දිය පොකුණු සහ දිය අගල් යනාදියත් “පොඩ් විලේජ්”හි ස්ථාපනය කෙරිණ. නමුත් එකනෙහිම වාගේ “පොඩ් විලේජ්”හි ඉඳිකිරීම් නැවතී ගියේය. ඒ වනවිට “පොඩ් විලේජ්”හි ඉඳිකිරීම් ආරම්භකර දෙවසරකට ආසන්න කාලයක් ගතව තිබිණ. හරියටම කිවහොත් ඉඳිකිරීම් නැවතුනේ 1980 වසරේදීය.

atlasobscura.com

atlasobscura.com

“පොඩ් විලේජ්” ව්‍යාපෘතිය අතරමඟ ඇණහිටීම ගැන බොහෝදෙනෙක් කතාබහ කරන්නට පටන් ගත්හ. ඇතැම් අය කියා සිටියේ ඉඳිකිරීම් තවදුරටත් ඉදිරියට රැගෙන යන්නට සමාගමට හැකියාවක් නැති බවකි. එකී තත්ත්වය කාරණා කිහිපයක් මුල් කරගෙන ඇති වී තිබිණ.

එහිලා මූලික වශයෙන්ම බලපා තිබුණේ සමාගම මූල්‍යය අරගලයකට මැදිවීමය. හුන්ග් කුවෝ සමූහය බලාපොරොත්තු වුණේ ව්‍යාපෘතියට ඉක්මනින්ම ආයෝජකයන් අද්දවා ගැනීමටයි. නමුත් සමාගම අපේක්ෂිත ඒ සැලසුම, සැලසුම් කළ තැනම ලොප් වී තිබිණ. අනෙක් අතට ඉදිකිරීම් සිදුවන කාලය තුළ එකී භූමිය ආසන්නයේ මෝටර් රථ අනතුරු විශාල සංඛ්‍යාවක් සිදුව තිබුණේය. මේ අනතුරු ඉතාමත් දරුණු ගණයේ ඒවා බව වාර්තාවල සඳහන්ව ඇත. අනතුරුවලින් සැලකිය යුතු තරමේ පිරිසක් ජීවිතක්ෂයටද පත්ව තිබේ. ඒ වගේම ඉඳිකිරීම් සිදුවන කාලයේදී එම භූමිය තුළදී පුද්ගලයන් රැසක්ම සිය දිවි නසාගත් බවත් කියැවේ. තවත් සමහරු ඉඳිකිරීම් බිමෙහි සිදුවුණු අනතුරු නිසා ජීවිතක්ෂයට පත්වූහ. “පොඩ් විලේජ්”හි වැඩ අරඹන විට බලාපොරොත්තු නොවුණු මේ සිදුවීම් නිසා ඉඳිකිරීම් සමාගම් නිළධාරීන්ගේ වගේම තායිවාන නිළධාරීන්ගේත් සිත් දැඩි ලෙස සසැලී තිබිණ. ඉදිකිරීම්වලදී සිදුවන අනතුරු සංඛ්‍යාව වැඩිවන විට තායිවාන රජයෙන් හුන්ග් කුවෝ සමාගමට ලබාදෙන උදව් උපකාර සහ සහන කපා හැරුණු බව ඇතැම් තැනෙක දැක්වේ. කොහොම වුණත් අනපේක්ෂිත අනතුරු නිසා ඇතිවුණු කාගේ කාගේත් හිත් නොහොඳ වීම් අන්තිමට බලපෑවේ “පොඩ් විලේජ්” ගොඩනැඟීම් කෙරෙහිය. අවසාන ප්‍රතිඵලය වූයේ බලා හිඳිද්දීම වාගේ දවසින් දෙකෙන් එහි ඉඳිකිරීම්වලට නැවතීමේ තිත වැටීමයි.

ඒ විධියට ඉදිකිරීම් නැවතුණු පසු “පොඩ් විලේජ්” ව්‍යාපෘතිය නැවත වරක් කවර හේතුවක් නිසාවත් යළි ප්‍රාණයක් ලැබුවේ නැත. එනිසා “පොඩ් විලේජ්” ගොඩනැඟිලි සංකීර්ණ සහ ව්‍යාපෘතියට අයත් බිම අනුක්‍රමයෙන් වල් බිහිවී ජරාජීර්ණ තත්ත්වයට පත්වීම ඇරඹියේය. ව්‍යාපෘතිය කඩාකප්පල් වීමෙන් සිදුවුණු මහා ධන හානියට හේතුව කුමක්දැයි කියා බොහෝ දෙනෙක් පසුකලෙක විපරම් කරන්නට පටන් ගත්හ.

atlasobscura.com

atlasobscura.com

ඊට හේතු වී යැයි කියා සැක සිතෙන ප්‍රධාන කාරණා දෙකක් ගැන තොරතුරු ඔවුන්ට දැනගන්නට ලැබිණ. එයින එක කාරණයක් බද්ධව තිබුණේ චීන මකර ප්‍රතිමාවක් සමඟය. මේ කියන මකර ප්‍රතිමාව ඇත්තේ “පොඩ් විලේජ්” වෙත පිවිසෙන ගේට්ටුව ආසන්නයේය. චීන මකර ප්‍රතිමාව අවාසනාව උදාකරන්නට හේතුවක් බව ප්‍රදේශයේ ජනයාගේ මතය වී තිබේ. වැඩිදෙනෙකු මේ මතයේ එල්බගෙන සිටියත් බළධාරීන් කිසිවෙකු චීන මකර ප්‍රතිමාව ඉවත් කර ඉන් පසුව ලැබෙන ප්‍රතිඵල ගැන විමසා බලන්නට උත්සුක වී නැත. එනිසා ව්‍යාපෘතිය මකර කටට යන තුරුම අවාසනාවේ මකර ප්‍රතිමාව එහිම තිබෙනු දක්නට හැකිවිය. “පොඩ් විලේජ්” ව්‍යාපෘතියට වින කෙටූ අනෙක් කාරණය බද්ධව තිබුණේ සුසාන භූමියක් කේන්ද්‍ර කරගෙනයි. “පොඩ් විලේජ්” ඉඳිකිරීම් සිදුවුණේ එකී සුසාන භූමියට යටත්ව තිබුණු බිම වසාගෙන බව ඇතැම්හු පවසති. වෙනත් විධියකට කිවහොත් “පොඩ් විලේජ්” ඉඳිකර ඇත්තේ 17වන සියවසේදී ලන්දේසි සොල්දාදුවන් භූමදානය කිරීමට යොදාගත් භූමියකය යන්නය. ඒ කියන කතාවෙහි තරමක සත්‍යතාවක් තිබේ. ඒ, 1624 වසරෙන් පසුව තායිවානය නෙදර්ලන්තයේ කොලනියක් වුණු වග ඉතිහාසයේ සටහන්ව ඇති නිසයි. “

පොඩ් විලේජ්” ඉඳිකිරීම් කටයුතු ඇරඹුණු මුල් කාලයේදී බිම සකසන විට මිනිස් අස්ථි කැබළි විසි දහසකට අධික ප්‍රමාණයක් හමුවුණු වග ප්‍රදේශවාසීහු අදටත් පවසති. ඒ කියන කතාව සත්‍යක්ද යන්න මේ වනතුරු කිසිවකු තහවුරු කර නැත. කොහොම වුණත් එහි සුසාන භූමියක් නොතිබුණා වන්නට බැරි නැති වග නම් අපට අනුමාන කළ හැකිය. අනෙක් අතට මේ මහා පොළොවේ මිනිසුන් වැළලුනේ නැති තැනක් කොහොම සොයාගන්නදැයි කියා තවත් කෙනෙකුට තර්ක කරන්නට වුව පුළුවන. එහෙව් කල “පොඩ් විලේජ්” ව්‍යාපෘතියේ ඉදිරි ගමනට හරහට හිටියේ කුමන ආකාරයක බලපෑමක්ද යන්න අදටත් විවරණය වී නැති බව පැහැදිලිය.

කොහොම වුණත් “පොඩ් විලේජ්” ව්‍යාපෘතිය නිසා කොපමණ සංඛ්‍යාවක් මරණයට පත්වීද?, කොපමණ සංඛ්‍යාවක් තුවාල ලැබුවාද යන්න අදටත් රහසකි. අඩු තරමින් ඒ ගැන සටහන් වුණු වාර්තා මේ මිහිපිට ඇත්දැයි කියාත් සැකයක් ඇත. එයට හේතුව අනෙකක් නොව ඉඳිකිරීම් සමාගම ව්‍යාපෘතියට අදාල සියලු වාර්තා විනාශ කර දැමීමය. මේ විනාශ කර දැමීමෙන් සමාගම බලාපොරොත්තු වුණේ ඔවුන් සිදු කළ කිසියම් ආකාරයක වරදක් වේ නම් නීතිය ඉදිරියේදී සමාගම එයට වරදකරුවකු වීමෙන් මුදාගැනීමයි. ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තා විනාශ කරමින් සමාගම සිදුකළ අනර්ථය හේතුවෙන් “පොඩ් විලේජ්හි” ගෘහ නිර්මාණ ශිල්පියා හෝ ශිල්පීන් හෝ කවුරුන්ද යන්න පවා අදටත් රහසක් වී ඇත.

නුතන ලෝකයේ අබිරහස් මාලාව පෙර ලිපි මෙතැනින් කියවන්න..

යක්ෂයාගේ ත්‍රිකෝණය නිරයේ ද්වාර 7 න් එකක්ද? – නූතන ලෝකයේ අබිහරස් – 9

8 – හේතුවක් නැතිවම ඔවුහු අප අතහැර ගියහ

07 – අපි නොදන්න ඩ්‍රැකියුලා

06- මළවුන්ගෙන් සල්ලි ගරන ශීතල ආශාව

05- සයිබීරියාවේ තුන්ගුස්කා අබිරහස

04 – පෝලන්තයේ කුදු ගැසුණු පයින් වනයේ අබිරහස

03 – පෙරුම් පිරුවත් යන්න බැරි ‘ක්ලබ් තර්ටි ත්‍රී‘

02- කවදාවත් විවෘත කරන්න බැරි – කොරියාවේ අද්භූත හෝටලය

01- කසකස්ථානයේ නිද්‍රා නිම්නයේ අබිරහස

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි