×

සුඩානයේ ප්‍රජාතන්ත්‍රවාදය මළගම් යයි – අගමැති ඉල්ලා අස්වෙද්දී රට නිල වශයෙන් හමුදා පාලනයට!

හමුදා පාලනයට එරෙහිව දිගින් දිගටම පැවති විරෝධතාවලින් පසුව සුඩානයේ නිවාස අඩස්සියට පත් කර සිටි අගමැති අබ්දුල්ලා හැම්ඩොක් ඉල්ලා අස්වී තිබේ.


හමුදාව සමග බලය බෙදාගැනීම සඳහා හමුදා නායක ජෙනරාල් අබ්දෙල් ෆටා බුහ්රාන් විසින් කළ එකඟතාවයෙන් පසුව සුඩානය එකම දේශපාලන අවුල් ජාලාවක් බවට පත් විය.

සුඩානයේ හමුදා පාලනය ප්‍රමුඛ සිවිල් අධිකාරීන් විසින් ඔක්තෝබර් 25 වැනිදා ඉදිරිපත් කළ යෝජනාව හේතුවෙන් ඛාටොම් අගනුවර ඇතුළු නගර ගණනාවක ඇති වූ උද්ඝෝෂණ ඇති වූ අතර, හමුදාව විසින් අගමැතිවරයා නිවාස අඩස්සියට පත් කිරීම ද සිදුවිය.

මේ සමගම ”බලය අවශ්‍ය ජනතාවටයි” යන තේමාව ඔස්සේ සංවිධානගත වූ ජනතාව දස දහස් ගණනින් මෙම විරෝධතා සඳහා එක් ව සිටියහ. ඒවාට මර්දනය කිරීම සඳහා හමුදාව මැදිහත් වූ අතර, 50 දෙනෙක් පමණ මේ දක්වා මිය ගොස් තිබේ.

අද දිනයේ ඉල්ලා අස්වීමට පෙර රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ සුඩාන අගමැතිවරයා පැවසුවේ ‘භයානක සන්ධිස්ථානයකට රට පැමිණ ඇති බව”යි. රට විපතෙන් බේරාගැනීමට කළ හැකි හොඳම දෙය ඉල්ලා අස්වීම බව ද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම මගින් සිදුව තිබෙන්නේ සුඩානයේ පාලන බලය හමුදාව අතට සම්පූර්ණයෙන්ම පත්වීමයි.

එය, 2019 වසරේදී සුඩාන‌යේ ඒකාධිපති පාලක ඔමාර් අල්-බෂීර් බලයෙන් පහ කරමින් සුඩාන ජනතාව දුටු ප්‍රජාතන්ත්‍රවාදී සිහිනය ආපස්සට ගෙන යාමක් ද වේ.

නිදහස් දිනය දා සිරගත වූ සුඩානය

එදා 1956 ජනවාරි 1 වැනිදා සුඩානය නිදහස් සහ ස්වෛරී රාජ්‍යයක් යැයි බ්‍රිතාන්‍ය සහ ඊජිප්තු ආණ්ඩු පිළිගත්තේය. ඒ අනුව 1955 දෙසැම්බර් 19 වැනිදා සුඩාන පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව ප්‍රකාශයට පත් කළ ‘නිදහස’ සම්මත විය.

කෙසේ නමුත් 2022 ජනවාරි 1 වැනිදා සුඩානයට සමරන්නට නිදහසක් තිබිණි ද යන්න සැක සහිත ය. සුඩානයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ පළමු නායකයා වන අගමැති අබ්දුල්ලා හැම්ඩොක් ඉල්ලා අස්වන්නේ එයින් දින 2 කට පසුව ය.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම සුඩානයේ හමුදා නායකයන්ට මහත් අභියෝගයක් වනු ඇති බව කියැවේ. එයට හේතුව වන්නේ ඔහුව නිවාස අඩස්සියට පත් කිරීම සහ නොදන්නා ස්ථානයක රඳවා තබාගැනීම තුළින් ඔවුන් බලාපොරොත්තු වූයේ හමුදාව සමග බලය බෙදාගැනීමේ එකඟතාවයට අගමැතිවරයා නම්මවා ගැනීමයි. එසේ වූවා නම් සුඩාන ජනතාව අතර තවමත් ප්‍රජාතන්ත්‍රවාදී අගමැතිවරයාට ජනප්‍රසාදයක් පවතින නිසා, එනයින්ම ජන විරෝධයන් හීන කර හමුදා පාලනයට ජනතාව අතරින් පිළිගැනීමක් ලබාගත හැකිව තිබිණි.

නමුත් හමුදාවේ එම ඉලක්කය වැරදී ගියේය. එය, සිවිල් පාලනයක් වෙවත ආපසු යන බවට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබාදුන් පොරොන්දු සී සී කඩ යැවීමකි. ඒ අනුව සුඩානයට ඉදිරියේදී ඉතා දැඩි අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවනවා ඇත.

වර්තමාන දේශපාලන අර්බුදය තුළ සුඩානය නැවත වරක්, 2019 වසරේදී බලයෙන් පහ කළ දිගුකාලීන ඒකාධිපති පාලකයා වූ ඔමාර් අල් බෂීර් වෙත ම භාරවීමේ දැඩි අවදානමක් ද තිබේ.

සිවිල් පාලනයක් ස්ථාපිත කිරීමට අසමත් වුවහොත් සම්බාධක දැඩි කරන බව ඇමරිකාව විසින් දැනටමත් කියා තිබේ. 1997 වසරේ පටන් ඇමරිකාව සුඩානයට සම්බාධක දමන අතර, 2017 වසරේ පටන් ඔවුන් සම්බාධක ක්‍රමයෙන් අඩු කරමින් ගියේ සුඩානය සිවිල් පාලනය වෙත ආපසු යනු ඇතැයි විශ්වාස කරමිනි. නමුත් ඇති වූ පසු ප්‍රවණතා සමග 2021 වසරේදී නැවත සම්බාධක දැඩි විය. මේ වන විට සුඩානය සැලකෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන දේශයක් ලෙස ය.

සුඩානය මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට ලක් ව සිටින හෙයින් නවතම තත්වය තුළ සුඩාන ජනතාව තවදුරටත් පීඩාවට පත් වනු ඇත.

පෙර ලිපි

සුඩානය නොසන්සුන්! විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වෙත!! විරෝධතා මර්දනයට කඳුලු ගෑස් ප්‍රහාර!!!

හමුදා පාලනය දණ ගස්සවන සුඩානයේ සිවිල් විප්ලවය

Update: කොන්දේසි විරහිතව සිවිල් පාලනයට ආපසු යනු !- ඇමරිකාව සුඩානයට සැරෙන් කියයි

සුඩානය නොසන්සුන් : අගමැති ඇතුළු සිවිල් නායකයන් රැසක් හමුදා අත්අඩංගුවට

ෆේස්බුක් සමාගම සුඩානයේ ගිණුම් රැසක් අක්‍රිය කරයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි