** සංවේදී අය මෙම ඡායාරූප නැරඹීමෙන් වළකින්න…
යුධ වාතාවරණය නිසා යේමනය පුරා දැඩි ආහාර හිඟයක් ඇති වී තිබේ. ඒ හේතුවෙන් දිනකට එහි මිය යන සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අවාසනාවන්ත තත්ත්වය ලෝකයට වඩාත් හොඳින් ඒත්තු ගැන්වුණේ මන්ද පෝෂණයෙන් පෙළෙන අතිශයින්ම දුර්වල දරුවකු යේමනයේ අබ්ස් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන අන්දම මාධ්‍ය හරහා අනාවරණය වීමත් සමඟයි. දරුවාගේ සම හරහා දේහයේ අස්ථි පද්ධතිය පෙනෙන තරමට ඔහු කෘෂ බව දැක්වෙන ඡායාරූප පෙළක් මාධ්‍ය සේවාවන් පළ කර තිබිණ.
මානුෂිය ආධාර ලබාදීමේ වැඩ පිළිවෙල යටතේ ආහාර අවශ්‍ය ජනතාවට ආහාර ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇත. මිලියන 29ක් වූ එරට ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් ජීවත් වන්නේ මානුෂීය ආධාර ලබාදෙන බටහිර ඒජන්සි කෙරෙහි විශ්වාසය තබාගෙන බව සඳහන් වේ. මානුෂීය ආධාර ලබා දුන්න ද මන්ද පෝෂණයෙන් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව පසුගිය වසරේ සිට ඉහළ යමින් ඇත. මේ නිසා තම දරුවන් අසීමිත ලෙස දුකට පත්ව වේදනා විඳිනුත් ඇතැම් විට මිය ඇදෙනුත් බලා සිටින්නට එහි දෙමව්පියන්ට සිදුව ඇත.
යේමනය තදබල සිවිල් යුධයකට පැටලුණේ 2015 වසරේ සිටය. සිවිල් අරගලය ඇති වන්නට මුල් වූයේ යේමනයේ හොවුති (හුතී) කැරළිකරුවන්ගේ ප්‍රහාරයන් බව දැක්වේ. හොවුති කැරළිකරුවන්ගේ පහරදීම් 2004 වසරේ සිට ක්‍රියාත්මක වෙමින් පැවතියත් දේශපාලන අස්ථාවර භාවයත් සමඟ එය උත්සන්න තත්ත්වයකට පත් වූයේ 2014 වසරේ සැප්තැම්බර් මාසයේ සිටයි. ඒ, කැරළිකරුවන් යේමනයේ අගනුවර වන සනා නගරය සියතට ගැනීමත් සමඟිනි. හොවුති කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට අමතරව අරාබි අර්ධද්වීපයේ අල්ඛයිඩා සන්නද්ධකාමීන්ගේත් ඉරාක අයි.එස්. සන්නද්ධකාමීන්ගේත් ප්‍රහාරවලට මුහුණ දෙන්නට යේමන ජනයාට සිදු ව ඇත.
හොවුති කැරළිකරුවන් වඩාත් ප්‍රබල තැනකට පත් වුණේ බලයෙන් පහ කෙරුණු යේමන ජනාධිපති අලි අබ්දුල්ලාහ් සලේහ්ගේ සහය, කැරළිකරුවන්ට ලැබීමට පටන් ගත් පසු යි. 2012දී බලයෙන් පහ කෙරුණු අලි අබ්ල්ලාහ්ගේ මැදිහත් වීමෙන් ශක්තිමත් වුණු හොවුති සටන්කරුවන් නිසා යේමනයේ ජනාධිපති අබ්ද්‍රබ්බුහ් මන්සූර් හාදිට හිස ඔසවන්නට බැරි තත්ත්වයක් උදා විණ. හොවුති සටන්කරුවන් 2015 ජනවාරි මාසයේදී ජනාධිපති මන්දිරය වටලමින් පාලන බලයට බලපෑම් කිරීමත් සමඟම හාදිගේ රජය පාලනයෙන් ඉවත් විණ.
අබ්ද්‍රබ්බුහ් මන්සූර් හාදිගේ කැමත්ත මත අප්‍රිකා සහ මැද පෙරදිග රාජ්‍යය නවයක්, තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූයේය. එකී මැදිහත් වීම් සමඟ හොවුති සටන්කරුවන්ට එල්ලවන බෝම්බ ප්‍රහාර වැඩි විණ. හොවුති කැරළිකරුවන් ඉලක්ක කරගෙන ඒකාබද්ධ හමුදාව හෙලන බෝම්බවලින් වැඩිම බලපෑමක් ඇතිවූයේ සිවිල් වැසියන්ට ය. එය අන්තර්ජාතික ප්‍රජාවගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. අනෙක් අතට ඒකාබද්ධ හමුදාවන්ගේ මැදිහත් වීම මත යේමනයේ නෞක මාර්ග අවහිර කෙරිණ. එයත් බරපතල ලෙසම බලපෑවේ සිවිල් වැසියන්ගේ ජන ජීවිතවලට ය. විදේශයන්හි සිට ලැබෙන ආධාර තොග එරට අභ්‍යන්තරයට ගෙන එන්නට ක්‍රමයක් නැති විණ. මේ නිසා ආධාර ලැබෙමින් පවතිද්දී වුවද සාගතයෙන් මෙන්ම ප්‍රතිකාර නැතිව දුක් විඳින්නට යේමනයේ සාමාන්‍ය ජනයාට සිදු තිබේ.
එකී සිද්ධි දාමය සිදුවන අතර තුරදී සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගන්නට අමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ආධාර දෙමින් සිටින වග අනාවරණය විණ. ඒ අනුව, අහිංසක සිවිල් වැසියන් ප්‍රහාරවලට සහ අවශේෂ පීඩනයන්ට හසුවන්නේ ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ අනුදැනුම මතය යන්න ලෝකයට දැන් රහසක් නොවේ.
යේමනයේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ කටයුතු කරන ඒජන්සිය පසුගිය දා නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ යේමනයේ වෙසෙන මිලියන 22.2කට මානුෂීය ආධාර අවශ්‍ය බවකි. ඒ අනුව යේමනයේ ජනගහනයෙන් 75%කට මානුෂීය ආධාර අවශ්‍ය බැව් ජගත් සංවිධානයත් පිළිගනී. එය බෙහෙවින්ම ඛේදනීය තත්ත්වයකි.
පෙර ලිපි-
යේමනයේ පාසල් බස් රථයකට ගුවනින් ප්‍රහාර
කොළරා වසංගතයත් යේමනය ගිල ගනියි.
යේමනයේ ප්‍රධානම වරායකට සෞදි හමුදා ප්‍රහාර
යේමනයේ හුතී සටන්කාමීන් ජනපති අලි අබ්දුල්ලා සාලේ මැරුවේ ඇයි?