විශේෂාංග

අයියෝ ජෙසින්ඩා පිස්සු කෙළින්න එපා.. ඇදගෙන යන හැටි අපෙන් ඉගෙන ගන්න!

නවසීලන්තේ අගමැතිනි ජෙසින්ඩා ආර්ඩන් තනතුරින් ඉල්ලා අස්වෙන පුවත හැමතැනම සංසරණය වෙනවා.. තමා නියෝජනය කරන කම්කරු පක්ෂයට ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම ඉදිරියේදී අසීරුවන නිසා ලු ඇය ඒ තීරණය අරන් තියෙන්නේ.. ගතවූ වසර 06 ක කාලය ඉතා අසීරුවෙන් තම වෘත්තිය කළ බවත් එය තවදුරටත් තමාට දරා ගත නොහැකි බවත් ඇය පවසනවා.

ඉතිං එළඹෙන ඉරිදා ඈ වෙනුවට නවසීලන්තයේ අග්‍රාමාත්‍යධුරයට පත්වීමට අදාළ නිලවරණය කම්කරු පක්ෂය විසින් පැවැත්වෙන බවයි කියන්නේ.

ජෙසින්ඩා, වගකිවයුතු රජයේ නියෝජිතයකු වශයෙන් ඔබ ගත් තීරණයට අප හිස නමා ආචාර කරනවා.. ඒත් ජෙසින්ඩා.. පිස්සු නම් කෙළින්න එපා!

නවසීලන්තයේ මන්ත්‍රීවරුන්ගේ අගමැතිවරුන්ගේ ගෙවල් ගිනිතියලා නැතුව ඇති.. ගිනිතිබ්බාම, සමාජ වෙනසක් ඉල්ලන තරුණ ප්‍රජාවට ඇඟිල්ල දිගුකරන්නේ නැතුව ඇති.. රටේ අන් සියලු ප්‍රමුඛතාවලට ප්‍රතිපාදන වෙන්කිරීම පසෙකලා ගිනිගත්ත ගෙවල්වලට වන්දි ඉල්ලලා දින ගනන් පාර්ලිමේන්තුවේ වාද විවාද කරන්නේත් නැතුව ඇති.. රටේ මිනිස්සු බඩගින්නේ මැරුනත් තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂාකර ගැනීම රටේ අංක එකේ ප්‍රමුඛතාවය නෙමෙයි වෙන්න ඇති..

ඒත් ජෙසින්ඩා, පොලිටික්ස් ගැන මීට වඩා ටිකක් හැදෑරුවොත් නරක ද? ඡන්ද පදනම නැත්තටම නැතිවෙලා නන්නත්තාර වෙලා හොට බිම ඇනිලාත් නැවත මුලු රටක්ම බලයෙන් අල්ලගත්ත රට කරවන අය ගැන අහලාම නැද්ද?

එක උදාහරණයක් කියන්නම්.. මුහුදෙන් වටවුනු දූපතක් වන් එක්තරා රටක, වතුර ඉල්ලන් ආපු පිරිසකට ආණ්ඩුව විසින් ගත්තු මෝඩ තීන්දුවක් නිසා හමුදාව යොදවලා අමානුෂික අන්දමින් වෙඩි තිබ්බාලු.. ඒකෙන් පාසල් දරුවකු ද ඇතුළුව මිනිසුන් මිය ගියාලු.. මාධ්‍ය මර්දනය ලොකුවම සිදුවුනා ලු. මිනිසුන් අතුරුදන් කෙරෙව්වා ලු. සමහරු මැරෙව්වා ලු. ජනාධිපතිවරණයක් ආවා, ඒකෙන් අම්බානක පරාජයක් ඔවුනට අත්වුනාලු.. හැමෝම හිතුවේ ආයේ මුන්ට ඒ හතර මායිමේ පස් පාගන්න බැරිවෙයි කියලා. හැබැයි ඊට අවුරුදු 03 කට පස්සේ ඒ වෙඩි කාපු මිනිස්සු හිටපු පළාතෙම පළාත් පාලන මැතිවරණයෙන් මේ වෙඩි තියපු මිනිස්සු ඉහළම ජයක් ලැබුවා ලු.. එතනිනුත් නතර නොවී මේ පිළ නතර වුනේ ආපහු වතාවක් තිබුණතටත් වඩා මහා විශාල ඡන්ද පදනමක් හදාගෙන ඊළඟ ජනාධිපතිවරණ මහ මැතිවරණ පවා ජයග්‍රණය කරමින්ලු. ඒ විතර ද, ඊට පස්සේ දෙවෙනි වතාවටත් ජනතාවට මේ පිළ එපාවෙලා එලෙව්වා ලු. අන්න දැන් ආයෙම තනතුරු නිලතල අල්ලගෙන ඉන්නවා.. ඡන්ද පදනම හදාගැනීමේ ක්‍රියාන්විතය දියත් කරනවා ලු. එහෙම වුනේ කොහොමද කියලා පොඩ්ඩක් අන්තර්ජාලේ සැරිසරලා තොරතුරු කියවලා බලන්න.. පොලිටික්ස් කියන්නේ ඒවා තමයි ජෙසින්ඩා.

ඔබ තවම 42 හැවිරිදි වියේ, අපේ දේශපාලන අත්දැකීම් සහ නිර්වචනයන් අනුව නම් තාම ලාබාල මහජන නියෝජිතවරියක්.. ඔබ නියෝජනය කරන්නේ නවසීලන්තයේ වාමාංශික දේශපාලන ධාරාව. නවසීලන්තයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරිය වීමෙන් ඔබ ලොවටම ආදර්ශයක් සැපයූවා.. ජාතිවාදී ප්‍රහාර පිටුදකිමින්, විවිධත්වයට ගරුකරමින් සුළුතර ජනකාණ්ඩ සමඟ දූවිල්ලේ හිටගත් අයුරු අප දුටුවා. වසංගතයක් වෙලාවේ රටේ ආර්ථිකයත් කලමනාකරණය කරගනිමින් මිනිසුන්ගේ ජීවිත බේරාගත් අයුරු අප දුටුවා. අච්චර දියුණු ඇමරිකාවෙ පවා මිනිස්සු ලක්ෂ ගණන් මැරෙනකොට ලෝකය ඉදිරියේ ආර්ථික-දේශපාලනික-සමාජීය ප්‍රපංචයක් බවට නවසීලන්තය පත්කිරීමට ඔබ සමත් වූවා. ඒත් දැන් මොකද්දෝ ‘මෙව්වා එකකට’ හිත රිදිලා ද කොහෙද ධුරයෙන් ඉල්ලා අස්වෙන්න හදනවා. ඔබගේ නික්ම යාම ඔබ සත්භාවයෙන් ගත් තීරණයක් වෙන්න ඇති. මෙච්චර හම්බල්කමක් අපි නම් දැක්කමයි.. මෙහෙ ඉන්න වාමාංශිකයො අතරවත් ඔහොම හම්බල්කමක් අපි දැකලා නෑ ජෙසින්ඩා. ඒත් ඔයතරම් හම්බල්කමකට මේ සමාජ ක්‍රමය දුවවන දැතිරෝද නතරකරන්න පුළුවන් ද ජෙසින්ඩා?

නවසීලන්තය කියන්නේ සංවර්ධිත රටක්.. ඒ රටේ දෘෂ්ඨිවාදය අනුව ඉල්ලීම්, අර්බුද, අරගල මෙහෙ සිද්ධවෙන ඉල්ලීම්, අර්බුද, අරගලවලට වඩා ගොඩාක් සංකීර්ණ ඇති.. ඔබගේ අත්දැකීම් අනුව ඒ ඉල්ලීම්, අර්බුද, අරගලවලට පිළිතුරු සැපයීමට ඔබගේ පක්ෂයට ඇති හැකියාව පිළිබඳ ඔබ සතුව තක්සේරුවක් ඇති. ඔබේ පොපියුලැරිටි එක බහිනවා කියලා ඔබට හිතෙනවා ඇති. ඒත් ජෙසින්ඩා, ඉල්ලා අස්වෙන්න තරම් ඔබ කළ වරදක් තිබෙනවා ද? සමානාත්මතාවය වෙනුවෙන් අව්‍යාජ සටනක යෙදීම ද ඔබ කළ වරද? පටන් ගන්නකොටම පිස්සු කෙළින්න එපා කියලා මම කිව්වේ ඒකයි.. දූෂණය, මැරබලය, ප්‍රජාතන්ත්‍රවාදය කඩ කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ආර්ථිකය සුනුවිසුණුකර දැමීම ආදී කරුණුවලින් කප්ගහපු මිනිස්සු පවා බලයේ ඉන්න රටවල් තිබෙන ලෝකයක් මේක. ඔවුන් බලය ඉල්ලන්නේ නමේ කිලිටි වහගන්න, සුඛ විහරණවල කිමිදෙන්න මිසක් ජනතාවට සේවය කරන්න නෙමෙයි. ලැජ්ජාවක් කියා දෙයක් ඔවුන්ගේ නහරවල ගමන්කරන්නේ වත් නැහැ.

එහෙම තියෙද්දීත් ඔවුන් බලයේ ඉන්නවා.. ජනතාවත් ඡන්දය දෙනවා.. ඉතිං ඔවුන්ට පුළුවන් නම් ඇයි ඔබට බැරි?

සමනලුන් අල්ලන දැලක් අතැතිව රකුසන් අල්ලාදෙන බවට පොරොන්දු දෙන, අර ඉංග්‍රීසි වහරේ කියනවා වගේ ‘බුල්ෂිටිං’ දේශපාලනයේ නිරතවන පිරිසක් අතර, ඔබගේ පරිපාලනය සමාජ ප්‍රගමනයක අපේක්ෂාව දරන වැසියන්ගේ හෘදසාක්ෂිය ජීවත් කරවූවා ජෙසින්ඩා. ‘බුල්ෂිටිං’ සමාජ ක්‍රමයක ‘බුල්ෂිටිං’ නොවී සිටීමට මිනිසුන්ට කියා දුන්නා.

මඩ ගොහොරුවක බිහිවෙලා මඩින් මිදිලා පිපෙන නෙලුම් මලකට මේ පැත්තේ ගොඩක් අය අදහන බුදුහාමුදුරුවෝ සමාන කරලා තියනවා ජෙසින්ඩා. ඒ වගේම එහෙම මඩින් මිදුනාම නැවත ඒ මඩගොහොරුවටම තල්ලුකරන්න විවිධ කණ්ඩායම් වෙරදරපු හැටි ගැනත් බුද්ධ චරිතයේ කතාන්දරවල අහලා තියනවා. ඔබ අදහන කිතුණු දහමෙත් යේසුස් ක්‍රිස්තුස්තුමන්ට කළ කෙනහිලිකම් මේ වගේම ඇති. මේක හුදෙක් ආගමික ප්‍රබන්ධයක් නෙමෙයි ජෙසින්ඩා. සමාජ ප්‍රපංච නිර්මාණය වෙන ඕනෑම තැනක මේ තිත්ත ඇත්ත දකින්න පුළුවන්. ඔබ ලෝකයක් ඉදිරියේ ප්‍රපංචයක් බවට පත්වූවා, ඔබ ඔබගේ රට ලෝකය ඉදිරියේ ප්‍රපංචයක් බවට පත් කළා. ඔබට කෙනහිලිකම් කරපු ‘මිසෝජිනිස්ට්’ බලවේග ගැන අප අසා තිබෙනවා, ඔබගේ කකුලින් ඇදපු පිරිස් ද ඔබ සමඟ සිටින්නට ඇති.

එහෙත් පසු බැසීම ඊට පිළිතුර ද?

කියමනක් තියනවා පළමුවෙන්ම ඉර පායන රටක් නවසීලන්තය කියා.. එහෙම උදාවෙන ඉර ඉස්සෙල්ලාම බැහැලා යන්නෙත් නවසීලන්තයෙන්ලු.. ඔබ ඔබගේ හම්බල්කම නිසා අද නික්ම යනවා ඇති. ඒත් ඔබගේ නික්ම යාමෙන් ඔබව අහිමි වන්නේ නවසීලන්තයට නෙමෙයි ජෙසින්ඩා.. ඔබගේ නික්ම යාමෙන් ඔබව සැබවින්ම අහිමි වන්නේ මේ ජරාජීරණ දේශපාලන ක්‍රමයෙන් බැටකන සියල්ලටමයි.. නවසීලන්තය පමණක් නොවෙයි.. ඔබගේ නික්ම යාම, මුලුමහත් ගෝලීය දේශපාලන ප්‍රවාහය තුළ පිළිකාවක් මෙන් ව්‍යාප්තවෙමින් තිබෙන, ජනප්‍රියතාවාදය නැමති දේදුනු වර්ණැති වෙස්මුහුණෙන් මිනිසුන් අන්දා තිබෙන අන්ත දක්ෂිණාංශික ප්‍රොපගැන්ඩාවට තවතවත් පාර කපාවි..

ඡායාරූප: ගෙටී ඉමේජස්

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

4 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

5 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

6 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

7 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

7 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

21 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

24 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago