චරිත

සැබෑ ලෝකයේ ප්‍රාණ ත්‍යාගියා – දරුවන් ලක්ෂ 24කට ලේ දුන් ජේම්ස් හැරිසන්

සිංහලේ, දෙමලේ යනාදී වශයෙන් අලුත් ලේ වර්ග සොයාගත් රටකට මේ මිනිසා කියා දෙන පාඩම ‘‘ලොව ඇත්තේ එකම එක ජාතියයි, එය මනුෂ්‍ය ජාතිය නම් වේ‘‘ යන්නයි.

ඔස්ට්‍රේලියාවේ ජේම්ස් හැරිසන්, රුධිරය පරිත්‍යාග කිරීම මගින්, රටේ දරුවන් මිලියන 2.4 ක ගේ ජීවිත බේරාගත්තේය. මේ සංඛ්‍යාලේඛන හුදු අනුමානයන් නොවේ. ඒවා ලබාදෙන්නේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ඔස්ට්‍රේලියානු ශාඛාවයි (Australian Red Cross Blood Service).

ලෝකයේ වැඩිම වාර ගණනක් ලේ දුන් මිනිසා වශයෙන් 2003 වසරේ පටන් ගිනස් වාර්තාව හොබවන්නේ ඔහු ය. ඔහුට ලබාදී තිබෙන අන්වර්ථ නාමය වන්නේ ‘ගෝල්ඩන් ආම්‘ (Golden Arm) හෙවත් ‘ස්වර්ණමය හස්තය‘ යි. ඔහු 2018 ජූනි මාසය වන තෙක්, රුධිර පරිත්‍යාගය සඳහා ඒ ස්වර්ණමය හස්තය දිගු කළේය. දැන් ඔහු 82 හැවිරිදි ය.

ඔව්, ඔහුගේ රුධිර ප්ලාස්මාවල විශේෂත්වයක් තිබේ. ඒවා ප්‍රති -D ප්‍රතිජීවක හෙවත් anti-D antibodies වලින් අති පොහොසත් ය. වෛද්‍ය වෘත්තියේදී මේවා Anti-D products යනුවෙන් හඳුන්වයි. ඒවායින් සෛල තුළ නිපදවෙන anti-D immunoglobulin නමැති ඉමියුනෝග්ලොබියුලිනය, රීසස් රෝගය සඳහා ස්වර්ණමය ඔසුවකි. රීසස් රුධිර සාධකය හේතුවෙන් ජන්ම රෝගී තත්වය ට ගොදුරු වූ (රීසස් රෝගයට ගොදුරු වූ) ළදරුවන්ගේ ජීවිත බේරාගැනීමට නම් ඔවුන්ට වහාම මෙම ප්‍රතිදේහය ලබාදිය යුතුය.

මේ ගුණය ජේම්ස් හැරිසන්ගේ රුධිරයට ලැබුණේ උපතින් හෝ සොබාදහමෙන් ලබාදුන් වාසනා මහිමයක් ලෙස නොවේ. මරුවා සමග කළ සටනේ සහ කෘතවේදිත්වයේ සංකේතයක් ලෙස ය.

කෘතවේදිත්වයේ සංකේතය

1951 වසරේදී ජේම්ස් ක්‍රිස්ටෝපර් හැරිසන්, වයස අවුරුදු 14 ක් වූ කොලුගැටයෙකි. ඔහුට අති දැවැන්ත පෙණහළු සැත්කමකට මුහුණ දෙන්නට සිදුව තිබිණි. පැය ගණනක් තිස්සේ සිදුකෙරුණු සැත්කමේදී වෛද්‍යවරුන් විසින් ඔහුගේ එක් පෙණහැල්ලක් ඉවත් කර තිබිණි. මාස 3 ක් තිස්සේ ඔහු රෝහල්ගත ව සිටියේය.

ජේම්ස් හැරිසන් ජීවිතය බේරාගත්තේ, අති විශාල රුධිර පරිමාණයක් ඔහුට ලබාදීම නිසා යැයි ඔහුගේ පියා නිතර කීවේය. ඒ රුධිරයේ හිමිකරුවන් කවුදැයි නොදන්නා නමුත් ඔහු නිරතුරුව ඔවුන්ට ස්තූතිවන්ත විය.

‘‘තාත්තා කිව්වා, මට රුධිරය ලීටර 13 ක් ලබාදුන්නා කියලා.. මගේ ජීවිතය බේරාගත් ඒ මිනිසුන් කවුද කියා මම අදටවත් දන්නේ නැහැ.“ යැයි ජේම්ස් හැරිසන් පසුකලෙක CNN පුවත්සේවයේ වෛද්‍ය සන්ජේ ගුප්තා සමග කියයි.

පුතාට ද ඒ මනුෂ්‍යත්වයට කෘත ගුණ සලකන්නට උවමනා විය. නමුත් හරහට සිටියේ ජේම්ස්ගේ වයසයි. එකල ඔස්ට්‍රේලියාවේ පැවති නීතිරීතිවලට අනුව රුධිර පාරවිලයනය සඳහා තිබූ අවම නෛතික වයස අවුරුදු 18 ක් විය. වයස 18 ට එළඹි විගස තමන් ලේ දන්දීම පටන් ගන්නා බව ජේම්ස් හැරිසන් තාත්තාට දිවුරා කීවේය. කී ලෙසටම කළේය. පුරා 60 අවුරුද්දක්ම නොකඩවා එය කළේය.

රුධිරයේ දුලබ ගුණයක්

ඒ 1967 වසරයි.  ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය ක්ෂේත්‍රය කැළඹී සිටියේ, දහස් ගණන් ළදරුවන් ගබ්සාවීම්වලට ලක්වන්නේ මන්ද, මළ දරු උපත් ඉහළ යන්නේ මන්ද සහ, මොළයේ දුර්වලතා සහිත දරුවන් උපත ලබන්නේ මන්ද යන්න තේරුම් කර ගත නොහැකිව ය. වසරකට දහස් ගණන් දරුවෝ මිය යමින් සිටියහ. අමාරුවෙන් දිවි බේරාගත් දරුවෝ HDN හෝ HDFN යන කෙටි නමින් හඳුන්වන hemolytic disease තත්වයෙන් පෙළෙමින් සිටියහ. මවගේ කළල බන්ධය (වැදෑමහ) විසින්ම, දරුවන්ට මාරක රුධිර ජන්ම රෝගයක් දායාද කරමින් තිබිණි. ඒ වන විට දැන සිටි කරුණු අනුව, මේ තත්වය ඇති වන්නේ රිසස් + සාධකය (Rh-positive) සහිත දරුවෙකු, රීසස් – සාධකය(Rh-negative) සහිත මවකගේ කුස පිළිසිඳගත් විට ය. මේ රුධිර ගණ වෙනසට ප්‍රතිචාර ලෙස මවගේ ශරීරය, ඇගේම ලෙයින් මසින් සැදුණු බිළිඳා ආගන්තුක වස්තුවක් සේ සලකා ප්‍රතික්ෂේප කරයි.

HDN නිවාරණය සඳහා කළ යුතුව තිබුණේ පරිත්‍යාග කළ රුධිර ප්ලාස්මාවලින් ලබාගන්නා ප්‍රතිදේහයකිනි. එහි නම anti-D immunoglobulin ය. එම ප්‍රතිදේහය අති දුර්ලභ ය. පර්යේෂකයෝ ලේ බැංකු පීරමින්, ඒවායේ ගබඩා කර තිබෙන ලේ වල මෙම දුලබ සාධකය තිබේදැයි බලන්නට වූහ. නිව් සවුත් වේල්ස් ජනපදයේ සිට පැමිණ ලේ දන් දුන්නෙකු පමණක් ඔවුන්ට හඳුනාගත හැකි විය. ඒ, ජේම්ස් හැරිසන් ය!

Anti-D Program නමින් හැඳින්වුණු මෙම රීසස් රෝගයෙන් මිය යන දරුවන් බේරාගැනීම සඳහා රුධිරය නොකඩවා රුධිරය පරිත්‍යාග කිරීමට කැමතිදැයි ඔස්ට්‍රේලියාවේ රතු කුරුස සංවිධානය ජේම්ස් හැරිසන්ගෙන් ඇසූ විට ඔහු ඒ ගැන දෙවරක් සිතුවේ නැත.

හැරිසන්ගේ රුධිර ප්ලාස්මාවලින් පසුකලෙක Anti-D එන්නත නිපදවිණි. මේ සුවිශේෂී පුද්ගලයා නොවන්නට දස ලක්ෂ ගණන් ජීවිත බේරාගත් මේ එන්නත සොයාගැනෙන්නේ නැත. එම පළමු එන්නත 1967 වසරේදී රාජකීය ඇල්ෆ්‍රඩ් කුමාර රෝහලේදී ගැබිණි කාන්තාවකට ලබාදෙනු ලැබීය. ඇය බිහිකළ දරුවා නිරෝගිමත්ව සිනාසුණේය.

රටේ මව්වරුන්ගෙන් 17%ක් දරු සුරතල් බලන්නේ ඔහු නිසා ය.

ඔස්ට්‍රේලියාවේ ගැබිණි මව්වරුන්ගෙන් 17%කට මෙම එන්නත අනිවාර්යයෙන් අවශ්‍ය වේ. ඒ අනුව රතුකුරුස සංවිධානය නිවැරදි ලෙස ඇස්තමේන්තු කරන්නේ රටේ මිලියන 2.4 ක් ළදරුවන් ජේම්ස් හැරිසන් නිසා ජීවිතය ලබන්නට ඇති බවයි.

ජේම්ස් හැරිසන්ගේ රුධිරයේ ස්වභාවිකවම මෙම සුවිශේෂී ප්‍රතිජීවකය නිපදවෙන්නේ මන්දැයි විද්‍යාඥයෝ තවම නොදනිති. ඔවුන් අනුමාන කරන්නේ ගැටවරයෙකුව සිටියදී ලබාදුන් දැවැන්ත රුධිර පරිමාවන් හේතුවෙන් එසේ වන්නට ඇති බවයි. 1999 වසරේදී ජේම්ස් හැරිසන්, Medal of the Order of Australia (OAM) සම්මානයෙන් පිදුම් ලැබීය.

2015 වසරේදී ජේම්ස් හැරිසන් 1001 වැනි වතාවටත් ලේ දුන්නේය. ‘‘සමහරවිට මගෙ එකම දක්ෂකම රුධිර පරිත්‍යාග කිරීම වෙන්න පුළුවන්‘ යැයි එදා ඔහු සිනාසෙමින් කීවේය. වයස 81 ක් වන තෙක්ම, ලේ දන්දීම නැවැත්වීම ගැන තමන් කිසිම විටෙක සලකා නොබැලූ බව ද ඔහු කියා තිබේ.

අවසානයේදී වයස අවුරුදු 81 දී ඔහු ලේ දන්දීම නවත්වන්නේ ඔහුගේ වයස හරස් වන නිසා ය. ඒ ද, ඔහුගේ තීරණයක් මත නොව, ඔහුගේ සෞඛ්‍ය තත්වය හා වයස අනුව, ඔහු දැන් ලේ දන්දීම නැවැත්විය යුතුයැයි රතුකුරුස සංවිධානය විසින්ම තීරණය කළ නිසා ය. ඒ වන විට 1173 වාරයක් ඔහු විසින් ලේ දන් දී තිබිණි. එදා රිදී බැලුන ඔහුගේ සයනය වටා එල්ලා තිබිණි. ඔහු නිසා දිවි බේරාගත් ළදරුවන් ද සමග ඔහුට තමන් දිවි හිමියෙන් ණය ගැති බව කීමට මව්වරු ගණනාවක් ද පැමිණ සිටියෝය. එදත්, අදත් ජේම්ස් හැරිසන් එන්නත් කටුවලට කැමති නැත. නමුත් ඔහු දෑස් තරයේ පියාගෙන තමන්ගේ බාහුව ඔස්සේ ලේ ගලායන රිද්මය සමග ඒකාත්මික වෙමින් තමන්ම තෝරාගත් ජීවිතය සතුටින් ඉවසාගෙන සිටියේය.  සුපුරුදු පරිදි එන්නත් කටුව සම පසාරු කරගෙන යන විට ඉවත බලා ගත්තේය. සිනාමුසු මුහුණින් සිය යුතුකම කළේය.

එදා ඔහුට දුන් රුධිරය ලීටර 13 මෙන් දහස් ගුණයක් ආපසු දී ඔහු සිය ණය ගෙවා අවසන් කළේය.

‘‘ඔහු වැනි තවත් කෙනෙක් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ..“ යැයි රතුකුරුස සංවිධානය පවසයි. ජීවිත මිලියන 2.4 ක් බේරාගන්නට තරම් ඔහුගේ නහර ශක්තිමත්. ඔව්, ඇත්ත. මේ ලෝකයට අවශ්‍ය වන්නේ එවැනි ‘නහරකාරයන්‘ ය.

Help us thank the man who has given more blood donations than anyone else on the planet! යනුවෙන් ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය මේ මහා මිනිසා සැමරීම සඳහාම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එහිදී ඔවුන් ඉල්ලා තිබුණේ ඡායාරූප හෝ වීඩියෝ පණිවුඩයක් හෝ පෝස්ට් එකක් හෝ ප්‍රසන්ටේෂන් එකක් හරහා මේ මිනිසාට සුබ පැතීමට එක්වන ලෙස ය. ‍

මේ සියල්ල මෙසේ සිදුවෙමින් තිබියදී, මාධ්‍යවේදියෙකු ඔහුගෙන් මෙසේ ඇසුවේය. ‘‘ඔබ විශේෂ කෙනෙක් කියල ඔබට හිතෙන්නෙ නැත්ද?“

ජේම්ස් හැරිසන් සිනාමුසු මුහුණින් යුතුව ඇස් දෙක නැවත තද කරගෙන හිස සළා නැතැයි කීවේය.

ජේම්ස් හැරිසන්ගේ සැබෑ විශේෂත්වය එයයි. තමා මහා පුරුෂයෙක් යැයි ඔහු කිසිදා සිතුවේ නැත. ඒ වෙනුවට ඔහු කීවේ තමන් තැබුවේ වාර්තාවක් නම්, ඒ වාර්තාව කිසිවෙකු විසින් බිඳ දමනවා බලන්නට තමන් කැමති බවයි.

ජේම්ස් හැරිසන් ලබාදුන් රුධිරයෙන් ජීවිතය ලැබූ ලක්ෂ 24 කවුද?

ඔවුන්ට ජාති භේදයක් ආගම් භේදයක් නැත.

ඔස්ට්‍රේලියාව බහුවාර්ගික විවිධත්වයෙන් පිරිපුන් රටකි. විවිධ වර්ගවලට, විවිධ ජාතිවලට අයත් ජනයා එහි වෙසෙති. ඒ ආදරණීය මිනිසා, ජේම්ස් හැරිසන්, තමන්ගේ ලේ ලබාදිය යුත්තේ කාටදැයි කිසිදා කොන්දේසි දැමුවේ නැත. තමන්ගේ මුණුබුරන් දෙදෙනෙකුට ද තම ප්ලාස්මාවලින් ප්‍රතිකාර කළ බව පමණක් ඔහු දනියි. ඒ හැරුණු විට, අවම වශයෙන් අනෙක් දරුවන්ගේ ජාතිය හෝ වර්ගය කුමක්දැයි ඔහු කිසිදා සොයාබැලුවේ නැත. සිංහලේ, මරක්කලේ යනුවෙන් අලුත් ලේ කාණ්ඩ සොයාගෙන ඇති ලංකාව වැනි දූපතකට ජේම්ස් හැරිසන් කියා දෙන සැබෑ පාඩම වන්නේ මනුෂ්‍යත්වයයි. ‘‘ලොව ඇත්තේ එකම එක ජාතියයි. එය මනුෂ්‍ය ජාතිය වේ‘‘ යන්නයි.

සැබෑ පරිත්‍යාගය වන්නේ කිසිවක් නොපතා- හැකි දේ දීමයි. ඒ අර්ථයෙන් ගත් විට ඔස්ට්‍රේලියාවේ ජේම්ස් හැරිසන් ට සම කළ හැකි ප්‍රාණත්‍යාගී මිනිසෙක් මේ ලොවේ තවත් සිටියිද යන්න සැක සහිත ය.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

3 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

4 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

5 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

20 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago