සුන්දරත්වය ඇය ය; සුන්දර ම දෙය ඇය ය.

හිරු එළිය විසින් ඇගේ කියඹුවැල් සිපගත් අයුරු මට මතක තිබේ. ඈ හිස හැරවූවාය. එවිට මම ඇගේ වුවනත දුටිමි. ඈ තවත් මදක් හිස හැරවුවා ය. එවිට අපේ නෙත් මුණ ගැසිණි. අපි එකිනෙකා දෙස මොහොතක් බලා සිටියෙමු. අප සිටි පන්ති කාමරය කර්කශ බව මට හැඟිණි. සුන්දරත්වය ඇයගේ ය. සුන්දර ම දෙය ඇය ය.

ඒ මොහොතේ ප්‍රථම ප්‍රේමයේ ඇඞ්ලිනරීන් ධාරාව මගේ නහර වැල් විනිවිද යමින් ගලා යන්නට පටන් ගත්තේ ය. එය මියෙන තුරු ම නොමියෙන අහිංසක වේදනාවකි.

ඇගේ නම රැෂෙල් විය. දැන් අනුරාගයකින් තොරව සිහිපත් කළ හැකි අපේ කථාන්දරය මේ කාලයේ හැටියට අවලංගු එකකැයි ද මට සැක සිතෙයි. ඒත් ඒ ගැන කවුරු දනිත් ද?

සිදුවූ සියලු දේ සලකා බලන විට අහිංසක කම යනු අමනෝඥ කමකැයි ද සිතිය හැකිය. එය කුමක් වුණත් පාසල් සමයේ මේරූ පේ්්‍රමය සමග මම උසස් පාසලට ඇතුළත් වීමි.

ඇගේ අල්ප දසුනක් හෝ පැතුවෙමි. සන්ධ්‍යාවේ සෙවණැලි තුළ සැඟවී මලානික ශීත සෘතු ආලෝකයේ නැහැවෙමින් ඇගේ ජනෙල් පියනේ වැදුණු අවාසනාවන්ත ගිම්හාන කෘමියෙකු වීමි. ඒ සිහිමුළා වූ ක්ලාන්ත ගතිය විරාගික වූ නමුත් හදිසිකාර හා ඇබ්බැහිවනසුලු විය. දැන්, එළිනොවන සිහිනයක් සේ දිස්වන ඒ ආලය ගැන කීමේදී මගේ කටහඬ අද ද බිඳී යයි. එය මට දුකක් බව දැනුණු මුත් ඒ දුකින් මිදීමේ උවමනාවක් මා වෙත කිසිසේත් ම නොවීය. එය විඳවිය යුතු ම ආලයකි.

තුරු පෙළින් සුසැදි ප්‍රවේශ මග දිගේ යන අතර හෝ පාසලේ සිට එන අතර මට ඇගේ දසුන නෙත ගැටේ. එවිට මම අප්‍රාණික වෙමි. ඈ ඒ සෑම විටෙක ම තැන්පත් ව සිටියාය. යටත් පිරිසෙයින් එසේ පෙන්වූවාය. මද වශයෙන් පුදුම වූ බවක් ද ඇගේ වුවනතෙහි විය. නිවසේ දී තනි වූ විට මට තවත් මානසික ප්‍රහාරයක ට ලක්වීමට සිදුවිය. මගේ කතෝලික චකිතය සහ ඇගේ සධාර්මික යුදෙව් ශික්ෂණය අනුව ඈ ව සිතින් සිප ගැනීම පවා සිහිනයක් ම පමණක් යැයි මට සිතිණි. වයසින් වැඩී නව යොවුන් විය හා තරුණ විය ට පිළිපන් පසුව ද මේ චකිතය එසේම විය. මට මා අන් කවරදාටත් වඩා අප්‍රිය වන්නට විය.

නමුත් රැෂෙල් පිළිබඳ මසිතෙහි වූ ආලය මරා දමන්නට මේ කිසිදු සිතිවිල්ලක ට හැකි නොවීය. උසස් පාසලෙන් පසු ඇය වෛද්‍ය පීඨය ට ඇතුළත් වූවාය. මම හමුදාව ට බැඳුණෙමි. දෙවන ලෝක යුද්ධය ඇරඹී තිබූ අතර ජපනුන් විසින් පර්ල් වරාය ට බෝම්බ හෙළීමෙන් පසු පළමු ක්‍රියාන්විත භට ඛන්ඩය සමග මම එතෙර ගියෙමි. පසුව වර්ෂ ගණන් බව ට පත්වූ මේ වේදනාබර දින හා මාසයන් හිදී අපි එකිනෙකා සමග පෙම් හසුන් හුවමාරු කර ගතිමු. එකල ජීවිතයේ එක ම සැනසිල්ල එය විය.

” ඇගේ හාද්ද ලද මගේ දෙතොල පිළිස්සෙමින් තිබේ. අලු පැහැති හිස කේ ඇති මහල්ලා වටා හිරු රැස් වැදුණු ගහ කොළ භ්‍රමණය වෙයි. “

වරක් ඇය මට ඇගේ අලුත් ම ඡායාරූපයක් එවා තිබිණි. එහි වූයේ පිහිනුම් ඇඳුමකින් සැරසී සිටි මගේ මායාවී දෙව්දුවගේ රුවයි. මම ෆැන්ටසියන්ගේ ගිලුණෙමි. අපේ විවාහයේ මධු සමය ගැන සිහින මැව්වෙමි. ඊළඟ ලිපියෙන්ම අපේ විවාහය පිළිබඳ අසා යැව්වෙමි. නමුත් ඒ හා ම ඇගේ පිළිතුරු ලිපිවල පෞද්ගලික භාවය වේගයෙන් අඩුවී ඒවා සාමාන්‍ය ලිපි බව ට පත්විය.

යුද්ධයේ අවසන් සමයේදී නැවතත් ඇමරිකා එක්සත් ජනපදය වෙත මා එවනු ලැබීය. සිය රට පැමිණි පසු මා කළ ප්‍රථම දෙය, රැෂෙල් ව හමුවීම ට යාමයි. මේ වන විට ඇගෙන් මට ලිපි ලැබීම බෙහෙවින් අක්‍රමවත් ව තිබුණෙන් මා එය කළ යුතු ම විය. නමුත් රැෂෙල් වෙනුවට දොරකඩ පෙනී සිටියේ ඇගේ මව ය. මගේ රැෂෙල් තවදුරටත් එනිවසෙහි නොවූවාය. විශ්ව විද්‍යාලයේදී හමුවූ වෛද්‍ය සිසුවා සමග ඇය විවාහ වී සිටියාය. “මම හිතුවෙ පුතා ට හැම දේම කියල ලියුමක් යවල ඇති කියලයි..” රැෂෙල් ගේ මව කාරුණික හඬින් කීවාය.

අවසානයේ ඇගේ “දයාබර ජෝන්’ ලිපිය මට ලැබුණේ මා යුධ සේවයෙන් ඉවත්වීම ට සූදානමින් සිටි අවසන් දින කිහිපයේදී ය. ඇය මහත්මා ලීලාවෙන් සහ සානුකම්පිත ලෙස මාගෙන් සමාව අයැද සිටියාය. ප්‍රයෝගික ව ප්‍රශ්න රැසක ට අත වනන අපේ විවාහය නොකළයුත්තක් යැයි ඒක පාර්ශවික ව තීරණය කිරීම ගැනද සමාව අයැද සිටියාය. ජීවිතය දෙස ආපසු හැරී බලන විට මා සිතන්නේ ඇය කළ පරිදි ම මාගේ සිත් ගත් වෙනත් තරුණියක හා විවාහ වී මා ද ඉක්මනින් ජීවිතය වෙත පියැනැගූ බවයි.

නමුත් මෑතකදී මට අනපේක්ෂිත ලෙස ඇය ව මුණ ගැසිණි. හතළිස් වසරකට පසු… ඇගේ සැමියා මියගොස් සිටි අතර අප දෙදෙනාගේ ම සුහද මිතුරෙකු ලවා ඈ මා ගැන තොරතුරු සොයාබලා තිබිණි. කැලිෆෝනියාවේ වසන දියණියක හා ජීවත්වීම ට යමින් සිටියදී ඈ මා අබියස පෙනී සිටියාය. මට ඈ දැකීමෙන් අරුම පුදුම කුතුහලයක් මෙන්ම තිගැස්මක් ද ඇති විය. ඇගේ දසුන මට සැබවින් ම කම්පනයක් විය. මේ සුදු කෙස් ඇති වියපත් ගැහැනිය මගේ සිහිනයේ කුමාරිකාව වූ බව මා කෙසේ අදහම් ද..? ඒ ඡායාරූපයේ සිටි සුන්දර කිඳුරිය ද මේ…?

අපි එකිනෙකා වෙත ගෞරවය පාමින් සුහද මිතුරන් සේ කතා බස් කළෙමු. අපි දෙදෙනාට ම මුනුබුරු මිනිබිරියන් සිටින බැව් කතා බහේදී හෙළිවිය. හිටිවන ම ඈ සිය අත්බෑගය තුළින් කුඩා කොළ කැබැල්ලක් පිටතට ගත්තාය. “ඔයාට මේක මතකද?” යැයි ඇසුවාය. එය මා ඇය ට පාසල් වියේදී ලියූ කවි දෙපදයකි. ඒ දෙස බලාගත් වනම සිටියදී ඇය සීරුවෙන් එය අත්බෑගය තුළ රුවාගත්තේ හරියට මා එය ඉරා දැමිය හැකි යැයි අවදානමක් හැඟී ගිය කලෙක මෙනි. යුද්ධ කාලය පුරාම මා ළඟ සුරැකිව තිබූ ඇගේ දිය කිඳුරු ඡායාරූපය ගැන මම එවිට කීවෙමි.

“ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ.. එහෙම නේද..?” ඇය ඇසුවා ය. “ඔව්.. ඔයාගෙ යුදෙව් වැරැද්දයි, මගෙ අයිරිෂ් හෘදසාක්ෂියයි එක්ක කිසි දෙයක් කරගන්න බැරිවුණා..”යැයි ගණනකට නොගෙන කී මම මහ හඬින් සිනාසුණෙමි. ඇය ද සිනාසුණාය. අප ට සැහැල්ලුවක් දැනිණි.

මා ඇය ව ටැක්සියක් වෙත ඇරලීමට පෙර ඇය මා වෙත නැඹුරු ව මෙසේ කීවාය. “මට ඔයා ට මේක කියන්නම ඕනෙ. එදා වගේ ම අදත් මට එක වගේ ආදරය කළා ට ඔයාට ගොඩක් ස්තූතියි” ඇය මා සිපගත්තාය. ඉන්පසු යන්නට ගියාය.

මම සෙන්ට්‍රල් පාක් හි දැවමුවා බංකුවක් මත පාෂාණිභූත වී වාඩි වී සිටියෙමි. ඇගේ හාද්ද ලද මගේ දෙතොල පිළිස්සෙමින් තිබේ. අලු පැහැති හිස කේ ඇති මහල්ලා වටා හිරු රැස් වැදුණු ගහ කොළ භ්‍රමණය වෙයි. මට ක්ලාන්ත ගතියක් දැනෙයි. මම මා නොවන යම්කිසි අයෙකු බවට පත්වෙමින් හිඳිමි. මගේ ප්‍රේමය අවසානයේ සම්පූර්ණ විණිද? මට ප්‍රීතියෙන් ගයා නටන්නට සිතෙයි. නමුත් ඉක්මනින් ම මම යථා තත්වයට පත්වීමි. මොහොතකට පසුව “සුපුරුදු මම” නැවතත් නිවස වෙත පිය නගමින් සිටියෙමි.

– ජෝන් වෝල්ටර්ස්ගේ අත්දැකීමකි.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

5 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

6 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

6 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

7 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

22 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago