×

තණකොළ කා ජීවත් වන කාන්තාරයේ ඇත්තු – BBC Planet Earth

මිහිමත ඇති වියළිතම භූමීන් වන කාන්තාර නිර්මාණය කරන්නේ ජලය හිඟකම විසිනි. නමුත් කාන්තාර වාසීන් හෙවත් කාන්තාර ජීවීන් සිය ජීවිතවලදී මුහුණ දෙන අසීරුතම අභියෝගය නම් ජලය හිඟකම හෝ පිපාසාව හෝ අධිකතර උෂ්ණත්වය නම් නොවේ. එය වනාහී කෑම හිඟකම යි.


දකුණු අප්‍රිකාවේ වෙරළබඩ කාන්තාරයක් වන නැමීබි කාන්තාරයේ වෙසෙන නැමීබියානු හස්තීහු ඒ බව මනාව වටහාගෙන සිටිති. සිය නිකේතනය ලෙස දෙවියන් ඔවුන් ට තෝරා දී තිබෙන්නේ කාන්තාරයක් වන නිසා ම, උහු සිය අභිමානය පසෙක ලා දිවි ගැටගසා ගැනීමේ මහා යුද්ධය ට මුහුණ දෙති. බඩ සය විසින් අති දැවැන්ත සිරුරේ වාරුව හීන කළ පසු, කාන්තාර හස්තියා තවදුරටත් යෝධයෙකු නොවේ.

එනිසා උහු, ඇන්ගෝලාව, නැමීබියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් ත්‍රිත්වයේ ම වෙරළ තීරවලට මායිම් වෙමින් කිලෝමීටර දෙදහසක් පුරා දිවෙන නැමීබි කතර පුරා බඩ සයින් පීඩිත ව කරක් ගසති. සිහින් ධවල වැලි කැට මතින් හිරු රැසින් පිළිස්සෙමින් බරැති පියවර තබති. මිරිඟුව දකිමින් ම කාන්තාරයේ ඉදිරියට ඇදෙති. මේ විසල් ජීවීන් සොයනුයේ කුස පුරවා ගැනීමට නොව කුස රවටාගැනීමට සුදුසු අහරකි. උන් ට පිරිස් බලයක් පවා නැත. කුසගින්න විසින් වල්මත් කර ඇති විටෙක කුමන පිරිස් බලයක් ද? බොහෝ විට නැමීබි කතරේ දී හමුවන එක් ඇත් රංචුවක සිටිනුයේ ඇතුන් කිහිප දෙනෙක් පමණි.

මේ සා දැවැන්තයන්, ගසක අතු පතරක් ඉඳ හිටෙකවත් දිස් නොවන මහා නිරූදක කතරක දැකිය හැකි වීම පවා විටෙක ඇස් අදහා ගැනීමට නොහැකි වන කාරණයකි. නමුත් එය එසේ ය. නැමීබියානු මහා වාලුකා කතරේ ජීවත් වන හස්තීන් සකල අප්‍රිකාවේ ම වඩාත් දුප්පත් ජීවිත ගත කරන්නන් ය. එසේම අප්‍රිකානු ඇතුන් අතරින් සොබාදහමේ දුෂ්කරතාවයන් ට වඩාත් ම ඔරොත්තු දෙන්නා වන්නේ ද නැමීබි හස්තියා ය.

උහු හති හළමින් නොකඩවා ඉදිරියට ඇදෙති. විටෙක උන් ට හමුවන්නේ වැල්ලෙන් වැසී ගිය බෑවුමකි. එසේත් නැති නම් වෙරළබඩ ට වන්නට පිහිටා තිබෙන වැලි මුහුදකි. එවිට උහු පිටුපස පාද බිම නමා ඔහේ රූටා යති. උන්ගේ ඇඟපත බැලූ බැල්මට කේඩෑරි නැත. නමුත් සම වියළී එල්ලා වැටෙයි. එහෙත් ඒ සියලු ලක්ෂණ පරදවා යම්කිසි ආකාරයක ඔරොත්තු දීමේ ගුණයෙන් අනූන ශක්තිමත් බවක් ද උන්ගෙන් දිස්වේ. දිනකට සැතපුම් 50 ක දුරක් බැගින් නොකඩවා කාන්තාරය තරණය කිරීමට ඒ ශක්තිය සෑහෙයි. වියළී ගිය දිය මංකඩ ද මේ ගමනේදී උන් ට හමුවේ.

ඇතැම්විට පෙනෙන පරිදි මේ ව්‍යායාමය ඵල රහිත එකකි. උන් ට විටෙක මේ ආකාරයට සැතපුම් සිය ගණන් පවා නොකඩවා ඇවිදගෙන යාමට සිදුවේ. නමුත් නොනැසී සිටීමේ ආශාව සහ බලාපොරොත්තුවේ ඉව විසින් උන්ගේ දෙපාවලට ශක්තිය කවයි. එහෙයින් උහු තවදුරටත් නොකඩවා ඉදිරියට ඇදෙති.

LaunchGood

LaunchGood

කාන්තාරයකදී මේ ඉරණමට මුහුණ දෙන්නේ නැමීබියානු හස්තීන් පමණක් ම නොවේ. සිංහයෝ පවා විටෙක මේ කාන්තාරවල මේ හා සමාන ජීවිත ගත කරති. උන්ගේ රංචු ද විශාල නැත. එක් රංචුවක සිටිනුයේ සාමාජිකයන් දෙතුන් දෙනෙකි. යෝධ සැවානා තණ බිමක් වැනි තැනෙකදී නම්, එය සාමාජිකයන් විසි තිස් දෙනෙකු දක්වා ඉහළ යාමේ අවස්ථාවක් ද තිබේ. කාන්තාරය සිංහයන් ද අභිමානයෙන් හීන ය. නමුත් කාන්තාරයේ හිස් ඉඩ විසල් හෙයින්දෝ කාන්තාරයේ සිංහයන්ගේ වැයික්කිය නිතරම ප්‍රමාණයෙන් විශාල ය. කෙසේ නමුත් බලාපොරොත්තු විය යුතු වන පරිදි ම, දඩබිම ට සාපේක්ෂ ව දඩයම කුඩා ය. අනෙක් අතට, ඒ දඩයම ද එකතැන රැඳෙන එකක් නොවේ. ඔරික්ස් ගෝනුන් උන්ගේ එම සචල දඩයමයි. උන් ද සිංහයන් මෙන්ම අහර සොයමින් කාන්තාරයේ හිස හැරුණු අත ඇදෙන්නන් ය.

එහෙත් මෙකී නොකී සෑම කාන්තාර වාසියෙකුගේ ම ගමනට යෝධ වැලි වැටිවලින් බාධා සිදුවේ. සැතපුම් ගණන් විසල්, අතිශය බුරුල් සහ සියුම් වැලි කැටවලින් සැදුණු වැලිවැටි තරණය කිරීමට මේ සියලු සතුන් සමත් වන්නේ යන්තමිනි. ඔරික්ස්ලා මෙහිදී උපායශීලී ය. උහු සිංහයන් හෝ ඇතුන් මෙන් වැලි වැටි තරණය නොකරති. ඒ වෙනුවට වැලි වැටි හරහා යති. දුහුවිලි වැල්ල මත ගැඹුරු කුර සටහන් ශේෂ කරන මේ දර්ශනීය සත්වයෝ ලහි ලහියේ වැලි වැටිය මුදුනට ම ඇදෙති. සිංහයෝ එවිට නතර වෙති. නමුත් ඇත්තෙන්ම මේ, ඒ ලුහුබැඳ යාමේ නිමාව නොවේ. වැලි වැටිය මුදුනට ම දිවයන ඔරික්ස් සතුන් නැවතත් සම බිම ට පැමිණිය යුතු ය. එවිට නැවතත් ඇරඹෙන්නේ ලුහුබැඳ යාමයි.

මේ අතර, කාන්තාරයේ දැවැන්තයන් ට සෙවූ දෙය හමුවෙයි. උහු, හොඬවැල් ලෙළවමින් දුහුවිලි කාන්තාරයේ පස සාරති. අවසානයේ වියළි උණ බට වැනි තෘණ විශේෂයක් උන් ට හමුවේ. අතිශයින් වියළී ගොස් තිබුණ ද ඒවායේ මුල්වල තෙතමනය යහමින් රැඳී තිබේ. අනෙක් අතට ඒවා පෝෂණීය ගුණයෙන් අතිශය ඉහළ බව ද උහු හොඳාකාර ව දනිති. උන් ඒ බව හඟින්නේ ඉවෙනි.

මෙවැනි තෘණ වර්ග සාමාන්‍යයෙන් කාන්තාර හස්තීන් හට ස්ථිරසාර ආහාරයකි. උන්ගේ ශරීර ශක්තිය මෙයින් බෙහෙවින් ම වැඩෙයි. එය රසයට අමතර ව උන් ට ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

Cover Photo : Kruger Narional Part

පෙර ලිපි සමහරක් –

ලිලී මල් පුබුදුවන පතනශීලී වසන්තය

සංවාසය යුද්ධයක් බව කියමින් මහ සයුරේ පෙම් කෙළින්නෝ

රක්ත වර්ණ පීත්තපටි දඩබිම

නිසල වන පෙතේ සිකාඩා සුසානය

වැසි දිය වසන්තයේ බැබුන් සෙල්ලම්

සැවානාවේ මරණයේ කුංචා නාදය

 

වීඩියෝව නරඹන්න…

[embedyt] https://www.youtube.com/watch?v=U0v5MIdyxZc[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි