චරිත

දූෂකයාටම සරණපාවා දීමේ (අව)නීතිය!

ෆ්‍රැන්කා වියෝලා අති සුන්දර යුවතියක විය. සිසිලියේ ඇල්කාමෝ නම් පිටිසර ගම්මානයෙහි උපන් ඈ, රුව ශෝභාවෙන් ප්‍රකටව, ස්ත්‍රීත්වයේ සුන්දර පරිසමාපප්තියෙන් හැඩ වී සිය පියාගේ කුඩා ගොවිපොළෙහි සියුමැලි අත් උදව්කාරියක වී නිහඩ දිවියක් ගෙව්වා ය.

යන්තම් පහළොස් වන වියේදී සුන්දර ඇය මාෆියා නායක පුත්‍රයෙකු වූ ෆිලිපෝ මෙලෝඩියා විසින් අහම්බෙන් මෙන් දැක තිබුණෙන් එදා සිට ඈ හා විවාහ ගන්වන ලෙස ඉල්ලා දුප්පත් ඇයගේ පියාණන් වෙහෙසකර වූ ඔහු අවසානයේ නිසි වයස් පිරුණු විට එය ඉටු කර දෙම්‍ යැ යන වචනය පීඩනයේ උපරිමයක දී ඔහු මුවින් ගිලිහගති!

කෙසේමුත් වහා ඉන්පසු, එවකට විසිතුන් හැවිරිදි මෙලෝඩියා මංකොල්ලකෑමක වරදකරු වී සිරභාරයට ගැනුනෙන් විවාහයේ වචනීය පොරොන්දුව අවලංගු කර දැමිණි. කාලයන් ගත වී රූ සපුවෙන් තවත් හැඩ වූ වියෝලා සිතුවිල්ලෙන්ද මේරී ගියෙන් ආදරය කිම කියා උගත්තී ඈ සිත්ගත් කඩවසම් තරුණයෙකු හා ආලයෙන් වෙළුණාය.

සුන්දරව ගෙවී ගිය කාලයන් මාස කිහිපයකට පමණක් සීමා විය. ජර්මනියට පලා ගොස් සිටි මෙලෝඩියා ජර්මානු දාමරික වටපිටාවක කෲරත්වයෙන් මුහුකුරා ගොස් ජඩ මාෆියාවේ පරිපූර්ණ නව්‍ය නායකත්වය වී ගම්වැද තිබිණි. ඔහු වසර ගණනකට පොරොතුව පැතූ සුන්දර සුරත හොදින් හෝ නරකින් සන්තකව ගෙනයාමට පැමිණ සිටියෙන් පියාගේ වචනය, ඇයගේ අකැමැත්ත හෝ පෙම්වතාගේ විරෝධය තවදුරටත් ඔහු දුර්මුඛත්වයෙන් විකර්ෂණය කරලූ කාරණා නොවීය.

තමා ලද ප්‍රතික්ෂේප කිරීම්, අහිංසක ඉල්ලීම් හා වැද වැටීම් සියක් අහවර මෙලෝඩියා අවසාන තීරණයකට එලැඹිනි. 1965 හි නත්තල පහන් වී තිබිණි. අළුයම සිය අකාරුණික සහචර සගයන් දුසිමක් හා වියෝලා සොයා ගිය ඔහු දෙමාපියන්ට පහරදී, ඇයත් ,ඇය බදා ගෙනයන්ට නොම දෙමීයි ආයාචනය කල කුඩා සොයුරාත් එක පොදියකට ගෙන පැහැර ගත්තේ වන මායිමේ පාළු ගෘහයක සිර කරගති.

සොයුරා පසු දා මුදා හැරිණි. දාහත් හැවිරිදි වියෝලා සාහසනය ඇරඹිණි. දින අටක් පුරා සිත්සේ, මනාප පරිදි හැකි හැකි අයුරින් බරපතල ලෙස ලිංගික අඩන්තේට්ටම් කරමින් ඇය කෙළසා දූෂණය කෙරිණි. කැමැත්තෙන් සරණය නොආ ඈ දැන් නීතියෙන් ඔහු සරණ එනු ඇත!

එසේය! කොයි තාක් හිරිකිත මුත් ඉතාලි නීතිය එසේ විය. ඉතාලි දණ්ඩ නීති සංග්‍රහයේ 544 වන වගන්ති ප්‍රකාරව දූෂකයා අපහරණය වූ තැනැත්තිය විවාහ කොට ගනිමින් ඇගේත් පවුලේත් ගෞවරවය රකින්නේ නම් නීතියෙන් ඔහු වරදකරුවෙකු සේ නොපිළිගැණිනි. එයට උන් matrimonio riparatore (Rehabilitating Wedding) ය කියා කියති.

දින අටකට පසු එනම් 1966 හි ජනවාරි දෙවන දා වියෝලා මුදා හැරිණි. ඇය පියාගේ උපකාරයෙන් වහා නීතියේ පිහිට පතා පැමිණිලි කලෙන් මෙලෝඩියා නාමිකව අත් අඩංගුවට ගැණිනි. සමච්චල් සිනාවක් පෑ දාමරිකයා අපේක්ෂිත පරිදි matrimonio riparatore අර්පණය (offer) කෙරිණි. සියල්ල එලෙසින් නිමා වීමට නීතියත්, සංස්කෘතියත්, ග්‍රාමීය මාන්සිකත්වයත් එසේ ඉඩ සළසා තිබිණි. පතිවෘතාව සිදගත් ස්ත්‍රියකට (donna svergognata) ඉන් එහා විකල්පයක් කුමට ද?

නමුදු, අනපේක්ෂිත විශ්මයයකින් සියල්ලන් අවුළුවා ලමින් ඇය එය ප්‍රතික්ෂේප කළාය. ඉතාලි ඉතිහාසයේ ප්‍රථම වතාවට දූෂකයා පිදූ ගෞරවයේ දක්ෂිණාව පීඩිත ස්ත්‍රිය පිළිකෙව් කොට ඇත. දෙවියනි! ඇය බැහැ කියා අත. කළියුගයේ ස්ත්‍රිය සම්ප්‍රදායට පිටුපා ඇත. මේ පාරට්ටිය අහිංසක ගම්වැසියාගෙ මුහුණෙහි දැලි ගා ඇත.

‘ඕකි කොහොමත් ඔය ටික කරගන්නා’ බැව් තක්කෙට දැනසිටි බවට කැට තැබූ ගම්වැසියෝ දුසිමක් ඕනෑම මුල්ලකින් සොයාගත හැකිවිය. තවද, වයෝලාගේ මෑනියන් හමු වී පහර කා තුවාල සුවවෙමින් වූ මුහුණට කෙළ ගැසූ ගැහැනුන් ‘හදන්නං වාලේ දියණියන් හැදූ’ අම්මාට පාඩමක් උගන්වා තිබිණි. සුළගින් විත් හෝ සංකර වයිරස තම දරුවන් ගත දැවටේය බියවූ පාසල් බළධාරීන් වයෝලා ගේ පුංචි සොයුරා පාසලෙන් එළවා දමා තිබිණි. සංස්කෘතිය රැකගැන්මේ බියකරු උපරිමයක දී සියල්ලන් එක් වී, අහිංසක පවුලක් ජීවිතය වපුරා රැස්කල සන්තකය කොල්ල කා මහන්සියට සැතපී කාන්සිය නිව්වා වූ පුංචි ගෙපැළට ගිනි අවුළුවා අළු කරවා තිබිණි. ඒ උන්ට කිරි දුන් ගොවියා විය! ඒ උන් හා පොලට ගිය ගෙවිලිය විය. ඒ උන් පැටව් හා සෙල්ලම් කළ දරුවන් විය! නැත! උන් සදාචාරය කෙළසාගත් අපවිත්‍ර වූ, කන්‍යාභාවය සිදලී තිබියදී උතුම් විවාහය ප්‍රතික්ෂේප කෙරුවා වූ අසංස්කෘතික නරුමයන් විය. උන් හා පෑහීමක් කොයින්ද?

කෙසේමුත් මේ සියල්ල හමුවේ නොසැලී ෆ්‍රැන්කා වියෝලා පිටුපසින් වූ දෙදෙනෙක් විය. ඒ පියාය, පෙම්වතාය. අපහසුවෙන් පැමිණිල්ලට නීතිඥයෙකු සොයාගත් උන් නඩු කීහ. නීතියේ අවනීතියට එරෙහිව නීතියේ පිහිට සෙවීය. ලෝකයක් එකවර බලා සිටියදී දෙසැම්බරයේදී නඩුව විභාග විය!

1967 හී මැයි මස අගිස්සෙහි එම ඓතිහාසික නඩු තීන්දුව ලබා දුන් අතර පැහැර ගෙනයාම, බියගැන්වීම හා ලිංගික අඩත්තේට්ටම් කොට දූෂණය කිරීම යන වැරදි හමුවේ වැරදිකරු වූ ෆිලිපෝ මෙලෝඩියා ට වසර එකොළසක සිර දඩුවම් නියම වී පසුව එහි වසරක් කප්පාදු කොට අවුරුදු දහයක උපරිමයකට යටත් කෙරිණි. සහචර නරුමයන් පස් දෙනෙකු සදහා වසර හතරක් බැගින් වූ සිර දඩුවම් ද අනෙකුන්ට අවවාදාත්මක තරවටුද ලබා දී නඩුව නිමා විය. නඩුව ඉන් හමාර වේද?

මිතුරනි, ගම්වැසියන් ට නඩු නැත. උන් නිදොස් ය. නිදහස් ය!!

කාලයේ ඇවෑමෙන්, අපහසුවෙන්, වෑයමෙන් හා කදුලෙන් වියෝලා නව ජීවිතයක් ගැන සිතන්නට හිතට වෙර ගත්තාය. 1968 හි දෙසැම්බරයේ ඇය ආදරය කෙරුවා වූ ගුයිසෙප් රුයිසි නම් ප්‍රේමවන්තයා හා විවාහ වන්නට ඇය සිත පිළියම් කොට ගන්නට සමත් විය. සමාජ විනිශ්චය කෙළ පිඩකට නොතකා පෙරළා ආදරයේ දෑත් දිගු කල, වචනයේ පරිසමාප්තාර්ථයෙන් ආදරය හැදිනූ එම අද්විතීය මිනිසා, සියවසෙහි පෙම්වතා ය කියා මම සිතමි!

එලෙසින් ගිණුම් බලන්නෙකු වූ සිය ආදරණීය සැමියා හා නිහඩ, සාමකාමී පවුල් ජීවිතයක් ඇරඹි ඈ සෙනහසින් හා ආදරයේ උණුසුමින් පිරී ගිය කුඩා කැදැල්ලක් තනාගත්තී සුරතල් පැටවු තිදෙනෙකුගේ කෙළි දෙලෙන් අවිවේකි වර්තමානයක සතුටු සිනා නැගුවාය.

දස වසරක සිර දඩුවම් විදි ෆිලිපෝ මෙලෝඩියා 1976 වසරේදි නිදහස් වූ අතර ඉන් දෙවසරක් ඇතුළත මරණීය පිහිඇනුම් රැසකින් දැදුරු වී ජන්මාන්තරගත විය!

ඉතාලි නීතිට ප්‍රතිසංස්කරණය විය. සෙමින් මුත්, ස්ථිරසාරව සියල්ල නිවැරදි විය. දූෂකයා තම ගොදුර නීතියෙන් සරණය කරගන්නා අශික්ෂිත වගන්තිය අවලංගු වන්නට තවත් දශකයක් ගෙවුනෙන් එය අවසානයේ බල රහිත වන විට විසිවැනි සියවසෙහි අටවැනි දශකය ද උදා වී තිබිණි. තවද ස්ත්‍රී දූෂණය සමාජ සදාචාරයට එරෙහි වූ අපරාධයක සිට පුද්ගලාබද්ද සාපරාදී අපරාධයක් ලෙස නිර්වචනය වන විට 1996 වසර උදා වී තිබිණි.

ඒ දිරිමත් සුන්දර කත – ෆ්‍රැන්කා වියෝලා අද |www.rarehistoricalphotos.com

අති සුන්දර ෆ්‍රැන්කා වියෝලා අදටත් සතුටින් සුවෙන් ජීවත් වන්නීය. දරු මුණුපුරන් රාශියක ගේ ආදරයෙන් ගෙවී යන සැදෑ සමයේ උපරිම සන්තුෂ්ටිය ඇය උදා කරගනිත්වා යි අපි ප්‍රාර්ථනය කරමු. මාෆියා ගුබ්බෑයමක සිය දූෂකයාගේ අඩන්තේට්ටම් මැද, පහර දීමෙන්, බැන වැදීමෙන් හා විස්සෝපයෙන් ගෙවී යන්නට දෛවය ඇයට යෝජනා කර, අසල්වැසි සමාජය බලකෙර වූ ජීවිතයෙන් මිදීමට ඇය සමත් විය! ඒ ඇය “බැහැ!” ය කියූ නිසාවෙනි. නොභියව බැහැ කියූ නිසාවෙනි. ලෝකයක් එරෙහිව සිටගෙන සිටිය දී දිරියෙන් බැහැ කියූ නිසාවෙනි.

හිතවතියනි, ඔබ නිවැරදි බැව් සිත කියයි නම්, අකැමැති සියල්ලට නොබියව “බැහැ!” ය කියන්න. ඊට ඔබට අයිතියක් හා ඇතිතාක් වූ ධෛර්යක් සිත යට සැගව ඇත. ඊට දිව පැකිලෙන ක්ෂණයේ සුන්දර වියෝලා සිහි කරගන්න. ඈ තරම් ඔබ කිසිදා තනි නොවනු නැත!

හිතවතුනි, ආදරය කරන්න!

උපුටා ගැනීම – ඓතිහාසික ජායාරූප පිටුවෙනි.

Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

15 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

15 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

19 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

23 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

23 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

24 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago