කාලීන

ලෝකයේ ICCPR සහ ලංකාවේ ICCPR

2007 අංක 56 දරන ශ‍්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති ICCP පනත පිළිබඳ මහජන සාකච්ඡාවක් ඇති වෙමින් පවතින්නේ නුදුරු කාලයක් තුළ එම පනත ක්‍රියාත්මක කිරීමක් සිදු වන නිසාය.

එම පනත ක‍්‍රියාත්මක වීමේදී මතුවී ඇති ගැටලූ රාශියක් ඇත. එම ගැටලූ පිළිබඳව දළ විස්තරයක් පහත සඳහන් වේ. එම පනතේ අරමුණ වී ඇත්තේ යම් මානව හිමිකම් කඩකිරීම් අපරාධයක් සේ ප‍්‍රකාශයට පත් කිරීමය. මෙසේ කිරීමේදී සියලූම මානව හිමිකම් එක සමාන බවත්, එම මානව හිමිකම් කඩවීමකට යටත් වන සියලූ දෙනාටම එක සේ සැලකිය යුතු බවත් යන මූලික නෛතික අයිතිවාසිකම මග හැර ඇත. ඇත්තෙන්ම මෙම පනතින් කරනු ලබන්නේ එහි අංක 3 දරන ඡේදය එනම් මොන යම් කෙනෙක් හෝ යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි ගැන්වීමක් හෝ අන් ආකාරයක සැලකීමක්, එකිනෙකාට විරුද්ධත්වයක් දැක්වීමක් හෝ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් සේ ප‍්‍රකාශ කිරීමය. එසේ කරන හෝ එසේ කිීරීමට ප‍්‍රයත්නයක් දරන හෝ එවැනි ක‍්‍රියාවකට අනුබල දීමක් කරන හෝ එවැනි ක‍්‍රියාවක් කරන බවට තර්ජනය කරන ඕනෑම කෙනෙකු එම වරදට වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව අවුරුදු 10 ට නොවැඩි හිර දඬුවමක් නියම කළ හැකි බවත් එවැනි අයෙකුට ඇප දීම කළ හැක්කේ මහාධිකරණයකදී පමණක් බවත් ප‍්‍රකාශයට පත් කොට ඇත.
මෙයින් පැන නැගෙන කරුණු රාශියක් ඇත.

පරීක්ෂණ කළ යුත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව

ඉහත සඳහන් අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කුමන ආකාරයටද යන්න මුල් ප‍්‍රශ්නයයි. ලංකාවේ සිදුවන ඕනෑම අපරාධයක් පිළිබඳව පරීක්ෂණ කිරීමේ බලය ඇත්තේ අපරාධ නඩු විධිවිධාන පනතේ එන විධික‍්‍රමයන් යටතේ පමණි. එම විධික‍්‍රමය යටතේ යම් අපරාධයක් කිරීම පිළිබඳව පැමිණිල්ලක් පොලිසියකට ලැබුණහොත් ඒ ගැන පරීක්ෂණය කරන ආකාරය අපරාධ නඩු විධිවිධාන පනත යටතේ ඉතා පැහැදිලිව ප‍්‍රකාශයට පත් කොට ඇත.

පරීක්ෂණයකින් තොරව නඩු දැමීම තහනම්

මෙහිදී පළමුවෙන්ම කළ යුතු වන්නේ මෙම පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමය. පරීක්ෂණය පැවැත්වීමේ වගකීම පැමිණිල්ල ලැබෙන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත පැවරේ. මොනයම් අපරාධයක් පිළිබඳව වත් පරීක්ෂණයකින් තොරව නඩු දැමීමේ අයිතියක් හෝ අත්අඩංගුවට ගැනීමේ අයිතියක් කිසිම පොලිසියකට ඇත්තේ නැත.

OIC සෑහීමට පත් විය යුතු කරුණු

පරීක්ෂණය පැවැත්වීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරයා තමන් වෙත ලැබී ඇති පැමිණිල්ල මත පරීක්ෂණයක් පැවැත්වීමට තරම් කරුණක් හෙළිදරව් වීද නැද්ද යන්න සෑහීමකට පත්විය යුතුය. එම අපරාධය අඩංගු කරුණු මොනවාද එම කරුණු තුළින් අපරාධ කිරීමේ හෝ, අපරාධය කිරීමට තැත් කිරීමේ හෝ එම අපරාධයට අනුබල දීමේ හෝ එම අපරාධය කරන බවට තර්ජනය කිරීම ආදී කරුණු පවතිනවා ද යන්න ගැන ඔහු සෑහීමකට පත් විය යුතුය.

එසේ සෑහීමකට පත් වීමේදී ඔහු සලකා බැලිය යුතු ප‍්‍රධාන කරුණ නම් යුද්ධයක් පිළිබඳව ප‍්‍රචාරය කිරීම හෝ ආගමික වෛරයක් ඇති කිරීමට උසි ගැන්වීමක් හා වෙනස් ආකාරයකට සැලකීමක් මගින් තරහක් හෝ ප‍්‍රචණ්ඩත්වයක්ඇති කර ඇත් ද යන්න සලකා බැලිය යුතුය. උදාහරණයක් වශයෙන් යම් ආගමක් පිළිබඳ ව වෛරයක් ඇති කිරීම යන්න පැමිණිලි කරුවන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල නම් පොලිස් පරීක්ෂකවරයාගේ යුතුකම වන්නේ එවැනි වෛරයක් ඇති කරන කිසියම් කිසියම් ක්‍රියාවක් කර හෝ කිරීමට ප‍්‍රයත්න දරා හෝ කිරීමට අනුබල දී හෝ කරන බවට තර්ජනය කර තිබේද යන්න සොයා බැලීමය.

ICCPR ජාත්‍යන්තර ප්‍රකාශනය සහ වෙනත් අයිතිවාසිකම් අතර ගැටුමක් ඇති වේ ද යන්න

මෙය සලකා බැලීමේදී ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනයේ වගන්ති අනුව ඇති වෙනත් අයිතිවාසිකම් හා පැමිණිල්ලේ කර ඇති ප‍්‍රකාශ අතර ගැටීමක් පවතිනවා ද යන්න පරීක්ෂකවරයා සොයා බැලිය
යුතුය.

ප්‍රකාශනයේ අයිතිය

උදාහරණයක් වශයෙන් ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනයේ ඉතා කේන්ද්‍රීය අයිතිවාසිකමක් වන්නේ ප‍්‍රකාශනයට ඇති අයිතියයි. ප‍්‍රකාශනයට ඇති අයිතිය සමාජයේ සාධනීය වෙනස් කම් ඇති කර ගැනීමටත් සමාජය තුළ එහි පවතින ගැටලූ පිළිබ`දව වැඩි අවබෝධයක් කරා ඒමටත් මෙන්ම අදාල වෙනස්කම් කර ගැනීමට ඉතා බලවත් සාධකයක් ද වේ. එම නිසා පැමිණිලකරුවන්ගේ පැමිණිල්ලක් තුළින් එම ප්‍රකාශන අයිතියට හෝ වෙනත් ජාත්‍යන්තර ව පිලිගෙන ඇති අයිතිවාසිකම්වලට ගැටීමක් පවතිනවා ද යන්න පොලිස් පරීක්ෂකරයා විසින් සලකා බැලිය යුතුය.

නිර්මාණාත්මක ප්‍රකාශ පිළිබඳ විශේෂ අයිතිවාසිකම්

මෙහිදී විශේෂයෙන්ම නිර්මාණාත්මක ප‍්‍රකාශනයන් පිළිබඳව විශේෂ අයිතිවාසිකම් ඇත. කලාවත් ඒ මගින් සමාජය තුළ එහි පවතින ගැඹුරු ප‍්‍රශ්නයන් පිළිබ`දව අවබෝධයක් ඇති කරන්නේ නිර්මාණාත්මක සාහිත්‍යය තුළිනි. එම සාහිත්‍ය තුළ පවතින සාකච්ඡුාව බොහෝ දුරට මන:කල්පිත සාකච්ඡාවක් මිස හුදු වාර්තාකරණයක් නොවේ.

මන:කල්පනිත ප‍්‍රකාශනයක් තුළින් අපරාධයක් සිදු කළ හැකිද ?

උදාහරණයක් වශයෙන් ලෝකයේ සාහිත්‍ය කෘතීන් අතර විවිධාකර ආකාරයෙන් ඒ ඒ කාල වල පැවතී ඇති ආගමික මතයන් පිළිබඳව ගැඹුරු සාකච්ඡා මතු කර ඇත. යුරෝපය පුරා පැතිර තිබූ ක්‍රිස්තියානි ආගම පිළිබඳව දැඩි විවේචනාත්මක ආකාරයෙන් ලියවී ඇති කවි, නවකතා, කෙටිකතා හා වෙනත් විවිධාකාර නිර්මාණාත්මක ප‍්‍රකාශනයන් දැක ගත හැකිය.

මේ සියල්ල අපරාධ ලෙස සලකා එම කලාකෘතීන් කළ පුද්ගලයන් සිරගත කිරීම් වලට ලක්වූවා නම් අද ලෝක සාහිත්‍යය යැයි කීමට තරම් දෙයක් ඉතිරි නොවීමට ඉඩ තිබුණි.

අපරාධයක ස්වභාවය නම් එය යම් අයෙකු විසින් තවත් අයෙකුට හෝ වෙනත් කණ්ඩායමකට විරුද්ධව කරන ලද ක්‍රියාවක් විය හැකිය. මන:කල්පිත ප‍්‍රකාශනයක් එවැනි ක්‍රියාවක් නොවේ. එම වචනයේම අදහස වන්නේ එය ප‍්‍රායෝගිකව සිදුවන ක්‍රියාවක් හෝ කිසියම් පුද්ගලයෙකුට හෝ විරුද්ධව කරන ප‍්‍රකාශයක් නොව යම් ගැඹුරු ප‍්‍රශ්නයක් ගැන නිර්මාණාත්මකව කරන උපකල්පනයක් බවය.

ගැලීලියෝ උදහසට පාත්‍ර වී (Nature)

අතීතයේදී බයිබලයේ ඇති ඕනෑම දෙයක් වැරදි යැයි යමෙකු කීවොත් එය දැඩි දඬුවමකට යටත් විය යුතු අපරාධයක් සේ සලකන ලදී. ගැලීලියෝ පෘථිවිය වටා සූර්යයා භ‍්‍රමණය වන බවට එතෙක් තිබූ මතය ප‍්‍රතික්ෂේප කොට ඇත්තෙන්ම පෘතුවිය සූර්යයා වටේ භ්‍රමණය වනවා යන්න ප‍්‍රකාශයට පත් කළ විට එය එදා පැවති ක‍්‍රිස්තියානි සමාජය දෙදරා යන ප‍්‍රකාශනයක් විය. ඔවුන් එතෙක් කල් තබා ගෙන තිබූ විශ්වාසයන්ට ඉතා ප‍්‍රබල පහරක් බවට ගැලීලියෝගේ මතවාදය පත්විය. ඔහුට එම මතයන් ප‍්‍රතික්ෂේප නොකළහොත් වදහිංසාවට පත්කොට ජීවිත කාලය පුරා දඬුවම් කරනු ලබන බවට තර්ජනය කරනු ලැබීය. ඊට යටත් වූ ගැලීලියෝ බොහෝ කාලයක් කිසිම විද්‍යාත්මක ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධියේ නොකර සිටියේය.

ඔහුගේ මතයන් ප‍්‍රකාශයට පත් වූයේ ඔහු ලියා තිබූ ලේඛන වෙනත් රටකට ගෙනගොස් එහි එය ඔහුගේ මිතුරන් විසින් ප‍්‍රකාශයට පත් කිරීම නිසාය. මෙසේ සිදු නොවුනා නම් අද වනතුරුත් මධ්‍යතන යුගයේ අඳුර තුළ අපට ජීවත් වීමට සිදුවනු ඇත. ගැලීලියෝගෙන් පසුකාලයේ සිදුවුණු විශාල විද්‍යාත්මක අවබෝධයට මුල පුරන ලද්දේ එදා ආගමික වශයෙන් පිළිගැනීමට නොහැකි යැයි ප‍්‍රකාශයට පත්ව තිබූ මතයකි.

ඉංග්‍රීසි සාහිත්‍යයේ පීතෘවරුන් ද ‘ආගමට අපහාස කළ අය‘ද?

චෝසර් (The British Library)

එංගලන්තයේ මුල් යුගයේ ප‍්‍රධානම ලේඛකයකු හා කවියෙකු වශයෙන් පවසන චෝසර් යන සදාකාලික සුප‍්‍රසිද්ධ ලේඛකයා ක‍්‍රිස්තියානි පූජකවරුන්ට ඉතා තදබල ලෙස පහරදෙන ලේඛන ලිව්වේය. ඒවා ඇත්තෙන්ම ඉතා දරුණු ප‍්‍රකාශයන් විය. එහි එක කවියක එන කතාව සාරාංශ කොට මෙසේ දැක්විය හැකිය.

එක් මිනිසෙක් අපාය යනු කුමක්දැයි දැන ගැනීමට ආසාවක් ඇති වී එය බැලීමට අපායට ගියේය. ඔහු එදා සිටි ක‍්‍රිස්තියානි පූජකවරුන්ගේ අඩුපාඩුකම් පිළිබඳව දැන සිටි අයෙකි. ඔහු අපායේ යන යන තැන බැලූවේ අපායට මෙම පුජකවරුන් එනවාද යන්න ගැනය. එහෙත් ඔහුට එවැනි කිසිවෙක් හඳුනාගත නොහැකි විය. එවිට ඔහු එක් යක්ෂයෙකුට කතා කොට ඔබගේ මෙම අපායට ක‍්‍රිස්තියානි පූජකවරුන් එන්නේ නැද්දැයි ප‍්‍රශ්න කළේය. එවිට යක්ෂයාගේ උත්තරය වූයේ ඔවුන් මහා විශාල වශයෙන් පැමිණෙන බවය. මම නම් එක් අයෙක්වත් දැක්කේ නැත යන්න අමුත්තාගේ උත්තරය විය. එවිට යක්ෂයා කීවේ ඔබ ඔය පාර දිගේම තවත් ඉදිරියට යන්න. එසේ යන ඔබ දකීවි මහා යක්ෂයෙකු බිම දිගා වී සිටිනවා. එවිට ඔබට පෙනෙනු ඇති ඔහුගේ අධෝමුඛයෙන් යම් කුඩා සතුන් එළියට යාමත් ඉන්පසු තවත් කණ්ඩායමක් එයින් ඇතුළු වී යක්ශයාගේ ශරීරය තුළට යාමත්. මේ අනුව මග බලාගෙන ගිය අමුත්තා එම සිද්ධිය දැක්කේය. යක්ෂයා ඔහුට කීවේ මේ සියලූ දෙනාම ක‍්‍රිස්තියානි පූජකයෝය. ඔවුන්ට හිමි තැන එතැන යැයි යනුවෙනි. මෙවැනි ඉතා දරුණු හා ප‍්‍රබල විවේචනයක් එදා කළ චෝසර් අද සලකනු ලබන්නේ ඉංග‍්‍රීසි භාෂා සාහිත්‍යයේ පීතෘවරයෙකු වශයෙනි.

එහෙත් තවත් සංස්කෘතින්හිදී ආගමකට විරුද්ධ යැයි උඩින් පෙනෙන කිිසියම් හෝ ප‍්‍රකාශයක් කිරීමේ දඩුවම් ලැබිය යුතු වරදක් සේ සලකයි. විශේෂයෙන්ම ශරියා නීතිය බලපවත්වන මුස්ලිම් රටවල කුරානයට විරුද්ධව කරනු ලබන ඕනෑම ප‍්‍රකාශනයක් සලකනු ලබන්නේ ආගම් විරෝධී ද්‍රෝහී ක්‍රියාවක් ලෙසය. එවැනි වාතාවරණයක ප‍්‍රතිඵලය වන්නේ එයට කෙදිනකවත් නිදහස් සමාජයක් බවට පරිවර්තනය වීමට ඇති බැරිකමය. ජීවිතයේ සකලාංගයන්ම රටේ පූජකවරුන් විසින් පාලනය කරන අතර වචනයකින් හෝ කරනු ලබන කිසියම් විවේචනයක් දකින්නේ ආගම් විරෝධී ක‍්‍රියාවක් ලෙසය. වර්තමාන ලෝකයේ මතවාදයන් ගොඩනැගෙන්නේ මෙවැනි මහා විවාද ඔස්සේය. කලකදී ප්‍රොතෙස්තන්ත ආගම ඇතිවීමෙන් පසු වැඩි වශයෙන් ප්‍රොතෙස්තන්තවරු සිටි ප‍්‍රදේශවල කතෝලිකයන් ප‍්‍රතික්ෂේප කිරීම් හා ඔවුන්ට මරණය පවා අත්කරදීම සිදු වූ අතර විශාල වශයෙන් කතෝලිකයන් සිටි පළාත් වලදී ප්‍රොතෙස්තන්තවරුන්ට ඒ අයුරින්ම සලකන ලදි. 30 අවුරුදු යුද්ධය යනුවෙන් ප්‍රකාශයට පත්වී ඇත්තේ එකිනෙකා ගහමරාගත් කාලයකි.

ජෝන් ලොක් ගේ ”Tolerance”

ජෝන් ලොක් (helsinki.fi)

එවැනි වාතාවරණයක් ඇති වීම නැති කළ හැක්කේ කෙසේද යන්න ඒ කාලයේ පැවති ප‍්‍රධාන දාර්ශනික ගැටළුවක් විය. එය විසඳා ගැනීමට මාර්ගය පාදන ලද්දේ ජෝන් ලොක් නමැති විශ්ව කීර්තියක් අද දක්වාත් දරන ලේඛකයෙකුගේ ප‍්‍රකාශනයක් මගිනි. ඒ ප‍්‍රකාශනයේ මාතෘකාව වූයේ ඉවසීම ,”Tolerance”, යන්නය. මෙයින් ප‍්‍රකාශ වන්නේ විවිධාකාර මතවාදයන් දැරීමට විවිධාකාර පුද්ගලයන්ට හැකි බවත් ඒවායින් වන සමාජ ව්‍යවසනයක් වේ නම් ඒවා නැති කර හැක්කේ අන්‍යෝන්‍ය අවබෝධය වගා කිරීමට ගන්නා උත්සාහය මත බවය. පසුකාලීන යුරෝපය පුරා මෙයින් ඇති වූ ඉවසීමේ හැකියාව මේ රටවල විද්‍යාත්මක දියුණුවටත් එම විද්‍යාත්මක දියුණුව තුළින් ඇති වූ යාන්ත‍්‍රික දියුණුවටත් එම යාන්ත‍්‍රික දියුණුව නිසා ඇති වූ ආර්ථික වර්ධනයටත් එම ආර්ථික වර්ධනයේ ඵල බෙදා ගැනීම සඳහා ඇති වූ සියලුම මතවාද වලටත් පදනම සේ පවතී.

පොලිස් පරීක්ෂකවරු නිර්මාණ ගැන දනියිද?

මේ අනුව පෙනී යන්නේ ICCPR පනතේ 3 වන වගන්තිය යටතේ පරීක්ෂණයක් කරන පොලිස් පරීක්ෂකවරුන් වෙත පැවරෙන්නේ ඉතාම බැරෑරුම් කාර්යයක් බවය. ඔවුන් වෛරය පැතිරවීම යන්නෙන් කුමන අදහසක් කියවේද නැද්ද යන්න තෝරා බේරා ගත යුතුය. යමෙක් තවත් කණ්ඩායමකට විරුද්ධව ආයුධ පාව්චියෙන් හෝ වෙනත් ක‍්‍රම වලින් මරණය, හිරිහැර කිරීම හෝ තුවාල කිරීම ආදිය කිරීමට උත්සාහ කරන්නේ නම් එය පැහැදිළිවම අපරාධ ඝනයට වර්ග කළ හැකිය.

අනෙක් අතට සමාජය තුළ නිර්මාණාත්මක කෘතීන් බිහි වීමත් එම කෘතීන් මගින් බුද්ධිය උද්දීපනය වීමත් එම බුද්ධි උද්දීපනය මගින් එකිනෙකා කෙරෙහි ඇති අන්‍යෝන්‍ය අවබෝධයත් ඒ තුළින් සමාජයේ විවිධාකාර වෙනස්කම් ඇති කරගැනීමත් යන්න වෙනම කරුණකි. පොලිස් පරීක්ෂකවරුන් මේ පිළිබඳව ස්වාධීන තීරණ ගත යුතු අතර හුදෙක් පෙත්සමක් ඉදිරිපත් කළ පළියට කෙනෙකු අත්අඩංගුවට ගන්නේ නම් එම පොලිස් පරීක්ෂකයන් විසින් කරනු ලබන්නේ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම හා රඳවාගැනීම යන බරපතල අපරාධයන්ය. එම අපරාධයන්ගේ හරයද ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශයන් තුළ ඉතා ප‍්‍රබලව ප‍්‍රකාශයට පත් වී ඇත.

එසේ ප‍්‍රකාශයට පත්වීමට පදනම වූයේ හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම් විශාල වශයෙන් කෙරුණු එක්තරා කාලයක් තුළ සමාජයේ ඇති වූ විරෝධතා හා මත ප‍්‍රකාශනයන්ය. මෙම මත ප‍්‍රකාශනයන් තුළින් නීතියක් ගොඩනැගේ. එම නීතියේ අරමුණ වූයේ අත්අඩංගුවට ගැනීම නීතිමය ආකාරයකින් පමණක් සිදු කළ හැකි බව හා එම නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපාටිය පරීක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු බවය.

ඉංග‍්‍රීසි නීතිය පිළිබඳව මුල් යුගයේම පොතක් ලියූ ඒ.වී. ඩයිස් නමැති ප‍්‍රධාන නෛතික අංශයේ බුද්ධිමතෙකු 19 වන ශතවර්ෂයේදී මෙසේ ලියා ඇත. එනම්, අපේ රටේ නීතියට අනුව අත්අඩංගුවට ගැනීම වරදකි. එය වරදක් නොවන්නේ අවස්ථා දෙකකදී පමණි. එනම්, යම් අපරාධයක් පිළිබද පරීක්ෂණයක් කරන්නේ නම් හෝ එම පරීක්ෂණයෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන්නේය යන අවස්ථා වලදී පමණි. යම් නිළධාරියෙකු මෙම අවස්ථා දෙකෙන් පිටත අත්අඩංගුවට ගතහොත් ඔහු අපරාධයක් සිදු කරයි. ඒ අනුව ඔහු අපරාධය කිරීම පිළිබඳව ඔහුට දඬුවම් කළ යුතු මෙන්ම එම අත්අඩංගුවට පාත‍්‍ර වූවින්දිතයාට වන්දි ද ගෙවීම රජයේ යුතුකමක් වේ.

ICCPR පනතේ ලොකුම දුර්වලකම

ලංකාවේ ICCPR පනතේ ඇති ප්‍රබලම දුර්වලකම නම් එය අපරාධයක් බවට ප‍්‍රකාශයට පත් කරන්නේ එහි 3 වන වගන්තිය යටතේ ඇති කරුණු පමණක් මතය. අනෙක් වගන්ති යටතේ වැටෙන කරුණු මූලික අයිතිවාසිකම් වලට සම්බන්ධ කොට ඒවායින් සහන ලබා ගත යුතු යැයි කියයි. නමුත් මූලික අයිතිවාසිකම් වලට සම්බන්ධ කොට කෙනෙකුට විරුද්ධව අපරාධ නඩුවක් පවත්වන්නට බැරිය. ඒ අනුව ඔහු අපරාධයක් කළ අයෙකු සේ දඬුවම් කිරීමටත් බැරිය.

වැරදි ආකාරයට මිනිසුන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිළධාරීන් හෝ වෙනත් නිළධාරියෙක් අපරාධයක් කළා සේ සලකා ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු විධිවිධාන පනත යටතේ පරීක්ෂණයක් කොට ඔවුන් අධිකරණ වලට පමුණුවා දඬුවම් කිරීම ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනය ක්‍රියාත්මක කරනවා නම් එහි අත්‍යාවශ්‍යම කොන්දේසියක් වේ.

ජාත්‍යන්තරය නොමග යවන්නට ICCPR නම යෙදූ පනතක්

ICCPR පනතේ එක් කොටසක් පමණක් ප‍්‍රකාශයට පත් කොට එහි අඩංගු තවත් විශාල කරුණු ගණනාවක් ඒ ආකාරයේ අපරාධ ලෙස නොසැලකීම මෙම පනතට ICCPR පනත යනුවෙන් කීමේ අයිතිය ප‍්‍රශ්නයට ලක් කරයි. මෙය ICCPR පනතක් නොවේ. ICCPR යන නම එයට දමා ඇත්තේ ජාත්‍යන්තර ව්‍යාකූලත්වයක් ඇති කිරීම සඳහායි. යම් අයෙකු ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත්තා
යැයි කී විට එයින් ඇති වන්නේ මෙය ICCPR ජාත්‍යන්තර පනතේ ඇති අයිතීන් ආරක්ෂා කර දීමට ගන්නා උත්සාහයක් ලෙසය. එහෙත් එවැනි උත්සාහයක් මෙම පනත තුළ පෙනෙන්නට නැත.

පනතේ අරමුණ සේ පෙනෙන්නට ඇත්තේ තෝරා ගත් යම් පුද්ගලයන්ට දඬුවම් කිරීමේ අරමුණෙන් කරන ලද්දක් මිස සියලුම දෙනාට ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනයෙන් දී ඇති සියලූම රැකදීම සඳහා ගන්නා ලද ප‍්‍රකාශයක් නොවන බවයි.

මහාධිකරණයෙන් පමණක් ඇප ලබාගත හැකි වීමේ ගැටළුව

තවත් අඩුපාඩුවක්නම් 3 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් අයෙකුට ඇප දීම මහාධිකරණයක් මගින් පමණක් කළ යුතු යැයි කීම මගින් බොහෝ කාලයක් ඔහු රිමාන්ඞ් භාරයේ තබා ගැනීමට මග පෑදේ. මහේස්ත‍්‍රාත් උසාවියේ සිට මහාධිකරණයක් කරා ගොස් එහිදී ඇප ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වන බව කවුරුත් දනී. මේ පනත නිසා එවැනි කාලයක් රිමාන්ඞ් භාරයේ සිටීමට චෝදනා ලැබූවෙකුට සිදු වේ. ඉන් පසුව එවැනි වරදක් නොකළා යැයි තීන්දු කළා වූවද ඒ වනවිට ඔහුව සමාජයෙන් ඉවත්කර තැබීමේ කර්තව්‍ය කර ගෙන ඇති අතර ඒ මගින් විවිධාකාර දේශපාලන වාසි ලබා ගත හැකිය.

ඉහත කරන ලද දළ හැදින්වීම මගින් ගත හැකි නිගමනය නම් ලංකාවේ ICCPR පනත විශාල වශයෙන් සංශෝධනය කළ යුතු බවත් එසේ කරන තුරු ඒ පනත යටතේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විධිවිධාන ප‍්‍රකාශයට පත් කළ යුතු බවත්ය. මෙම විධිවිධාන මගින් අපරාධ නඩු පටිපාටිය යටතේ ඇති සියලූම අයිතිවාසිකම් රැක ගත යුතුවාක් මිස ඒවා අත්හැරදැමීමක් සිදු නොවිය යුතුය.

විශේෂයෙන්ම පැමිණිල්ලක් ලද පමණින් මිනිසුන් අත්අඩංගුවට ගැනීමේ නීතිවිරෝධී ක්‍රියාමාර්ග නොකරන ලෙස සියලුම පොලිස් ඉහළ නිළධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් නිකුත් කළ යුතුව ඇත.

  • ආසියානු මානව හිමිකම් කොමිසම විසින් 2019/06/24 දින නිකුත් කළ ප්‍රකාශයකි.
Share

Recent Posts

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

14 hours ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

14 hours ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

18 hours ago

වයස යනු ඉලක්කමක් විතරයි යන්නට මෙවර මිස් යුනිවර්ස්ගෙන් නිදසුනක්!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…

22 hours ago

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

23 hours ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

23 hours ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

1 day ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

2 days ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

2 days ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

2 days ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

2 days ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

2 days ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

2 days ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

2 days ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

2 days ago