කාලීන

ජනකාන්ත නායකයාගේ සොඳුරු ආඥාදායකත්වය කොයිබටද?

රටම බලා සිටි ජවසම්පන්න තරුණ නායකයකු ඉතියෝපියාවට දැන් ලැබී ඇත.  ජනතාව සමඟ සෙල්ෆිවලට පෙනී සිටින්නට වගේම ජන වර්ග අතර බැඳි බිත්ති කඩා දමා පාලමක් ඉදි කිරීමටත් ඔහු දැන් වෙහෙසෙයි. ඔහුගේ දේශපාලනය “අබියිමේනියාවට” යටව ඉතියෝපියා ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉකමනින් මිහිදන් වනු ඇත්ද?              

ගුටාමා හබ්‍රෝ ඇමෙරිකාවේ මිනෙපොලිස්හි “ටාර්ගට් ඇරීනා” වෙත පැමිණියේ පෙරවරු 6ට පමණ ය. ප්‍රවේශපත් ගැනීමට පෙළ සැදී සිටි පිරිසගේ ඔළුගෙඩිවලින් හාත්පස වැසී තිබිණ. ප්‍රවේශ පත් නිකුතුවෙන් අනතුරුව ටාර්ගට් ඇරීනාව විසි දහසක පිරිසකගෙන් අතුරු සිදුරු නැතිව එක්වරම පිරී ඉතිරී ගියේය.

“ මා වටා සිටි සමහරු හඬමින් පසු වුණේ. ඔවුන් බලා හිටියේ  සිහිනයක් සැබෑ වන තෙක්. ..” යැයි කියා විසි අට හැවිරිදි ගුටාමා සී.එන්.එන්. මාධ්‍ය සේවය පවසා තිබිණ. ගුටාමා,  වෛද්‍ය පර්යේශ්ෂණාගාරයක සේවය කරන විද්‍යාඥවරියෙකි. ගුටාමා කියන මේ දසුන ටාර්ගට් ඇරීනාහි දිග හැරී තිබුණේ ප්‍රසංගයක් සඳහා නොව, ඉතියෝපියා අග්‍රාමාත්‍ය අබී අහ්මඩ්ගේ (Abiy Ahmed) සම්ප්‍රාප්තිය වෙනුවෙනි.

අබී අහ්මඩ්, ඇමෙරිකාවේ නගර තුනක සංචාරයක් සඳහා පසුගිය දා එක්ව සිටියේය. මේ සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍යවරයා පැමිණෙන්නට නියමිතව තිබුණේ ටාර්ගට් ඇරීනා වෙතය. ටාර්ගට් ඇරීනාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී තිබුණේ අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි   ඇමෙරිකාවේ වෙසෙන ඉතියෝපියා ප්‍රජාවගෙනි. ඇමෙරිකාවේ වෙසෙන ඉතියෝපියා ජාතිකයන් සංඛ්‍යාව 251,000කට අධික බව වාර්තාවල දැක් වේ.

මෙයින් විශාල පිරිසක් ඇමෙරිකාවේ පදිංචිය තෝරා ගෙන තිබුණේ සිය රටෙන් ස්ව කැමැත්තෙන්ම පිටමං වෙමිනි. ඉතියෝපියාව තුළ පැවැති වාර්ගික එදිරිවාදීකම්, ප්‍රචණ්ඩත්වය සහ දේශපාලන අස්ථාවරභාවය ඔවුන්ගේ එම තීරණ කෙරෙහි බලපා තිබිණ. “… බැරක් ඔබාමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී මිසක් මේ විධියේ බලාපොරොත්තු තබා ගැනීමක් අපි වෙන දැක්කේ නැහැ. …” යැයි කියා පවසා තිබුණේ ඉතියෝපියාවෙන් 2002දී පලා ආ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ මොහම්මඩ් අඩෙමෝ ය.

හතළිස් දෙහැවිරිදි අබී අහ්මඩ් ඉතියෝපියාවේ අග්‍රාමාත්‍යය ධුරයට පත්වුණේ පසුගිය අප්‍රේල් 2වැනිදා බැව් සඳහන් වේ. ඉතියෝපියා ඉතිහාසයේ තේරී පත්වුණු ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වන්නේ ද අබී මොහමඩ් ය. අගමැති ධුරයට පත්ව මාස කිහිපයක් තුළදී හෙතෙම රටෙහි කැපී පෙනෙන වෙනස ඇති කළේය. දහස් ගණනක් වූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගැනීම ඒ අතර කැපී පෙනෙයි. වාරණයකට ලක් කර තිබුණු වෙබ් අඩවිවල වාරණ ඉවත් කිරීම, එරිත්‍රියාවත් සමඟ පැවැති විසි අවුරුදු යුධය නැවැත්වීම, සිවිල් යුධ තත්ත්වයෙන් රට මුදා ගැනීම, රටේ හදිසි තත්ත්වය ඉවත් කිරීම, පෞද්ගලික ආයෝජකයන්ට ආර්ථිකයෙහි ප්‍රධාන අංශ විවෘත කිරීම යනාදිය සඳහා අග්‍රාමාත්‍යවරයා ඍජු දායකත්වයක් ලබා දුන්නේය. මේ නිසා අබී අහ්මඩ් සාමාන්‍යය ඉතියෝපියා වැසියන් අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තේ කිසිවකු නොසිතූ නොවිරූ අයුරිනි.

ඉතියෝපියාවේ අඩිස් අබාස් අගනුවර කුලී මෝටර් රථ වසා අග්‍රාමාත්‍යවරයාගේ ස්ටිකර ඇලවෙන්නට පටන් ගත්තේ ඒ ජනප්‍රියත්වය නිසයි. තමන්ගේ වට්ස්අප් සහ ෆේස්බුක් ගිණුම්වල “ප්‍රොෆයිල් පික්චර්ස්” අබී අහ්මඩ්ගේ උද්‍යෝග පාඨවලට වෙනස් විණ. සාමාන්‍යය ජනයා අබීගේ රුව සහිත ටී-ෂර්ට් අඳින්නට පටන් ගත්හ. ටී- ෂර්ට් මසා නිම කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවක හිමිකරුවකු මාධ්‍යට පවසා තිබුණේ අබීගේ මුහුණ ඇතුළත් ටී-ෂර්ට් 20,000ක් වත් සතියකට අලෙවි වන බවකි. අගමැති මුහුණ සහිත ටී- ෂර්ට් එකක් අලෙවි වන්නේ බිර් 300කට හෙවත් ඇමෙරිකා ඩොලර් 10ක පමණ මුදලකට ය. අබීගේ ප්‍රධානත්වයෙන් අඩිස් අබාස් නුවර මෙස්කෙල් චතුරශ්‍රයේ පැවැති රැළියකට මිලියන හතරකට ආසන්න ජනකායක් සහභාගී වුණු බව සඳහන් වේ.

ඉතියෝපියාව තුළ “අබියිමේනියා” උන්මාදයක් හටගෙන ඇති බව අඩිස් අබාස් නුවර සිටින බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී ටොම් ගාර්ඩ්නර් පවසයි. එයට ආගමික පසුබිමක් ආරෝපණය වී තිබීම  විශේෂත්වයක් බැව් ටොම්ගේ අදහස ය. “… මිනිස්සු විවෘතවම ඔහු (අබී) ගැන කතා කරන්නේ ඔහු, දෙවියන්ගේ පුත්‍රයා හෝ ආගමික ශාස්තෘන් කෙනෙකු හෝ හැටියට නම් කරමින්. …” යැයි කියා ටොම් පවසා තිබිණ.

අග්‍රාමාත්‍යවරයාගේ ඇඳුම් ආයිත්තම් මහජන ආකර්ෂණයට ලක් වූ බවක් හැමවිටම දක්නට ලැබෙන්නේ නැත. ඔහු වැඩිපුර අඳින්නේ ඔරොමෝ සම්ප්‍රදායට අයත් ඇඳුම් ආයිත්තම් ය. ඉතියෝපියාවේ වෙසෙන ඔරොමෝ ජන වර්ගයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත් පළමු තැනැත්තා හැටියට සැලකෙන්නේ අබී අහ්මඩ් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඉතියෝපියා ජනගහනයෙන් තුනෙන් එකක් හෙවත් වැඩිම පිරිසක් අයත් වන්නේ ඔරොමෝ ජන කොටසට ය. ජන වර්ග 90කට අයත් පිරිස් ඉතියෝපියාවේ වෙසෙති. ඔරොමෝ, එරට දේශපාලනය තුළ තීරණාත්මකම බලපෑමක් කළ හැකි ජන කණ්ඩායම සේ සැලකේ.

“ටිග්‍රයාන් පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට්” නමැති දේශපාලන පක්ෂය ද ඉතියෝපියාවේ සෙසු දේශපාලන කණ්ඩායම් ද 1989දී සන්ධාන ගත වූයේය. එමඟින් “ඉතියෝපියන් පීපල්ස් රෙවලූෂනරි ඩිමොක්‍රටික් ෆ්‍රන්ට්” නමැති සන්ධානය ඇති විණ. ඔරොමෝ ජන කණ්ඩායම නියෝජනය කළේ “ඔරොමෝ පීපල්ස් ඩිමොක්‍රටික් ඕර්ගනයිසේෂන්” නමැති දේශපාලන පක්ෂයයි. එම දේශපාලන පක්ෂය, යට කී සන්ධානයේ හවුල්කාර පක්ෂයක් විණ. 1987 සිට 1991 දක්වා කාලයේදී ඉතියෝපියාවේ ජනාධිපති ධුරයට ඉසිලූ මෙන්ගිස්ටු හයිලේ මාරියම් බලයෙන් පහ කරන්නට මුල් වූයේ ද එම සන්ධානයයි. එතැන් පටන් අබී පාලන බලයට පත්වන තුරුම ඉතියෝපියාවේ බලය පැවැතියේ පළමුව කී සන්ධානයට අයත් විවිධ පක්ෂ  යටතේ ය. අදටත් මේ සන්ධානය පවතින අතර එහි හවුල්කාර “ඔරොමෝ පීපල්ස් ඩිමොක්‍රටික් ඔර්ගනයිසේෂන්” පක්ෂයේ සභාපතිත්වය දරන්නේ අබී බැව් සඳහන් වේ.

අබී බලයට පත්වන්නට පළමුව ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ හයිලේ මාරියම් ඩෙසාලෙගන් යටතේ රට බෙහෙවින්ම අරාජික තත්ත්වයකට පත් විණ. උගත්හු එකල රට හැර යන්නට පටන් ගත්හ. අන්තර්ජාලය අවහිර කෙරිණ. ඉතියෝපියා ආර්ථිකය බෙහෙවින්ම දුර්වල තැනකට පත් වූයේ ද ඩෙසාලෙගන් යටතේ ය. ඔරොමෝ නායකයකු ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් නොවුණහොත් රට භයානක සිවිල් යුධයකට ඈඳෙන බව බොහෝදෙනෙක් මේ අතරතුරදී විශ්වාස කළහ. අබී අහ්මඩ් අග්‍රාමාත්‍ය ධුරයට තරග කරන්නට ඉදිරිපත් වන්නේ මෙවන් පසුබිමකය. ඔරොමෝ නායකයකු කෙරෙහි තබා තිබූ විශ්වාසයත්, අබී ජනකාන්ත නායකයකු වීමත් නිසා ඔහුට ඉතා පහසුවෙන්ම ඉතියෝපියාවේ අගමැතිවරයා වන්නට ඉඩ ලැබිණ. නව තනතුරට අබී තේරී පත් වීමත් සමඟම සාමාන්‍ය ජනයා පැවසුවේ අබී වැනි අගමැතිවරයකු ලබන්නට තරම් තමන් වාසනාවන්ත වී ඇතැයි කියාය.

අබී, ඔහුට පළමුව බලයට පැමිණි බොහෝ අගමැතිවරුන්ට වඩා වෙනස් කෙනෙකි. ඔහු සෙසු දේශපාලනඥයන්ව වැළඳ සිය සුහදතාවය පළ කරන්නට මැලි නොවන කෙනෙකි. තමන් සමඟ “සෙල්ෆියක්” ගසන්නට එන ඕනෑම කෙනෙකු සමඟ සිනහ මුසු මුහුණින් සෙල්ෆියකට පෙනී සිටින්නට තරම් ඔහුගේ සිත නිදහස්ය. ඔහුගෙන් ලැබෙන අමුතු රශ්මියකින් ඡායාරූප වඩ වඩාත් ලස්සන වන බව සාමාන්‍ය ජනයා පවසති. හෙතෙම  ඉතියෝපියාවේ සෙසු ජන වර්ගවලට කියා සිටින්නේ “බිත්තිය කඩා දමා පාලමක් ඉදි කරන්න” යැයි කියාය. එය විශාල අරුතක් ඇති ප්‍රකාශයකි. අගමැතිවරයා පවසන අන්දමේ පාලමක්, ජන වර්ග අතර ඇතිවනු දැක්ම එරට සාමාන්‍යය  ජනයාගේ ද ප්‍රාර්ථනයයි. අබීට ඔරොමෝ, ඇම්හාරික්, ටිග්‍රින්යා සහ ඉංග්‍රීසි වැනි භාෂා කිහිපයක්ම කතා කළ හැකි නිසා ඔහුට පහසුවෙන්ම සන්නිවේදන කාර්යය කරගෙන යන්නට හැකි  වී තිබේ. සමාජයේ පහළ ස්ථරවල සිටින ජනයා පවසන්නේ අබී, මිනිසුන්ට තේරෙන්නට කතා කළ හැකි නායකයකු බවයි. මේ හැකියාව අග්‍රාමාත්‍යවරයාට ලෙයින්ම බද්ධ වී තිබෙන්නේ ඔහුගේ මව ක්‍රිස්තියානි ආගම අදහන ජන කොටසකිනුත් පියා මුස්ලිම් ඔරොමෝ ජන කොටසිනුත් පැවතගෙන එන අයවලුන් වීම නිසයි.

“අබියිමේනියාව” පිම්බී නෙරා යනවිට ඉතියෝපියානු ජනයා අබී වටා භ්‍රමණය වන්නට පටන් ගන්නා බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. එයින් සිදුවන්නේ රට හැර ගොස් සිටින පිරිස් නැවත සිය රට එන්නට පටන් ගැනීම බැව් ඔවුහූ පෙන්වා දෙන්නෝය. ඊට හොඳම උදාහරණය 2016 සිට ඇමෙරිකාවේ ජීවත්වන ඉතියෝපියා ජාතික ඔලිම්පික් මැරතන් ශූර ෆෙයිසා ලිලේසා මේ මාසයේදී සිය රට එන්නට සූදානමින් සිටීමය. දේශපාලන සිරකරුවකු බවට පත්ව සිටි ඇට්නාෆ් බෙර්හානේ පවසන්නේ තමන්ව අත්අඩංගුවට නොගන්නා තහවුරුව වසර හයකට පසු තමන්ට හොඳින්ම දැනෙන බවකි.

මාස හතරකට ආසන්න කාලයක් අගමැතිකම් කළත් අබී කිසිදු මාධ්‍යකට සම්මුඛ සාකච්ඡාවක් ලබා නොදෙන්නට වග බලාගෙන තිබේ.  කෙසේ වුවත් පසුගිය විසි පස් වැනිදා ඔහු පැය තුනක මාධ්‍ය හමුවක් පවත්වා තිබුණේය. එය ඔහුගේ පළමු මාධ්‍ය හමුව බව මාධ්‍ය වාර්තා කර තිබිණ. ලිහිල් මනසකින් සහ ලගන්නා සුළු අන්දමින් එහිදී ඔහු මාධ්‍යට මුහුණ දුන් බව කියැ වේ. මාධ්‍යට අඩුවෙන් මුහුණ දුන්නත් නව අග්‍රාමාත්‍යවරයා මේ වනවිට ඊජිප්තුව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඇමෙරිකා එක්සත් ජනදපය සහ ජිබුටි යන රාජ්‍යවල සංචාරය කරමින් රාජතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගන්නට සුහුසුලු වී ඇත. රාජතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීමෙහි ඉතා ක්‍රියාශීලී කෙනෙකු හැටියට මේ නිසා ඔහුව හැඳින් වේ. දේශපාලනයට පැමිණෙන්නට පළමුව එක්දහස් නවසිය අනූ ගණන්වලදී අබී රුවන්ඩාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. ඉතියෝපියා සයිබර් ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානියා හැටියටත් ඔහු වරක් සේවය කර ඇත. පසු කලෙකදී ඉතියෝපියාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් හෙතෙම සිය දේශපාලන අත්දැකීම් පරිමාණය පුළුල් කරගෙන තිබේ.

කෙතෙරම් මහජන ප්‍රසාදය දිනාගෙන සිටියත් පසුගිය ජුනි මාසයේදී ඔහු සහභාගී වූ උත්සවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විණ. පුද්ගලයෝ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 165 දෙනෙක් ඉන් තුවාල ලැබූහ. මේ ජනකාන්ත නායකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් අවදානමක් තිබෙන බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

“අබියිමේනියා” ගැන අවධානය යොමුකරන විද්වතුන් පවසන්නේ එමඟින් සමාන්‍යය ජනයා අන්ධභාවයට පත්වනු ඇති බවකි. ජනකාන්ත නායකයා වැරදි මඟට රැගෙන යන්නට එය හේතුවක් වනු ඇති බවත් ඔවුහූ පෙන්වා දෙති. ඉතියෝපියාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත වරක් දුර්වල වීම එමඟින් සිදුවේද යන ගැටලුව එවිට මතු වේ.

ඡායාරූප සබැඳුම

https://edition.cnn.com/2018/08/26/world/abiymania-ethiopia-prime-minister-abiy-ahmed/index.html

Share

Recent Posts

බෝම්බ තොගයක් රැගත් නෞකාවක් ඊශ්‍රායලය බලා පිටත්වීමට ඇමෙරිකාව ඉඩ දී නෑ!

එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේ‍ශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…

7 hours ago

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

23 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

1 day ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

1 day ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

1 day ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

1 day ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

1 day ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

3 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago