කලා

හැග්රිඩ් ගේ නික්ම යාම: යුග තුනක සුන්දර හැරී පොටර් මතකය ‘හොරර්’ චිත්‍රපටයක් වේවි ද?

ජේ.කේ. රෝලිං ගේ පළමු හැරී පොටර් කෘතිය වන ‘හැරී පොටර් ඇන්ඩ් ද ෆිලොසොෆර්ස් ස්ටෝන්’ මා අතට පත්වන්නේ 1998 වසරේදී.. එවකට මා සාමාන්‍ය පෙළ හදාරන සිසුවෙක්. පොත මිලදී ගත්තෙත් කැටය කඩා ඉතුරු කළ මුදලින්. අධ්‍යාපනය පසෙක ලා මායා ලෝකයක ගිලුනු මා කවදත් ප්‍රිය කළ චරිතයක් රූබියස් හැග්රිඩ්. හැරී පොටර් කෘති මාලාව කියවමින් සිටින අතරතුර, එහි පස්වන කෘතිය වන ‘හැරී පොටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ද ෆීනික්ස්’ 2001 දී නිකුත් වනවා.. නමුත් එය මිලදී ගන්න ඒ වන විට මා සතුව මුදල් තිබුනේ නැහැ. හැබැයි එම වසරේ ම වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් පළමු හැරී පොටර් කෘතිය පාදක කරගත් චිත්‍රපටය නිකුත් කරනවා. මෙම චිත්‍රපටයේ සංයුක්ත තැටියක් මට හමුවනවා.. ඒ හමුවන්නෙත් ළඟ පාත සීඩී කඩයකින් රෙන්ට් එකට අරගෙන. මා එය නරඹනවා.

අනේ… හැග්රිඩ් මම හිතපු කෙනා වගේමයි.. පතාක යෝධයෙක්.. පිළිවෙලක් නැති ඇඳුම් පැළඳුම් හැඳි පතාක යෝධයෙක්.. ඒ වුනාට කරුණාබර මුහුණක්, අහිංසක සිනහවක් හිමි සහ නොකළ වරදකට තම මායා යෂ්ඨිය මායා ලෝකයේ මායා නීතිය අනුව අහිමව ගිය, කිසිවකුට නොකී කතාවක් නිසා ජීවිත කාලයම විඳවපු චරිතයක්. මේ සියල්ල රොබී කෝල්ට්‍රන් නම් ඒ අඝ්‍රගන්‍ය රංගධරයා විසින් මනාව නිරූපණය කර තිබුණා.

මීට දෙදිනකට පෙර රොබී කෝල්ට්‍රන් නම් ඒ රංගධරයා 72 වෙනි වියේදී තම දිවිසැරිය නිමා කළ බවට පුවතක් පළවුනා. මම හිතන්නේ, ශ්‍රී ලංකාවේ මෙම පුවතින් වඩාත්ම කම්පනයට පත්වූ පුද්ගලයකු මම වෙන්න ඇති.

හැරී පොටර් කතාමාලාව තුළ ලොව පුරා හැරී පොටර් රසිකයන්ගේ හද දිනූ විවිධ චරිත ඇති. ඒ සමහරු කෘති මාලාව නිසා ඒ ඒ චරිතවලට ආශා වෙන්න ඇති, තවත් සමහරු චිත්‍රපට මාලාව නිසා ආශා වෙන්න ඇති.

මාගේ හැරී පොටර් ප්‍රේමය ආරම්භවන්නේ කෘති මාලාවෙන් බව සැබෑය. චිත්‍රපට මාලාව නිකුත් වීමත් සමඟ ඇතැම් චරිතවල සිනමා නියෝජනය මාගේ පරිකල්පනීය රූප හා නොගැළපුන බව ද සැබෑය. මයිකල් ගැම්බොන් නම් අති ශ්‍රේෂ්ඨ රංගධරයා සමඟ මා හට පෞද්ගලික අමනාපයක් නැහැ. නමුත් ‘හැරී පොටර් ඇන්ඩ් ද ප්‍රිසනර් ඔෆ් අස්කබාන්’ චිත්‍රපටයෙන් පසු හොග්වොර්ට්ස් මායා පාසලේ විදුහල්පති ඇල්බස් ඩම්බල්ඩෝර් නිරූපණය කළ මයිකල් ගැම්බොන් ද මාගේ කෘති මත පදනම් වූ පරිකල්පනීය රූප හා සිදුවූ නොගැළපීම්වලට එක් උදාහරණයක්.

නමුත් රොබී කෝල්ට්‍රන් යනු කෘති මාලාවේ හැග්රිඩ් මත පදනම් වූ මාගේ පරිකල්පනීය රූප සිනමා පරිකල්පනය හා මනාව සුසර කළ පුද්ගලයෙක්. ජනප්‍රිය මතයට පිටින් සෑම විටම සුළු චරිත, අවතක්සේරුවට ලක්වූ චරිත සහ වැඩිය ගණන් නොගැනු චරිත වලට හිත ඇදිලා ගිය කෙනෙක් මම. රොබී කෝල්ට්‍රන් හුදෙක්ම සිනමා තිරපිටපතක් අනුගමනය කළ රංගන ශිල්පියකුට වඩා එහා ගිය අසමසම භාව ප්‍රකාශනයන් ඔස්සේ රූබියස් හැග්රිඩ් නම් ඒ මායා ලෝකයේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික අසාධාරණයට ලක්වූ චරිතයට පමණටත් වඩා සාධාරණයක් ඉෂ්ට කළ රංගධරයෙක්.

රූබියස් හැග්රිඩ් නියෝජනය රොබී කෝල්ට්‍රන් | ඡායාරූපය: aminoapps

ඉංග්‍රීසි උච්ඡාරණයේ ඇති දුබලතාව, මායා සතුන් මෙල්ල කිරීම, ඔවුන් බලා කියා ගැනීම, ෆෑන්ග් නම් තම නකුටු සුරතල් සුනඛයා ද සමඟ හොග්වෝර්ට්ස් පාසලෙන් පිටත කුඩා කුටියක තනිවම ජීවත් වීම, කැඩුනු ඉංග්‍රීසියෙන් පවා හැරී ට සුභපතා උපන්දින කේක්ගෙඩියක් එවීම, හැරී, රොන් සහ හර්මොයිනි වෙත දක්වන විශේෂ අනුග්‍රහය, අයුක්තිය, අසාධාරණයට එරෙහිව නැඟී සිටීම මත අස්කබාන් සිරකුටියට යාමට පවා සිදුවීම, දුටු තැන මිනිසුන් භීතියට පත්වන ලූසියස් මැල්ෆෝයි වැනි දේශපාලනික බලය හිමි වොල්ඩර්මෝට් සේවකයන් පවා තම පෞද්ගලික අවකාශයෙන් පළවා හැරීමට අභීතව ඉදිරියට පැමිණීම, තම සිරුරේ ප්‍රමාණය නිසා කිසිදිනක ප්‍රේමයක් උරුම නොවූ හැග්රිඩ් තමා හා සමානම මැඩම් මැක්සිම් නම් බෝබැටන්ස් ඇක්ඩමි ඔෆ් මැජික් පාසලේ පතාක විදුහල්පතිනිය සමඟ පෙමින් වෙලීම, තමාට බුද්ධියෙන් අඩු යෝධ සහෝදරයකු සිටිනා බව දැනගෙන ඔහු සතුරන් ගෙන් ආරක්ෂා කරමින් සහෝදර ප්‍රේමය විදහා පෙන්වීම, මරණයෙන් දිවි ගලවා ගන්නා හැරී පොටර් නම් බිළිඳා ගේ සිට වොල්ඩර්මෝට් සමඟ අවසන් සටනේ පෙරමුණේ සිටින හැරී පොටර් නම් නව යෞවනයා දක්වා ඔහු ආරක්ෂා කිරීමට පියකු මෙන් ඉදිරිපත් වීම, ආදී එකී මෙකී නොකී බොහෝ සිදුවීම් රැසක සිනමා නියෝජනය 2001 සිට 2011 දක්වා රොබී කෝල්ට්‍රන් මනාව නිරූපණය කළා.

ඡායාරූපය: Pinterest

හැරී පොටර් ලෙගසිය දිගටම පවතිනවා, ඉතිං ඒ ගැන මදි නොකියන්න ලිපිත් ලියවෙයි.. රොබී කෝල්ට්‍රන් ගැනත් ලියවෙයි. මගේ ලිපිය ඒ අතින් විශේෂත්වයක් ගන්නේ නැහැ. නමුත් රොබී ගේ නික්ම යාමත් සමඟ මාගේ සිතට ආ පිටවීමට දඟලමින් කැකෑරෙන එක් කම්පනය මුසු දෙගිඩියාවක් තිබෙනවා. එය සඳහන් කළ යුතුමයි. හැරී පොටර් ගෝලීය ප්‍රපංචයක් බවට පත්වූවා. එහි සැකයක් නැහැ. නමුත් හැරී පොටර් කෘති මාලාව ඇල්ලීමට අසමත් වූ ලොව අහුමුලු අල්ලා ගත්තේ හැරී පොටර් චිත්‍රපට පෙළ විසින්. ඉතිං අප වෝනර් බ්‍රදර්ස් සමාගමට ඊට ස්තූතිය පළකළ යුතුයි. යුග තුනක – එනම් 90 දශකයේ දරුවන්, 2000 දශකයේ දරුවන් සහ 2010 දශකයේ දරුවන් – ජනාදරය දිනා ගත් හැරී පොටර් විශ්වය දෘෂ්‍යපථයේ විද්‍යමාන කළේ හැරී පොටර් චිත්‍රපට මාලාවයි. 2001 සිට 2011 දක්වා තිරගත වූ හැරී පොටර් චිත්‍රපට 08 හි රංගනයෙන් දායක වූ රංධරයන් අතර එක්කෙනෙකු, දෙදෙනෙකු, සිව්දෙනෙකු, දහදෙනෙකු නොව 20 දෙනෙකුම මේ වන විට ජීවතුන් අතර නැති බව ඔබ දැන සිටියා ද?

මහාචාර්ය සෙවරස් ස්නේප් නියෝජනය කළ ඇලන් රික්මන්, හැරී ගේ මාමා වූ වර්නන් ඩර්ස්ලි නියෝජනය කළ රිචර්ඩ් ග්‍රිෆිත්ස්, පළමු සහ දෙවන හැරී පොටර් චිත්‍රපටවල මහාචාර්ය ඩම්බල්ඩෝර් නියෝජනය කළ රිචර්ඩ් හැරිස්, ඩ්‍රෙකෝ මැල්ෆෝයි ගේ මව වූ නාකිසා මැල්ෆෝයි නියෝජනය කළ හෙලන් මැක්ක්‍රෝරි, ග්‍රින්ගොට්ස් මායා බැංකුවේ ගොබ්ලින් කෙනෙකු වූ ග්‍රිප්හුක් නියෝජනය කළ වර්න් ට්‍රොයර්, බ්‍රිතාන්‍ය රජයේ සැඟවුනු මායා අමාත්‍යංශයේ මායා අමාත්‍ය වූ කොර්නිලියස් ෆජ් නියෝජනය කළ රොබර්ට් හාර්ඩි, ඔලිවැන්ඩර් ගේ මායා යෂ්ඨි සැලේ හිමිකරු ඔලිවැන්ඩර් නියෝජනය කළ ජෝන් හර්ට්, බ්ලැක් පවුලට ගැතිකම් කරන හවුස් එල්ෆ් කෙනෙකු වූ ක්‍රෙචර් නියොජනය කළ ටිමොති බේට්සන්, පළමු හැරී පොටර් චිත්‍රපටයේ හොග්වොර්ට්ස් මායා පාසලේ ප්‍රධාන ශාලාවේ සැරිසරන අවතාරයක් නියෝජනය කළ ටෙරන්ස් බේලර්, මායා සංයෝග නිපදවීම අතින් කීර්තියක් හිමිකරගෙන සිටින බෙල්බි පරපුරෙන් පැවත එන මාර්කස් බෙල්බි නියෝජනය කළ රොබර්ට් නොක්ස්, හොග්වොර්ට්ස් මායා පාසලේ සෙලවෙන සේයාරුවක සිටින මහාචාර්ය එවරර්ඩ් නියෝජනය කළ සෑම් බීස්ලි, දක්ෂ සිසුන් ඇසුරු කිරීමට ප්‍රියකරන මහාචාර්ය හොරේස් ස්ලග්හෝර්න්ගේ වරක ප්‍රියතම සිසුවකු වූ එල්ඩ්‍රඩ් වෝර්ප්ල් නියෝජනය කළ පෝල් රිටර්, ෆෙන්රිර් ග්‍රේබැක් නම් වොල්ඩමෝර්ට් ගැති මිනිස් වෘකයා නියෝජනය කළ ඩේව් ලෙගිනෝ, ෆීනික්ස් නිකායේ සාමාජිකයකු වූ එල්ෆියස් ඩොජ් නියෝජනය කළ පීටර් කාර්ට්රයිට්, ලන්ඩනයේ මායා අවන්හලක් වන ලීකි කෝල්ඩ්‍රන් හි අයිතිකරු නියෝජනය කළ ඩෙරික් ඩෙඩ්මන්, අ හිස්ටර් ඔෆ් මැජික් ග්‍රන්ථය රචනා කළ ලෝ පතල මායා ඉතිහාසඥ සහ ලේඛිකා බැතිල්ඩා බැග්ෂොට් නියෝජනය කළ හේසල් ඩග්ලස්, ඩම්බල්ඩොර් ට පෙර හොග්වොර්ට්ස් මායා පාසලේ විදුහල්පතිවරයා වූ සේයාරුවක සිටින අර්මන්ඩෝ ඩිපට් නියෝජනය කළ ඇල්ෆ්‍රඩ් බර්ක්, ලන්ඩනයේ මායා රාත්‍රී බසය එළවූ රියදුරු අර්නි ප්‍රැන්ග් නියෝජනය කළ ජිමී ගාර්ඩ්නර්, සහ පළමු හැරී පොඩර් චිත්‍රපටයේ ග්‍රිෆින්ඩෝර් නිවාසයේ මුර දොරටුවේ කාන්තාව වූ ෆැට් ලේඩි නියෝජනය කළ එලිසබෙත් ස්ප්‍රිග්ස් යන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මේ වන විට ජීවතුන් අතර නැහැ.

මොවුන්ගේ මරණයන් පිළිබඳව ඔබ අන්තර්ජාලයේ සැරිසර තොරතුරු පිරික්සා බැලුවහොත් ඒ ඇතැම් මරණ ස්වභාවික මරණ නොවන බව ද, ඇතැම් මරණ ප්‍රසන්න සිදුවීම් නොවන බව ද අවබෝධ වේවි. මෙම ලැයිස්තුවට අලුතින්ම එකතු වන්නේ ආදරණීය පතාක මිතුරා රූබියස් හැග්රිඩ් නියොජනය කළ රොබී කෝල්ට්‍රන්.

ඉතිං යුග තුනක් පුරාවට සුන්දර මතකයන් රාශියක් ඉතිරි කර ගිය හැරී පොටර් විශ්වයේ චිත්‍රපට මාලාව මෙතැන් මතුවට හොරර් චිත්‍රපට මාලාවක් වේවිද? මෙම චිත්‍රපට නැවත නරඹන වාරයක් වාරයක් පාසා ඉහත කී රංගන ශිල්පීන් ශිල්පිනයන් ජීවතුන් අතර නැති බවට සිහියට නොනැඟෙනු ඇති ද?

Share

Recent Posts

දිල්ලි මහා ඇමති තහනම් ත්‍රස්තවාදී සංවිධානයකින් අරමුදල් ලබා ගත් බවට චෝදනා

දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…

13 hours ago

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය සයිබර් ප්‍රහාරයකට ලක් වේ

කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…

15 hours ago

වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සේරා”

ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.

15 hours ago

දකුණු අප්‍රිකාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..

15 hours ago

පුටින් සිය පස්වැනි ධූරකාලය සදහා අද දිව්රුම් දෙයි!

ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…

17 hours ago

ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම!

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…

21 hours ago

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

2 days ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

2 days ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

2 days ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

2 days ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

3 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

3 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

3 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

4 days ago