අරුම පුදුම

සයිබීරියාවේ තුන්ගුස්කා අභිරහස

1908 වසරේ ජුනි 30වැනිදා හිරු උදාව සිදු වූයේ අනෙක් කවර දවසකත් මෙන් වෙනසක් නැතිවය. හැල හොල්මනක් නැතිව දවසෙන් හෝරා කිහිපයක කාලයක් ගෙවිණ. ඔරලෝසු කටු කෙමෙන් කෙමෙන් උදෑසන හතේ කණිසමට කිට්ටු වන්නට පටන් ගත්තේය. සයිබීරියාවේ වනවරා ප්‍රදේශයේ ගෙදරක ජීවත් වුණු මධ්‍යම පන්තික ගම්වැසියෙකු එවෙලෙහි විවේක සුවයෙන් පසු විණ. ඇත්තටම කිවහොත් ඔහු සිටියේ තම ගෙදර ප්‍රධාන දොර අද්දරට වන්නට පුටුවක් තබා ඉඳගෙන ලොවක් දෙලොවක් නැතිව බර කල්පනාවක නිමග්න වෙමිනි. හාවක් හූවක් නැති පරිසරය කළඹමින් එකණෙහිම මහා පිපිරුමක් ඇති වූයේය. Tunguska event

මේ පිපිරුමත් සමඟ අන් කිසිදාක සිදු නොවුණු විධියේ සිද්ධි දාමයක් ද ඇතිවිණ. මිනිසා ඒ සෑම එකක්ම හොඳාකාරවම දුටුවේය. ඒ අතර සිදුවුණු භයානකම සහ අරුම පුදුම ම දෙය වූයේ ඒ මිනිසා සිටි තැනින් උතුරු පැත්තට වන්නට ඉහළ අහසය දෙකොටසකට බෙදී යෑමයි. මින් පෙර කිසිදාක දැක නැති ඒ අත්භූත දර්ශනය දුටු මිනිසා නොසෑහෙන ලෙස බියට පත් වූයේය. ඒ මදිවාට එසැණින් මහා ගිනි ජාලාවක් නැඟ එය පුළුල්ව සහ ඉහළට ඇදෙන්නට විණ. තමන් සිටින ස්ථානයට උතුරු දෙසින් වැටී ඇති වනාන්තර බද පෙදෙස දෙසින් ඒ ගිනි ජාලය නැඟෙන බව මිනිසා දුටුවේය. අහස දෙකොටසක් බවට පත් කළ පැල්ම භයානක ලෙස තව තවත් වැඩෙන බවක් ද පෙනෙන්නට තිබිණ. මුළුමහත් උතුරුකරයම ගිනි ජාලාවකින් වැසී යන සැටියක් ඔහු ඊළඟට දුටුවේය. උහුලන්නට බැරි තරමේ පුදුමාකාර උණුසුමක් මිනිසාගේ සිරුරට දැනෙන්නට විණ. ඒ උණුසුම දරාගන්නට බැරි තරම් බැව් අසුරු සැණෙකින් ඔහුට අවබෝධ වූයේය. හරියටම කිවහොත් එය, සියොළඟ දවා අළු කරන්නට සමත් ගින්නකින් නැඟෙන තරමේ රස්නයකි. ඇඳි වත ඉරා වීසි කර දැමුවේ නම් යෙහෙකැයි කියා ඔහුට සිතිණ. අනෙක් කිසිවකුට එවෙලෙහි කරන්නට බැරි වුණත්, මේ තරම් දැඩි රස්නයක් එන්නේ කොතැනින්දැයි කියා බලන්නට ඔහු ඒ තීරණාත්මක මොහොතේදී විමසිලිමත් වූයේය. එක්වරම ඔහුට පෙනී ගියේ ගින්න උතුරුකරයෙන් ඇදී එන සැටියකි. තවත් ටික වෙලාවක් ගතවන විට මහා ශබ්ද නැඟෙන්නට විණ. ඒ ශබ්ද සමාන වුණේ කුමකට හෝ කළ තඩි මහා බෑමකට මිස අනෙකකට නොවේ. ශබ්දයේ සැර කෙතරම් ප්‍රබල වීද කියා කිවහොත් මිනිසා නතර වුණේ හිඳගෙන හුන් තැනින් මීටර කිහිපයක් එහාට විසි වීමෙන් පසුවයි. ඔහු කියන ආකාරයට ඒ මොහොත වනවිට ඔහුගේ සංවේදී අවයව සියල්ලම මැලවී ගොස් හමාරය. ඒ විකාරකාරී ඝෝෂාවෙන් පසු ගල් වරුසාවක් වසින්නාක් මෙන් ද කාලතුවක්කු සිය ගණනකින් එකවර ගිනි බිඳෙන්නාක් මෙන්ද පොළොව වේගයෙන් ඒ මේ අත වැනෙන්නාක් මෙන්ද මිනිසාට දැනී

මා මෙතෙක් ඔබ ඉදිරියේ දිග හැරියේ ප්‍රබන්ධ කතාවක් නොව අප වසන පෘථිවිය මත සිදුවුණු මහා පිපිරුම් දාමයක් පුහුදුන් මිනිසකුට දැනුන ආකාරයයි. 1908 වසරේ ජුනි 30 වැනිදා පෙරවරු 7.17ට පමණ මේ පිපිරුම් සිදුවුණේ සයිබීරියාවේ තුන්ගුස්කා ගඟ ආසන්නයේ පිහිටි ප්‍රදේශයක් තුළය. ඒ අවස්ථාවේදී සිදුවුණු පිපිරුම් හඬ පළමුව කී ස්ථානයේ සිට කිලෝමීටර 750ක් ඈතින් පිහිටි නගරවලට පවා ඇසී ඇත. හදිසියේ ඇතිවුණු මේ ව්‍යයසනය හේතුවෙන් නැගෙනහිර සයිබීරියාවේ ටයිගාහි වර්ග කිලෝමීටර 2150ක පමණ වනාන්තර ප්‍රදේශයක් විනාශ වී ගිය බව සිද්ධියෙන් මඳ වෙලාවකට පසු ආරංචි වූයේය. පිපිරුම සිදුවුණු ස්ථානයේ සිට සැතපුම් 31ක අරයක් සහිත පෙදෙසකට හානි පැමිණ තිබුණේය. එමඟින් විනාශයට පත් ශාක සංඛ්‍යාව මිලියන 80කට අධික බව පසුව අනාවරණය විණ. පිපිරුමෙන් නැඟුණු කම්පන තරංග වායුගෝලය තුළත් මහා පොළොවේත් පැතිරී ගිය බව විද්‍යාඥයෝ සනාත කරන්නට පටන් ගත්හ. පොළොවේ පැවැති කම්පන තරංග රිච්ටර් මාපකයේ 5ක් ලෙස සටහන්ව තිබිණ. එපමණ කම්පනයක්, විශාල නගරයක් වුව විනාශයට පත් කරන්නට සෑහෙන බව විද්‍යාඥයන්ගේ මතය විණ. ඒ වුණත් මේ පිපිරුම නිසා ඒ කියන තරමේ හානියක් සිදු නොවී තිබුණේ පෙර වාසනාවකට මෙනි. පිපිරුමේ විපාක ජනශූන්‍යය පෙදෙසකට බලපා තිබීම නිසා මිනිසුන් කිසිවකු ජීවිතක්ෂයට පත් වූයේ ද නැත. කොහොම වුණත් මේ අරුම පුදුම සහ භයානක පිපිරුම් මාලාවෙන් දින ගණනක් යන තුරු යුරෝපයේත් ආසියාවේත් රාත්‍රී අහස අඳුරු ස්වභාවයක් ගෙන තිබිණු බව සඳහන් වේ.

පිපිරුම ඇතිවන්නට හේතුව උල්කාෂ්මයක බලපෑමක් වන්නට ඇතැයි කියා රුසියා මාධ්‍යය සේවා පසුදාම වාර්තා පළ කර තිබුණේය. නමුත් අන්තර්ජාතික මාධ්‍ය සේවාවන් පවසා සිටියේ ගිනිකඳු පිපිරීමක් සිද්ධියට හේතුවන්නට ඇති බවකි. රුසියා සහ සයිබීරියා පුවත්පත් මාධ්‍යවේදීහු සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් තොරතුරු එකතු කරගන්නට යුහුසුළුව සිටියහ. මේ පිරිස කල් යල් නොබලා කළ ඒ තොරතුරු ඒකරාශීකරණය මේ සිද්ධිය සම්බන්ධයෙන් පසු කාලයකදී කෙරෙනු අධ්‍යයන කටයුතුවලට මා හැඟි අත්වැලක් විණ. පිපිරුම සිදුවුණු ප්‍රදේශයට, කෙනෙකුට බැහැර සිට ළඟාවීම බෙහෙවින්ම දුෂ්කර වූ වග වෙසෙසින්ම සටහන් කළයුතුව ඇත. මේ හේතුව නිසාම ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂකයන්ට ඉතා ඉක්මනින් එකල එහි ළඟාවන්නට ඉඩක් නොලැබුණු තරම්ය. ඒ බාධාව පමණක් නොව රුසියා දේශපාලනයත් මේ සිද්ධියේ අක්මුල් සෙවීම නවතා දමන්නට රුකුලක් වූ බව නොවලහා සඳහන් කළ යුතුව ඇත.

මහා තුරු ගොමුවක් සහමුලින්ම විනාශ වී තිබූ ආකාරය | https://allthatsinteresting.com

මේ කාරණා නිසා කාලයක් යනතුරු සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විද්‍යාත්මක පර්යේෂණ සිදු වන බවක් දක්නට ලැබෙන්නේ නැත. පළමු ලෝක යුධය, රුසියානු විප්ලවය සහ රුසියානු සිවිල් යුධය තවත් පැත්තකින් මේ සිද්ධිය පරයා ලෝක අවධානයට ලක් වූ බැව් කියා අනුමාන කරන්නට පුළුවන. මේ ගැන විධිමත් විද්‍යාත්මක පර්යේෂණයක් කිරීම එනිසා දවසින් දවසම කල් ගියේය. පැවැති බාධක සිඳ බිඳ හැර සිද්ධිය ගැන විද්‍යාත්මක පර්යේෂණයක් කිරීමට පළමුවෙන්ම පෙළඹෙන්නේ ඛනිජ විද්‍යාඥයකු හැටියට කටයුතු කළ රුසියා ජාතික ලියොනිඩ් කුලික්ය. හෙතෙම ඊට යොමු වන්නේ 1927 වසරේදී බව වාර්තාවල සඳහන් වේ. ඒ අනුව විද්‍යාත්මක පර්යේෂණයක් කර තොරතුරු අනාවරණය කිරීම පමණක් නොව සිද්ධිය ගැන තොරතුරු ඒකරාශීකරණයත් ඇරඹෙන්නේ සිද්ධියෙන් දහ නව වසරකට පසුවය. එය කිසිවක් අකා මකා දමන්නට සෑහෙන කාලයක් බව අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවේ.

විද්‍යඥ කුලික්, 1927 වසරේ මාර්තු 27වැනිදා සයිබීරියාවේ වනවරා ප්‍රදේශයට පැමිණියේය. හෙතෙම ප්‍රදේශයෙන් දත්ත ඒකරාශී කරගැනීම ඇරඹුවේ තවත් සති කිහිපයක ඇවෑමෙනි. හරියටම කිවහොත් අප්‍රේල් 13වැනිදා සිටය. වර්ග කිලෝමීටර 830ක ප්‍රදේශයක් පුරා දිරාපත් වෙමින් තිබුණු දැව කඳන් කෙරෙහි ඔහු පළමුවෙන්ම විශේෂ අවධානයක් යොමු කළේය. එවක එහි මැකී යමින් පැවැති දත්ත ඒකරාශිකර ගත් විද්‍යාඥ කුලික් ඒ ආශ්‍රයෙන් 1927 වසරේදීම සිය නිගමන ඉදිරිපත් කරන්නට පෙළඹුණේය. සිය වාර්තාව මඟින් ඔහු කියා සිටියේ පිපිරීම නිසා ඇතිවුණු දෑ කිසිවක් ඒ වනවිට අදාල ප්‍රදේශයේ මහා පොළොව මත දක්නට නොලැබෙන බවකි. ඒ හේතුව නිසාම සිද්ධියෙන් පොළොවට පතිත වුණු ඝන කිසිවක් තිබේද ඒවා පොළොවේ වැළලී ඇතිවාට සැකයක් නැති බව හෙතෙම පෙන්වා දුන්ණේය. තව දුරටත් ඔහුගේ නිගමනවලින් කියැවුණේ මෘදු තත්ත්වයෙන් යුත් කිසිවක් වී නම් ඒවා එපමණ කලක් පවතී යැයි කියා අනුමාන කරන්නට බැරි බවකි. ගත වුණු දහසක දෙකකට අධික කාලය ගැන සැලකිලිමත් වනවිට මේ කාරණා කිසිවක් අමුතුවෙන් පෙන්වා දිය යුතු ඒවා නොවිණ.

සෝවියට් විද්‍යාඥයෝ පිරිසක් 1934 වසරේදී තුන්ගුස්කා පිපිරුම් ගැන පර්යේෂණ කිරීමට ඉදිරිපත් වූහ. ඔවුන් ඔවුන්ගේ පර්යේෂණ අවසානයේදී කියා සිටියේ උල්කාශ්මයක් නොව ධූම කේතුවක් නිසා පළමුව කී පිපිරුම් ඇතිවුණු බවකි. මේ නිගමනයට එරෙහිව නැඟෙන තර්කයට පදනම වැටෙන්නේ ධූම කේතුවක වැඩිපුරම අයිස් දැකිය හැකිවීම මතය. ධූම කේතුවක් බලපෑම නිසා පිපිරුම් ඇතිවුණි නම් පිපිරුම අවස්ථාවේදී එහි ඇති අයිස් අනිවාර්යයෙන්ම ජල වාෂ්ප බවට හැරී අතුරුදහන් වේ. පිපිර්ම සිදු වූ ප්‍රදේශයේ එවිට කිසිවක් ශේෂ නොවන බව විද්‍යඥයන්ගේ මතයයි. තුන්ගුස්කා පිපිරුමෙන් පසුත් මහා පොළොව මත කිසිවක් දැකිය නොහැකි බැවින් එය නිසැකයෙන්ම ධූම කේතුවක බලපෑමක් යැයි කියා මේ පිරිස නිගමනය කිරීම, එක පැත්තකින් අතාර්කිකමත් නැත.

තවත් සමහර විද්තුන් පෙන්වා දුන්නේ ප්‍රදේශයේ ඇති ආවාට හෝ පෘථිවියට අයත් නොවන දේ කිසිවක් එහි ඇත්නම් ඒවා හෝ පර්යේෂණයට ලක් විය යුතු බවකි. මේ පදනමෙහි පිහිටා කටයුතු කළ ඇතැම් විද්‍යාඥයෝ චෙකෝ විලෙහි සම්භවය ගැන සොයා බැලීම හොඳ නිමිත්තක් බැව් කියා සිටියහ. චෙකෝ විල නිර්මාණය වුණේ තුන්ගුස්කා පිපිරුමෙන් ඇතිවුණු ආවාටයක් හේතුවෙන් බැව් කියමින් සමහර විද්වත්හු තර්ක ඉදිරිපත් කරන්නට පටන් ගත්තෝය. කොහොම වුණත් චෙකෝ විලේ සම්භවය ගැන අද මේ වනතුරුත් එකඟතාවක් නැත. ඊට ප්‍රබලම හේතුව 1908 තරම් කාලයේදී සයිබීරියාව ඉතා සියුම්ව සිතියම්ගත කර නොතිබීමයි. 1908 වසරට පළමුව චෙකෝ විල තිබුණා ද නැතිද යන්න එනිසා හරියටම කියන්නට බැරිව ගොස් තිබේ. එනයින් චෙකෝ විල තුන්ගුස්කා සිද්ධිය සමඟ ඈඳාගන්නට ඉඩක් ලැබෙන්නේ ද නැත.

අමෙරිකා ජාතික භෞතික විද්‍යාඥයෝ පිරිසක් පිපිරුම ගැන අන් සියලුම මතවලට වඩා වෙනස් මතයක් ජර්නලයක පළ කළහ. ඔවුන්ගේ මතයෙන් කියැවුණේ කළු කුහරයක් පෘථිවිය හා ගැටීම නිසා පිපිරුම ඇතිවුණු බවකි. ඒ මතය පවා විද්‍යාඥයන් වැඩිදෙනෙකුගේ පිළිගැනීමට ලක් වන්නේ නැත.

තුන්ගුස්කා පිපිරුම සිදු වී සිය වසකට අධික කාලයක් මේ වනවිට ඉක්ම ගොස් තිබේ. මේ කාලය තුළ පිපිරුම සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වුණු බව සැබෑවකි. නමුත් ඒ කිසිදු මතයකින් තුන්ගුස්කා පිපිරුම හරියටම විග්‍රහ කරගන්නට කිසිවකුට බැරිවිය. තුන්ගුස්කා පිපිරුම සම්බන්ධයෙන් විද්‍යාඥයන් සියලුදෙනා පිළිගන්නා කාරණා කිහිපයක් ද තිබෙන බැව් මේ සමඟ සඳහන් කළ යුතුව ඇත. පිපිරුමට හේතුව පැයට සැතපුම් 33,500ක වේගයෙන් පෘථිවියේ වායුගෝලයට විසිවුණු කිසියම් ආකාශ වස්තුවක් විය හැකිය යන්න ඒ අතර ඇති එක් කාරණයකි. අනෙක් කාරණය වන්නේ ඒ විධියට සිදුවුණු පිපිරීම, හිරෝෂිමාවට හෙලූ බෝම්බය තරමේ බෝම්බ 185ක් එකවර පිපිරී යෑමෙන් නැඟෙන පීඩනයට සහ තාපයට සමානය යන්නයි.

පිපිරුමට හේතුව වගේම අහස දෙකොටසකට බෙදුණේ මන්ද යන ගැටළුවලට ද තවමත් උත්තර නැත.

* මෙම ලිපිය සමග පළ වන ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ තුන්ගුස්කාවේ අබිරහස් පිපුරුමට වසර 100කට පසුව එම ස්ථානයේ අලුත් කැලෑ රොදක් නිර්මාණය වී ඇති ආකාරයයි. ඡායාරූපය – https://allthatsinteresting.com

පෙර ලිපිය –

පෝලන්තයේ කුදු ගැසුණු පයින් වනයේ අබිරහස 

තවත් ලිපි

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

21 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

23 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

24 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

1 day ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago