×

ට්‍රම්ප්ට වැඩ වරදී – මහපුටුවට තරඟ වදින්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම තහංචි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කැරැල්ලක් සංවිධානය කිරීම හෝ කැරැල්ලක නිරත වූ පුද්ගලයන්ට නිලතල දැරීම 14 වන සංශෝධනයේ 3 වැනි වගන්තිය මගින් තහනම් කරනු ලබන අතර, මෙම නීතිය හඳුන්වා දී තිබෙන්නේ එරට සිවිල් යුද්ධයෙන් පසු හිටපු කොන්ෆෙඩරේට්වරුන් නැවත රජයට පැමිණීම වැළැක්වීම සඳහා ය.


ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂ නායක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යළි එරට ජනාධිපතිවරණයට තරඟ වැදීමට සදුසුකම් නොලබන බවට කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.

ඒ 2020 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේ ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රතිවාදියාවන එරට වත්මන් ජනපති ජෝ බයිඩන් මහතාගේ ජයග්‍රහණයට එරෙහිව 2021 ජනවාරි මස කොංග්‍රසය පිහිටා ඇති කැපිටල් හිල් ගොඩනැඟිල්ලට රිපබ්ලිකන්වාදීන් විසින් එල්ල කළ මැර ප්‍රහාරය මෙහෙයවීමට අදාළව එල්ල වී ඇති චෝදනා මත පදනම්ව ය.

මෙම මැර ප්‍රහාරය එල්ල වූයේ 2021 ජනවාරි 06වන දින වන අතර, එම ප්‍රහාරය හමුවේ පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වී තිබිණි.

කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැරළි ඇතිකිරීමට අදාළ නීතිමය වගන්ති උපුටා දක්වමින් ට්‍රම්ප් මහතා යළි ජනාධිපතිවරණයට තරඟ වැදීමට නසුදුසු බව නිගමනය කර ඇති අතර, මෙම වගන්තිය උපුටා දක්වමින් ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයකු ජනාධිපතිවරණයකට තරඟ වැදීමට නුසුදුසු බවට අධිකරණය විසින් නිගමනය කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ කැපිටල් හිල් කෝලාහලය සිදු කිරීම සඳහා රිපබ්ලිකන් පාක්ෂික ජනතාව උසිගැන්වීමයි. ඒ අනුව 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරණයට තරඟ වැදීමට ඒ මහතා සුදුසුකම් නොලබන බවට කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කර තිබේ.

මෙම තීන්දුව හමුවේ 2024 ජනාධිපතිවරණය සඳහා ට්‍රම්ප් සුදුසුකම් ලබන්නේ ද යන්න තීරණය කිරීමට අදාළව ව්‍යවස්ථාමය කරුණු පිළිබඳ අවසාන අධිකාරිය වන එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවට වාර්තාවන අතර, මෙම තීන්දුවට එරෙහිව එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් නියෝජිත කණ්ඩායම සිය අභිලාෂය ප්‍රකාශ කර ඇති බව ද සඳහන්.

ඩිමොක්‍රටික් පාලනය යටතේ පවතින කොලරාඩෝ ජනපදය විසින් පත්කර ඇති කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප් මහතා එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රාථමික මැතිවරණයෙන් ඉවත්කර ඇති අතර, 2024 ජනාධිපතිවරණයේ ප්‍රාථමික මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ අවසාන දිනයවන 2024 ජනවාරි 5වන දින වන විට මීට අදාළව යෝජනාවක් සම්මතකර ගැනීමට එම ජනපදයේ ව්‍යවස්ථාදායකය කටයුතුකළ යුතු බව කොලරාඩෝ බලධාරීහු අවධාරණය කරති.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට තරඟ වැදීමට නුසුදුසු බවට තීන්දුකළ කොලරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණය 4-3 ක තීන්දුවක් ලෙස එම තීන්දුව සම්මතකර ඇති අතර, එමඟින් ව්‍යවස්ථාවේ කැරළි ඇතිකිරීමට අදාළ නීතිමය වගන්ති ඇතුළත් 14 වැනි සංශෝධනයේ 3 වැනි වගන්තිය ක්‍රියාවට නංවා තිබේ. මෙම ප්‍රතිපාදනය ජනාධිපති අපේක්ෂකයකු තරඟ වැදීමට නුසුදුසු බවට නිගමනය කිරීමට අධිකරණයේ යොදාගත් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කැරැල්ලක් සංවිධානය කිරීම හෝ කැරැල්ලක නිරත වූ පුද්ගලයන්ට නිලතල දැරීම 14 වන සංශෝධනයේ 3 වැනි වගන්තිය මගින් තහනම් කරනු ලබන අතර, මෙම නීතිය හඳුන්වා දී තිබෙන්නේ එරට සිවිල් යුද්ධයෙන් පසු හිටපු කොන්ෆෙඩරේට්වරුන් නැවත රජයට පැමිණීම වැළැක්වීම සඳහා ය.

එතැන් පටන් මෙම ප්‍රතිපාදනය අධිකරණය තුළ භාවිතයට ගෙන ඇති අවස්ථා අතිශයින් විරලවන අතර, ඒ මත අධිකරණ තීන්දුවක් ලබා දී නැත.

පෙර ලිපි:



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි